ඒ අනුව, මෙම මරණ පරීක්ෂණයේ 19 සහ 20 වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ප්‍රමුඛ පෙළේ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම් සාක්ෂි දීම සඳහා ලබන 05 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (02) සිතාසි නිකුත් කළේය.
රහස්‍යභාවය රැකීමට අධිකරණ නියෝගයක්
මෙම සාක්ෂි කැඳවීමත් සමඟ නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුවූයේ සේවාදායකයා සහ නීතිඥයා අතර පවතින වෘත්තීය රහස්‍යභාවය පිළිබඳ නීතිමය සීමාවන් කෙරෙහි ය.
කෙසේ වුවද, සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ සාක්ෂි ආඥා පනතේ 126 වගන්තිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ නීති අංක 31 හි ප්‍රතිපාදන ප්‍රකාරව, මරණකරු විසින් සිය නීතිඥවරුන්ට ලබාදුන් ලිඛිත හෝ වාචික උපදෙස් මෙන්ම උපදෙස් අනාවරණය නොකිරීමට අධිකරණය තීරණය කළ බවයි.
FBI හරහා ඇපල් සමාගමට යන කපිලගේ ජංගම දුරකතනය
මරණය පිටුපස ඇති සැබෑ සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා තාක්ෂණික සාක්ෂි මෙහෙයවීමට විමර්ශන නිලධාරීන් සූදානම් වේ.
කොළඹ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේ මරණකරු පරිහරණය කළ ජංගම දුරකතනයේ දත්ත විශ්ලේෂණය කිරීම සඳහා එය අමෙරිකාවේ ප්‍රකට ඇපල් (Apple) සමාගම වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බවයි. මෙම ක්‍රියාවලිය අධිකරණ අමාත්‍යාංශය හරහා, අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ඇතිව සිදු කිරීමට නියමිතය.
හරිත පැහැති බඳපටිය රස පරීක්ෂකට
තාක්ෂණික සාක්ෂිවලට අමතරව භෞතික සාක්ෂි කෙරෙහිද විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇත. කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේ තිබී සොයාගත් "කොළ පැහැති බඳපටිය" (Green Belt) වැඩිදුර විද්‍යාත්මක පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද අධිකරණයෙන් අවසර හිමිවිය.
මෙම සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ සාක්ෂිකරුවන්ට ලබන 05 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නඩුව එදිනට කල් තැබීය. අභිරහස් රැසක් සඟවාගෙන ඇති කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය ඉදිරි දින කිහිපය තුළ දේශපාලන හා සමාජීය ක්ෂේත්‍රය උණුසුම් කරවන තීරණාත්මක සංධිස්ථානයක් වනු නිසැකය.




