ත්‍රිපාර්ශ්වික පාලන රාමුවක් හරහා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, අත්හිටුවූ ගිණුම්වල මුදල් ඉක්මනින් ලබාදීමටත් නව වැඩපිළිවෙළක්
සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) එකිනෙක ඒකාබද්ධ කිරීමට හෝ පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බවට පැතිර යන වාර්තා පදනම් විරහිත බවත්, එමඟින් සිදු කරන්නේ අරමුදල්වල පාලන හා පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ පියවරක් පමණක් බවත් රජය අවධාරණය කරයි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ කම්කරු අමාත්‍ය අචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, මෙරට ප්‍රධානතම සමාජ ආරක්ෂණ අරමුදල් දෙකෙහි පවතින රුපියල් ට්‍රිලියන 5.6කට ආසන්න දේපළ හා වත්කම් සූරක්ෂිතව පවතින බවයි.
දැනට සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ද, සේවක භාරකාර අරමුදල වෙනම ආයතනික රාමුවක් යටතේ ද පාලනය වන අතර, එම විමධ්‍යගත පාලන ක්‍රමය හේතුවෙන් පරිපාලනමය ප්‍රමාදයන් රැසක් මතුව තිබේ.
නව සංශෝධන සහ ත්‍රිපාර්ශ්වික පාලනය
මෙම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා රජය, පෞද්ගලික අංශයේ හිමිකරුවන් සහ සේවක පාර්ශ්ව නියෝජනය වන පරිදි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ප්‍රමිතීන්ට අනුකූලව 'ත්‍රිපාර්ශ්වික පාලන රාමුවක්' (Tripartite Governance Framework) සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත් කර ඇත.
මෙහිදී අරමුදල් දෙකෙහි මුල්‍ය අනන්‍යතාව වෙනස් නොවන අතර, දත්ත පද්ධති එකමුතු කරමින් ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් (Unified Digital Platform) ස්ථාපිත කිරීමට නියමිතය.
කාර්මික දෝෂ සහ පරිපාලනමය අඩුපාඩු හේතුවෙන් රුපියල් බිලියන ගණනක මුදලක් 'අත්හිටුවූ ගිණුම්වල' (Suspension Accounts) සිරවී පවතින අතර, මෙම නව ඒකාබද්ධ දත්ත පද්ධතිය මඟින් අදාළ මුදල් ප්‍රතිලාභීන්ට ඉක්මනින් ලබාදීමට හැකිවනු ඇතැයි අමාත්‍ය අචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.
තීරණ ගැනීමේ විනිවිදභාවය
යෝජිත ත්‍රිපාර්ශ්වික රාමුව යටතේ රජය, හිමිකරුවන් සහ වෘත්තීය සමිති යන පාර්ශ්වයන්ට සමාන නියෝජනයක් හිමිවන බැවින් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව අරමුදල් කළමනාකරණය කිරීමට ඉඩ සැලසේ.
පත්කරන ලද නිලධාරී කමිටුවේ වාර්තාව ලැබුණු පසු ජාතික කම්කරු උපදේශක සභාව (NLCC) සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පූර්ණ සාකච්ඡාවක යෙදෙමින් විනිවිදභාවයෙන් යුතුව ඉදිරි පියවර ගන්නා බව රජය සහතික වෙයි.
වෘත්තීය සමිති සැකය සහ ඉදිරි මඟ
කෙසේ වෙතත්, මෙම පාලන වෙනස්කම් හරහා අනාගතයේදී සේවක අයිතිවාසිකම්වලට හෝ විශ්‍රාම වැටුප් අරමුදල්වලට බලපෑමක් සිදුවිය හැකි බවට ඇතැම් වෘත්තීය සමිති සහ විපක්ෂ දේශපාලන පාර්ශ්වයන් සැක පළ කරති.
එම කාරණය පැහැදිලි කරමින් රජය පවසන්නේ, වෘත්තීය සමිති එකඟතාවයකින් තොරව කිසිදු නීතිමය සංශෝධනයක් සිදු නොකරන අතර, සියලුම ප්‍රතිසංස්කරණ සේවකයන්ගේ සහ ප්‍රතිලාභීන්ගේ සුභසාධනය උදෙසා පමණක්ම යොදවන බවයි.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Government Rejects EPF Merger Claims, Pushes Governance Overhaul for Efficiency




