සංගමය විසින් ක්‍රියාත්මක කළ වෘත්තිය සමීති ක්‍රියාමාර්ගවල සම්බන්ධයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද (11) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව පවසා සිටියේ, සූතිකාගාර ප්‍රතිකාර යනු හදිසි ප්‍රතිකාර බැවින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලදී කිසිදු විටකදී වෛද්‍යවරුන් හදිසි ප්‍රතිකාරවලින් ඉවත් වීමක් සිදුනොකරන බවය.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් පිරිසක් විසින් සිතාමතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනා එල්ල කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනී යන බවත්, අදාළ වෛද්‍යවරුන් වැඩ තහනමකට ලක්වූ බව මාධ්‍ය මඟින් දැනගැනීමට ලැබුණද ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති බවත් වෛද්‍ය චන්දික එපිටකඩුව වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම අදාළ වෛද්‍යවරු රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද ඔවුන් පෞද්ගලික සේවයේ නිරත වී ඇත්තේ, තමන්ගේ සේවා කාලයෙන් පිටත අවස්ථාවක බවද වෛද්‍ය චන්දික එපිටකඩුව තවදුරටත් සඳහන් කළේය.
පසුගිය අප්‍රෙල් 9 වෙනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියකට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයට අනුව එම රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුගේ රාජකාරි වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ, රාජකාරි කාලසීමාවේ සිය රාජකාරී පැහැරහැරීම සහ පෞද්ගලික සේවාවල නියැලීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළවය.
එලෙස වැඩ තහනම් කර ඇත්තේ එම මහරෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේය.
අදාළ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් සූතිකාගාරයට පැමිණෙන්නැයි දැනුම්දෙමින් රෝහලේ නේවාසික වෛද්‍යවරිය අදාළ විශේෂඥ වෛද්‍යවරයාට සහ වෛද්‍යවරියට අවස්ථා ගණනාවකදී ඇමතුම් ලබාදී ඇතත් ඔවුන් එම අවස්ථාවේ නොපැමිණි බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
අදාළ වෛද්‍යවරු දෙදෙනා එම අවස්ථාවේ පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමකට සහභාගී වී සිට ඇති බවටත් චෝදනා එල්ල වී තිබූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර ඇත.
ඒ අනුව අනාවරණ වී ඇත්තේ අදාළ වෛද්‍යවරු දෙදෙනා රාජකාරි වේලාව තුළ පෞද්ගලික අංශයේ සේවයේ යෙදී සිට ඇති අතර එම අවස්ථාවේ රෝහලේ රාජකාරි කර ඇතැයි රාජකාරි දිනපොතේ අසත්‍ය සටහන් ද යොදා තිබූ බවය.
ඒ හේතුවෙන් එම වෛද්‍යවරු දෙදෙනාගේ රාජකාරි වැඩතහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර, මෙම සිදුවීම සිදුව ඇති අප්‍රෙල් 09 වෙනිදා රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝහලේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ දිනයකදීය.
එමෙන්ම රාජකාරි පැහැරහැරීම හේතුවෙන් වැඩතහනමට ලක්වූ විශේෂඥ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය මට්ටමේ සභාපතිවරයෙක්ද වේ.
කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳ විධිමත් විනය පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලදී හදිසි ප්‍රතිකාර සේවාවන් කිසිවිටෙක බිඳවැටෙන්නට නොදෙන අතර හදිසි රෝගී සත්කාර සේවාවන්, විශේෂයෙන් හදිසි ප්‍රතිකාර ඒකක දැඩිසත්කාර ඒකක, සුතිකාගාර ආදී වූ ස්ථානයන්හි සේවාවන් අඛණ්ඩව සිදු කරගෙන යාමට අවශ්‍ය සියලු උපදෙස් ලබා දෙයි.
ඒවාගේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකදි මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා වෛද්‍ය ආයතන, වකුගඩු රෝග ආශ්‍රිත රෝහල්, හමුදා රෝහල් සහ මානසික වෛද්‍ය විද්‍යායතන වල සේවාවන් බිඳ නොවැටි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු උපදෙස් අපගේ ශාඛා සමිති හරහා සියලු සාමාජිකයින් වෙත දැනුවත් කර සිටින්නෙමු.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලදී සූතිකාගාර තුල කටයුතු කිසිසේත්ම එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සඳහා අදාල කර නොගන්නා අතර එම කටයුතු අනවරතව ක්‍රියාත්මක වේ. එසේ කටයුතු සිදු කෙරෙන වාතාවරණයකදී පටු දේශපාලණ අරමුණු මුල් කරගනිමින් අසත්‍ය පතුරවනු ලබන ඇතැම් මාධ්‍ය ආයතන වල මෙවන් ක්‍රියා තරයේ හෙළා දකින අතර අපගේ බලවත් අප්‍රසාදය පළකර සිටිමට කැමැත්තෙමු.
එසේම මෙම කණගාටුදායක සිදුවීම පිළිබඳව සාධාරණ වූත්, අපක්ශපාතී වූත් කඩිණම් පරීක්ශණයක්, මෙම අදාල තාක්ශණික කාරණා සහ එම ක්ෂේත්‍රය පිළිබඳව දැනුම ඇති විද්වත් කමිටුවක් මාර්ගයෙන් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි. එවන් විද්වත් කමිටුවක් හරහා සිදු කරන ස්වාධීන පරික්ෂණයකට අවශ්‍ය අපගේ පූර්ණ සහයෝගය ලබාදෙමින් කටයුතු කිරීමට සුදානම් බව මෙයින් දන්වා සිටිමු.''





