ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා නොකරන ලෙසත්, ජාතික ළමාරක්ෂක අධිකාරිය ගත් පියවර අගයන බවත් අවධාරණය කෙරෙයි
පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ සිදුවීම වාර්තා කිරීම හේතුවෙන් BBC සිංහල පුවත් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවීමට දැරෙන උත්සාහය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික මානව හිමිකම් අභියෝගයට ලක්කිරීමක් බව 'ෆ්‍රී ලෝයර්ස්' (Free Lawyers) සංවිධානය පවසයි.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ රජිත් කීර්ති තෙන්නකෝන් දෙදෙනාගේ අත්සනින් 2026 ජූලි 22 වනදා නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ.
අදාළ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව වෙත කැඳවීමට තීරණය කිරීම, ඉන් පසු එය ඉවත් කරගැනීම සහ නැවත කැඳවීමට සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් එම සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
පාර්ලිමේන්තු කාන්තා සංසදයේ කාර්යභාරය සහ 1992 පූර්වාදර්ශය
පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය පිහිටුවා ඇත්තේ මෙරට 52%ක් වන කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය පුළුල් කිරීමට මිස, ව්‍යවස්ථාවෙන් හා බලාත්මක නීති මඟින් තහවුරු කර ඇති මානව හිමිකම් සීමා කිරීමට නොවන බව පෙන්වා දෙන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, අතීතයේ සිටම පක්ෂ භේදයකින් තොරව එම සංසදය සිය වගකීම ඉටුකළ බව මතක් කර දෙයි.
තවද, 1992 සැප්තැම්බර් 24 වන දින එවකට 'රාවය' පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේ පැනනැඟුණු නෛතික තත්ත්වය ද මෙම නිවේදනය මඟින් නැවත සිහිපත් කර ඇත.
නෛතික සහ ක්‍රියාපටිපාටික ගැටලු
කිසියම් මාධ්‍ය ආයතනයක් හෝ මාධ්‍යවේදියෙකු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවීමට පෙර පහත සඳහන් මූලික කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් පැවැතිය යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරයි.
- විධිමත් නඩු විභාගයක් විධිමත් ආකාරයකින් සිදු කරන්නේද යන්න,
- පැමිණිලිකරු විසින් විධිමත්ව චෝදනා ඉදිරිපත් කරන්නේද යන්න,
- පැමිණිලිකරුගෙන් හෝ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ අයිතිය විත්ති පාර්ශ්වයට ලැබෙන්නේද යන්න,
- තමා වෙනුවෙන් නීතිඥ සහාය ලබාගැනීමේ හැකියාව පවතින්නේද යන්න,
- පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාවට අධිකරණයක් ලෙස ක්‍රියා කිරීමට නීතියෙන් නියම කළ විධිමත් ක්‍රියාපටිපාටියක් තිබේද යන්න.
ස්වභාවික යුක්ති ධර්මය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය
"තමාගේ නඩුව තමා විසින්ම ඇසීම" (Nemo judex in causa sua) ස්වභාවික යුක්ති ධර්මයේ මූලධර්මයන්ට පටහැනි බව පෙන්වා දෙන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් නැවත එවැනි පසුගාමී පියවරක් නොතබනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කරයි.
එමෙන්ම, මෙම සිදුවීමට අදාළව විධිමත් විමර්ශනයක් සිදු කිරීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය ගත් සාධනීය පියවර අගය කරන අතරම, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට කිසිදු ලෙසකින් බාධා නොකළ යුතු බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කෙරේ.




