BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

පෙත්සම්කරුවන්ට පිළිතුරු අවස්ථාව අහිමිවීම: CLA සභාපතිගේ දැඩි අවධානය

T

The Leader Desk

September 3, 2026 • 3:54 AM

පෙත්සම්කරුවන්ට පිළිතුරු අවස්ථාව අහිමිවීම: CLA සභාපතිගේ දැඩි අවධානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *22 වැනි සංශෝධන පෙත්සම් විභාගය අවසන් වූ ආකාරය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් ප්‍රශ්න
  • අනතුරුව සැප්තැම්බර් 02 වැනිදා අතරමැදි පෙත්සම්කරුවන්ගේ පාර්ශ්වය සහ රජය නියෝජනය කරමින් නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න කරුණු දැක්වීම සිදු කළේය.
  • 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් රජයේ නිල ස්ථාවරය ප්‍රථම වරට අධිකරණය හමුවේ අනාවරණය වූයේ සොලිසිටර් ජෙනරාල්වරයාගේ එම දේශනය මඟිනි.
  • එම කරුණු දැක්වීම අවසන් වීමත් සමඟ, ඊට ක්ෂණික වාචික ප්‍රතිචාර දැක්වීම සඳහා (Right of Reply) අවස්ථාවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


*නීතිපතිගේ කරුණු දැක්වීමට වාචික ප්‍රතිචාර අහිමිවීම සහ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විවාදය


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයේ අවසන් අදියරේදී, රජයේ ස්ථාවරයට වාචිකව පිළිතුරු දීමට පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (Commonwealth Lawyers Association - CLA) සභාපති ස්ටීවන් තිරූ සිය සෘජු අවධානය යොමු කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවති මෙම නඩු විභාගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, නඩු විභාගය අවසන් වූ ආකාරය අතිශයින් කනගාටුදායක බවයි.

වාචික පිළිතුරු අයිතිය සහ විභාගයේ අවසන් හෝරා
සැප්තැම්බර් 01 වැනිදා ආරම්භ වූ මෙම පෙත්සම් විභාගයේ මුල් දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට දීර්ඝ ලෙස කරුණු දැක්වීමට අවකාශ ලැබුණු අතර, එදින රාත්‍රී 10.30 පමණ වන තෙක් නඩු කටයුතු පැවැත්විණි. අනතුරුව සැප්තැම්බර් 02 වැනිදා අතරමැදි පෙත්සම්කරුවන්ගේ පාර්ශ්වය සහ රජය නියෝජනය කරමින් නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න කරුණු දැක්වීම සිදු කළේය.

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් රජයේ නිල ස්ථාවරය ප්‍රථම වරට අධිකරණය හමුවේ අනාවරණය වූයේ සොලිසිටර් ජෙනරාල්වරයාගේ එම දේශනය මඟිනි. එම කරුණු දැක්වීම අවසන් වීමත් සමඟ, ඊට ක්ෂණික වාචික ප්‍රතිචාර දැක්වීම සඳහා (Right of Reply) අවස්ථාවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

කෙසේවෙතත්, පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට වාචිකව පිළිතුරු දීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල, අවශ්‍ය නම් ලිඛිත දේශන මඟින් කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් ඊයේ (02) සවස 5.30ට පමණ නඩු විභාගය සම්පූර්ණයෙන්ම අවසන් කළේය.

CLA සභාපති ස්ටීවන් තිරූගේ නිරීක්ෂණය

මෙම ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ CLA සභාපති ස්ටීවන් තිරූ, විනිසුරුවරුන් නඩු විභාගය පුරා ඉතා ඉවසීමෙන් කරුණු විමසීමට ඉඩ ලබා දුන්නද අවසානයේ ගත් මෙම තීරණය පිළිගත් නීති සම්ප්‍රදායන්ගෙන් බැහැරවීමක් බව පෙන්වා දුන්නේය.

"මම අද මෙහි පැමිණියේ මෙම නීති කෘත්‍යය නිරීක්ෂණය කිරීමටයි. අපගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඉදිරියේදී සකස් කිරීමට නියමිතයි. විනිසුරුවරුන් දිනය පුරාම ඉතා ඉවසීමෙන් කටයුතු කරමින් කරුණු දැක්වීමට කාලය දුන්නා. නමුත් අවසානයේ සිදුවූ දේ ඉතාමත් කනගාටුදායකයි. පෙත්සම්කාර නීතිඥවරුන්ට පිළිතුරු දීමට අවශ්‍ය වුවත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔවුන්ට දැනුම් දුන්නේ ලිඛිත කරුණු දැක්වීමක් සිදු කරන ලෙසයි.

බොහෝ අධිකරණ ක්‍රියාවලීන්වලදී මෙය සුලබ තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම මෙවැනි තීරණාත්මක ව්‍යවස්ථාමය නඩුවලදී වාචික පිළිතුරු දීමේ අයිතිය සාමාන්‍යයෙන් පිළිගත් සම්ප්‍රදායක්. අපගේ ස්ථාවරය වන්නේ පෙත්සම්කාර පාර්ශ්වයට ඒ සඳහා අවස්ථාව ලබා දීමට ඉඩ තිබුණා යන්නයි."

පූර්ණ විනිසුරු මඬුල්ලක් නොමැතිකම සහ අධිකරණ ස්වාධීනත්වය

පෙත්සම්කරුවන්ට වාචිකව ප්‍රතිචාර දැක්වීමට ඉඩ නොදීමේ ගැටලුවට අමතරව, මෙවැනි බැරෑරුම් නඩුවක් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Bench) නම් නොකිරීම පිළිබඳවද ස්ටීවන් තිරූ අවධානය යොමු කළේය.

සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුව බලපාන ප්‍රධාන කරුණු විභාග කිරීමේදී පුළුල් විනිසුරු මඬුල්ලක් පත් කිරීමේ පිළිවෙතක් පවතින බවත්, මෙම නඩුව සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප වීම මෙරට නීති ප්‍රජාව අතර ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

"නඩුවේ දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ නීතිමය තර්කවල හරි වැරැද්ද පිළිබඳ මම ප්‍රකාශ කරන්නේ නැහැ; එය අපගේ කාර්යභාරය නොවේ. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය සහ විනිවිදභාවය යනු අතිශය ආරක්ෂා විය යුතු පදනමක්. එවැනි ස්වාධීනත්වයක් කෙරෙහි කිසියම් සැකයක් හෝ අභියෝගයක් මතු වන්නේ නම්, නීතිය පිළිබඳ කුමන තර්ක කළද ඉන් ඵලක් වන්නේ නැහැ," යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

තීන්දුව කථානායකවරයාට

අදාළ පෙත්සම් පිළිබඳ ලිඛිත දේශන ඇත්නම් ඒවා අද (සැප්තැම්බර් 03) පස්වරු 3.00ට පෙර ගොනු කරන ලෙස පාර්ශ්වයන්ට නියෝග කර ඇති අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත නිල වශයෙන් භාරදීමට නියමිතය.


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පෙත්සම්කරුවන්ට පිළිතුරු අවස්ථාව අහිමිවීම: CLA සභාපතිගේ දැඩි අවධානය | The Leader