කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව නව මුහුණුවරක් ගනිමින් යළිත් කරළියට පැමිණ තිබේ.
නයනා සෙනවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විජේරාම මාවතේ පිහිටි අධිකරණ පරිශ්‍රයේදී මෙම සාක්ෂි විභාගය සිදුවිය.
සාක්ෂි කැඳවීමට එරෙහි නීතිමය තර්ක
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා කළ ඉල්ලීමක් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් ‘මුරලි’ යන අයගේ සාක්ෂිය නැවත සටහන් කරගැනීමට පසුගියදා අවසර ලබා දුන්නේය.
විත්තියේ නීතිඥවරුන් එම නියෝගයට එරෙහිව අභියාචනයක් ගොනු කරමින් නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා සිටියද, අතුරු නියෝගයක් අභියාචනයකට ලක්කළ නොහැකි බව දන්වමින් අධිකරණය සාක්ෂි කැඳවීම තහවුරු කළේය.
නැවත සාක්ෂි කූඩුවට පැමිණි සුමතිපාල සුරේෂ් කුමාර අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, නඩුවේ පළමු විත්තිකරු වන ෂම්මි කුමාරරත්න තමන්ට අවස්ථා කිහිපයකදීම බලපෑම් එල්ල කළ බවයි. නඩුවට අදාළව අසත්‍ය සාක්ෂි ගොනුකරන ලෙස තමන්ට තර්ජන එල්ල වූ බව සාක්ෂිකරු එහිදී අනාවරණය කළේය.
හරස් ප්‍රශ්න හමුවේ අනාවරණය වූ කරුණු
අනතුරුව නමවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.
ප්‍රශ්නය: "ඔබ එක්නැලිගොඩ හමුවුවාද?"
පිළිතුර: "එක් අවස්ථාවක එක්නැලිගොඩ හමුවුණා. හබරණ වත්තකදී. ඒ කියන්නේ එක්නැලිගොඩගේ වත්තකදී."
ප්‍රශ්නය: "හමුවෙලා කතා කළේ මොනවාද?"
පිළිතුර: "එවකට හිටපු පාලකයන් එළවන්න ඕන, ඔවුන්ව සමූල ඝාතනය කරන්න ඕන කියලා එක්නැලිගොඩ මාත් එක්ක කිව්වා. මිසයිල ගහන්න ඕන කියලත් කිව්වා."
නඩු විභාගය ලබන 16 වැනිදාට
නියමිත කාලය අවසන් වීම හේතුවෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ලබන 16 වැනිදා දක්වා කල් තැබිණි. එදිනට සාක්ෂි අංක 53 සහ 98 කැඳවීමට අධිකරණය නොතීසි නිකුත් කර ඇති අතර, ඉදිරි දිනකදී සාක්ෂිකරුවකු ලෙස සුරේෂ් සලේ ද කැඳවීමට නියමිත බව වාර්තා වේ.
2010 ජනවාරි 25 දින හෝ ඊට ආසන්න දිනකදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී . උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ, ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනා මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබේ.
දේශීය මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති මෙම නඩු විභාගය, මෙරට මාධ්‍ය නිදහස සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ සංධිස්ථානයක් ලෙස සැලකේ.



