නිදිමත සහ අවධානය බිඳවැටීම් හඳුනාගන්නා AI පද්ධතියක් දුරගමන් බස්වලට
බැස්ටියන් මාවතෙන් ඇරඹි නියමු ව්‍යාපෘතිය
දිවයිනේ දුරගමන් සේවා පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මෙන්ම රියදුරන්ගේ ද ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් කෘතිම බුද්ධි (AI) තාක්ෂණය පදනම් කරගත් නව නිරීක්ෂණ පද්ධතියක් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ උපදෙස් මත, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සම්බන්ධීකරණයෙන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.
ව්‍යාපෘතියේ මූලික අදියර ලෙස කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළේදී තෝරාගත් දුරගමන් පුද්ගලික බස් රථ 10ක් සඳහා අදාළ සංවේදක සහ තාක්ෂණික උපාංග සවිකිරීමේ කටයුතු අද (5) නිල වශයෙන් සිදුකෙරිණි. මෙම මූලික නියමු අදියරේ ක්‍රියාකාරීත්වය, ප්‍රායෝගික සාර්ථකත්වය මෙන්ම තාක්ෂණික ගැළපුම සමාලෝචනය කිරීමෙන් අනතුරුව, දිවයින පුරා ධාවනය වන සෙසු දුරගමන් බස් රථ වෙත ද මෙම ක්‍රමවේදය පුළුල් කිරීමට නියමිතය.
දඬුවමට වඩා වැළැක්වීමට මුල්තැන
මෙහි මූලික අරමුණ රියදුරන් නීතිමය වශයෙන් වැරදිකරුවන් කිරීම හෝ ඔවුන් පීඩනයට පත්කිරීම නොව, ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වාම රියදුරුගේ කායික සෝදිසිය සහ බස් රථ අභ්‍යන්තරයේ සුරක්ෂිතතාව තහවුරු කිරීම බව ප්‍රවාහන බලධාරීහු පෙන්වා දෙති.
විශේෂයෙන් දීර්ඝ වේලාවක් රථ ධාවනය කිරීමේදී රියදුරන්ට මුහුණ දීමට සිදුවන අධික වෙහෙස, හදිසි නිදිමත ස්වභාවය (Micro-sleep), ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිතය මෙන්ම ආසන පටි නොපැළඳීම වැනි අවධානය ගිලිහෙන අවස්ථා තත්‍ය කාලීනව (Real-time) හඳුනාගැනීමට මෙම AI පද්ධතියට හැකියාව පවතී. එවැනි අනාරක්ෂිත තත්ත්වයක් නිරීක්ෂණය වූ සැනින් ස්වයංක්‍රීය කටහඬ පණිවුඩ (Voice Alerts) මගින් රියදුරු වහා දැනුවත් කර අවධානය යළි ලබාගැනීමට කටයුතු කෙරේ.
ජාත්‍යන්තර ප්‍රවණතා සහ දේශීය ප්‍රවාහනයේ නව හැරවුම
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇතුළු ජාත්‍යන්තර ප්‍රවාහන ආරක්ෂණ ආයතන පෙන්වා දෙන්නේ මහාමාර්ග අනතුරුවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් සිදුවන්නේ ක්ෂණිකව රියදුරුගේ අවධානය බිඳවැටීම සහ නිදිමත හේතුවෙන් බවයි. මේ හේතුවෙන් දියුණු රටවල පොදු ප්‍රවාහන පද්ධති සඳහා Driver Fatigue Detection Systems (DFDS) වැනි ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමේ ක්‍රමවේද භාවිත කිරීම අනිවාර්ය ප්‍රමිතියක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ග පද්ධතියේ සහ අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කරගැනීම සඳහා මෙවැනි තාක්ෂණික මැදිහත්වීමක් සිදුකිරීම, පොදු ප්‍රවාහනය කෙරෙහි මගී විශ්වාසය යළි ගොඩනැගීමට ඉවහල් වන පියවරක් ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවෝ පෙන්වා දෙති. මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථක වීම මත ඉදිරියේදී සමස්ත මගී ප්‍රවාහන ක්ෂේත්‍රයම වඩාත් විනයගරුක සහ සුරක්ෂිත පරිසරයක් කරා පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.




