සාම පා ගමනේ යෙදෙන භික්ෂුන් වහන්සේලාට බාධා වන ලෙස උන්වහන්සේලා සමග පාගමනේ නොයෙදෙන ලෙස කොපමණ දැනුම් දුන්නද ඇතැම් පිරිස් එය නොතකා කටයුතු කිරීම හේතුවෙන් භික්ෂුන් වහන්සේලා මෙන්ම සංවිධායක මණ්ඩලය ද අපහසුතාවට පත්වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
යූ ටියුබ්කරුවන් ඇතුළු විශාල පිරිසක් පාගමනට බාධා වන අයුරින් මාධ්‍ය හසුරුවන බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සංවිධායක මණ්ඩලයට හැර භික්ෂුන් වහන්සේ සමග හරි හරියට පාගමනේ යෙදෙන්නට වෙනත් කිසිවකුට හෝ අවස්ථාව ලබා නොදීමට තීරණය කළ බවත් ඔහු කීවේය.
ඇමැති කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේද පැවසුවේය. ‘
‘ඇමරිකාවේදී මේ භික්ෂුන් වහන්සේලා හා අලෝකා සුනඛයා කිසිදු බාධාවකින් තොරව පාගමනේ යෙදුණා. නමුත් අපේ රටේදී තත්ත්වය වෙනස්. ඇතැම් පිරිස් භික්ෂුන් වහන්සේලාට සමාන්තරව හා උන්වහන්සේලාට පිටුපසින් පාගමනේ යෙදෙන්න උත්සහා කරනවා. ඒක පාගමනට එක්ව සිටින භික්ෂුන් වහන්සේලාට කරදරයක්. උන්වහන්සේලා ගමන් කරන මාර්ගයේ පැත්තේ ඉඳලා කෙසෙල් කොළ අතුරන්න, වඳින්න බාධාවක් නැහැ. දඹුල්ලේ සිට නාවුල දක්වා පැමිණි ගමනේදී දහවල් දානය සූදානම් කරලා තිබුණේ නාවුල ආසන්නයේ. එහෙත් සැලසුම් කළ කාලවේලාවන් අනුව පාගමන ක්‍රියාත්මක කරන්න නොහැකි වීමෙන් කාලවේලාව ඉක්ම යෑම නිසා සැලසුම් කළ ස්ථානයට කිලෝ මීටර් 08 ක් තිබියදී දහවල් දානය පිළිගන්වන්න සිදුවුණා. මේ වනවිට ආලෝකා සුනඛයාටත් සුළු අසනීප තත්ත්වයක් ඇති වෙලා. පොලිස් නිල සුනඛ අංශයේ කණ්ඩායමක් ප්‍රතිකාර සඳහා එක්ව සිටිනවා. ආලෝකා සුනඛයා සමග සෙල්ෆි ගහන්නත් සමහරු උත්සහා කරනවා. මේ පාගමන සාර්ථක කර ගන්න ජනතාවගේ සහාය අවශ්‍යයයි. එහෙම නොවුනහොත් භික්ෂුන් වහන්සේලාගේ අරමුණ ඉටු නොවන බව අප තේරුම් ගත යුතුයි.’’
( aruna | කමල් සුරවීර)




