භූ-දේශපාලනික බල අරගල මැද ලංකාව තවදුරටත් ණය උගුල්වල සිරකර තබන සාම්ප්‍රදායික මූල්‍ය ආකෘතිවලින් බැහැරව, රටේ ස්වෛරීභාවයට ගරු කරන, විනිවිදභාවයෙන් යුතු දැවැන්ත ආයෝජන මාලාවක් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට යුරෝපා සංගමය (EU) සෘජු පියවර ගනිමින් සිටී.
කොළඹ පැවැත්වුණු ශ්‍රී ලංකා - ජර්මානු ව්‍යාපාරික සංසදයේදී යුරෝපා සංගම් නියෝජිත පිරිසේ සහයෝගිතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේ (Dr. Johann Hesse) ප්‍රකාශ කළේ, යුරෝපයේ "Global Gateway" (ගෝලීය ද්වාරය) උපායමාර්ගික ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් දීමට සූදානම් බවයි.
මුලින් යුරෝ බිලියන 300ක ඉලක්කයක් සහිතව ඇරඹි මෙම අරමුදල, 2027 වන විට යුරෝ බිලියන 400ක් (ට්‍රිලියන ගණනක රුපියල්) දක්වා ඉහළ නංවා ඇත්තේ ශ්‍රී ලංකාව වැනි උපායමාර්ගික රටවලට වැඩි අවස්ථාවක් දෙමිනි.
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයේ ධනාත්මක පිම්ම
මෙම ව්‍යාපෘතිය ලංකාවට සුවිශේෂී වන්නේ ඇයි? අනෙක් ජාත්‍යන්තර ණය ව්‍යාපෘති මෙන් නොව, "Global Gateway" යනු හුදෙක් රජයට පටවන තවත් ණයක් නොවේ. මෙය ප්‍රදානයන් (Grants), මෘදු ණය සහ පෞද්ගලික අංශයේ වාණිජ ආයෝජන එකට මුසු කළ (Blended finance) නවීන ආර්ථික ආකෘතියකි. මේ හරහා දේශපාලන හෝ නියාමන අවදානම් අවම කරන බැවින්, ලෝකයේ ඉහළම පෙළේ පෞද්ගලික ආයෝජකයන් ලංකාවේ වරාය පුළුල් කිරීම්, ලොජිස්ටික්ස් මධ්‍යස්ථාන සහ හරිත බලශක්ති (Green infrastructure) ව්‍යාපෘති වෙත ආකර්ශනය කර ගැනීමට මඟ පෑදේ.
මෙය තාක්ෂණික හුවමාරුව, ඩිජිටල් පරිවර්තනය සහ පාලන ආයතන ශක්තිමත් කරන "360-degree" ප්‍රවේශයක් බව ආචාර්ය හෙසේ පෙන්වා දෙයි. ගෝලීය ප්‍රාග්ධනය ලංකාව දෙසට ගලා ඒමට නම්, රජය විසින් ආයෝජනයට සූදානම් (Investment-ready) ව්‍යාපෘති කඩිනමින් සම්පාදනය කළ යුතුය. ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා යන මේ ගමනේදී, යුරෝපා සංගමයේ මෙම ධනාත්මක අතදීම රටේ දිගුකාලීන සංවර්ධන අභිලාෂයන් සැබෑවක් කරන ප්‍රබලතම උත්ප්‍රේරකයක් වනු නොඅනුමානය.
(සටහන | සම්පත් ධීරසේකර)




