* ලොව බලවත්ම ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව පෙරමුණේ: රටවල් 227ක් ආවරණය වන පරිදි නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි
ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය (Sri Lankan Passport) ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතර වසර පහකට පසුව හිමිකරගත් ඉහළම ස්ථානය කරා පැමිණෙමින් 2026 'හෙන්ලි පාස්පෝට් දර්ශකයේ' (Henley Passport Index) 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
මෙය ලොව පුරා සංචාරය කිරීමේදී ශ්‍රී ලාංකිකයන්ට හිමිවන ගෝලීය ගමන් නම්‍යශීලීභාවය සහ නිදහස ක්‍රමයෙන් වර්ධනය වීමක් පෙන්නුම් කරන්නකි.
පසුගිය 2024 සහ 2025 වසරවලදී මෙම දර්ශකයේ 96 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, මෙවර ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ ඇත. මීට පෙර 2023 වසරේදී 100 වන ස්ථානයේත්, 2022 වසරේදී 102 වන ස්ථානයේත්, 2021 වසරේදී 107 වන ස්ථානයේත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය පසුවිය.
හෙන්ලි දර්ශකය සහ ගෝලීය තත්ත්වය
පූර්ව වීසා බලපත්‍ර ලබාගැනීමකින් තොරව (Visa-free) හෝ පැමිණීමේදී වීසා ලබාගැනීමේ පහසුකම (Visa-on-arrival) සහිතව ගමන් කළ හැකි ගමනාන්ත සංඛ්‍යාව පදනම් කරගනිමින් හෙන්ලි පාස්පෝට් දර්ශකය මඟින් මෙම ශ්‍රේණිගත කිරීම් සකස් කරනු ලබයි.
2026 නවතම දර්ශකයට අනුව, ලොව බලවත්ම ගමන් බලපත්‍රයට හිමි ප්‍රථම ස්ථානය තවදුරටත් රඳවා ගැනීමට සිංගප්පූරුව සමත්ව ඇති අතර, දර්ශකයේ පහළම ස්ථානය වන 104 වන ස්ථානයේ ඇෆ්ගනිස්ථානය පසුවේ.
ගමනාන්ත 227ක් ආවරණය වන පරිදි ගමන් බලපත්‍ර 199ක් සංසන්දනය කරමින් අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) නිල දත්ත පදනම් කරගනිමින් මෙම 2026 හෙන්ලි පාස්පෝට් දර්ශකය ප්‍රකාශයට පත්කර ඇත.
වසර 5ක ගමන් මඟ සැසඳීම:
2021: 107 වන ස්ථානය
2022: 102 වන ස්ථානය
2023: 100 වන ස්ථානය
2024 - 2025: 96 වන ස්ථානය
2026: 94 වන ස්ථානය




