මාධ්‍ය නිදහසට සහ භාෂණයේ අයිතියට තර්ජනයක් බව පවසමින් කැඳවීම වහා අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලීමක්
බීබීසී (BBC) සිංහල සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) රජයෙන් සහ පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ජූලි 21 වැනිදා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, මෙවැනි ක්‍රියාමාර්ග ජනමාධ්‍ය නිදහසට මෙන්ම ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට එල්ල වන බරපතල තර්ජනයක් බවයි.
සිද්ධියට අදාළ පසුබිම
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, කතානායකවරයාගේ නියෝගයෙන් බීබීසී සිංහල සේවයේ කර්තෘ ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී සම්පත් දිසානායක එළඹෙන ජූලි 23 වැනිදා පස්වරු 2.00ට පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවා තිබේ.
අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන්, පොලිසිය දක්වන මන්දගාමී පිළිවෙත පිළිබඳව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) විවෘත අධිකරණයේදී කළ ප්‍රකාශයන් සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මඟින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් කැඳවා ප්‍රශ්න කළ බවට බීබීසී සිංහල සේවය විසින් වාර්තා කර තිබිණි.
මෙම වාර්තාකරණය පදනම් කරගනිමින් අදාළ කැඳවීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ස්ථාවරය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යනු කිසිදු නීතිමය හෝ නිල බලයක් නොමැති පාර්ලිමේන්තු අභ්‍යන්තර සංසදයක් පමණක් බවත්, එවැනි පසුබිමක අදාළ සිදුවීම පිළිබඳ තොරතුරු සමාජගත කළ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීම ජනමාධ්‍යයේ ස්වාධීනත්වයට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බරපතල හානියක් වන බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
තම අසාර්ථකත්වයන් වසා ගැනීමටත් මාධ්‍යවේදීන් බියගැන්වීමටත් පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කිරීම මාධ්‍ය මර්දන ඉතිහාසයට එක්වන තවත් කළු පැල්ලමක් ලෙස පෙන්වා දෙන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මෙම තර්ජනාත්මක ක්‍රියාමාර්ගය වහාම නතර කරන ලෙසත්, මාධ්‍ය නිදහස සුරැකීම වෙනුවෙන් සියලු සිවිල් සංවිධාන සහ ජනතාව එක්විය යුතු බවත් අවධාරණය කර සිටියි.




