PTSD සහ දැඩි විශාදයෙන් පෙළෙන සුරේෂ් සලේ වෙනත් ආරක්ෂිත තැනකට මාරු කරන්නැයි ජනාධිපති නීතිඥයාගෙන් ඉල්ලීමක්!
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තුන්වන සැකකරු ලෙස නම් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දැඩි මානසික බිඳවැටීමකට ලක්ව, සියදිවි නසාගැනීමේ අධි අවදානමක පසුවන බව අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තාවකින් අනාවරණය වී තිබේ.
රැඳවුම් භාරයේදී ඔහුට එල්ල වූ බව කියන අමානුෂික සහ අවඥාසහගත වධහිංසා හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව පවසමින්, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා වහාම සුදුසු පරිසරයකට ඔහුව මාරු කරන ලෙස ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අද (03) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ගෙන් විවෘත අධිකරණයේදී ඉල්ලා සිටියේය.
මීට අදාළව කරුණු දැක්වීම සඳහා CID ස්ථානාධිපතිවරයාට හෙට (04) දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මහේස්ත්‍රාත්වරයා විසින් හදිසි නොතීසියක් ද නිකුත් කරනු ලැබීය.
වැසිකිළිය අසල දඬුවම් කූඩුව සහ අමානුෂික වධහිංසා
පසුගිය පෙබරවාරි 25 වනදා අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ, මාර්තු 2 සිට 6 දක්වා කාලය තුළ CID පරිශ්‍රයේ වැසිකිළියක් අසල පිහිටි අඳුරු 'දඬුවම් කූඩුවකට' (Punishment cell) මාරු කර ඇති අතර, එහිදී ඔහු දැඩි ලෙස අමානුෂික හා නින්දාසහගත සැලකීම්වලට ලක්ව ඇති බව සලේ ගේ නීතිඥවරු පෙන්වා දෙති.
මාර්තු 7 වනදා පවුලේ සාමාජිකයින් ඔහුව බැලීමට ගිය අවස්ථාවේදී සලේ, තමන්ට සිදුවන වධහිංසා ගැන ඉඟි කර ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ඔහුගේ බිරිඳ එදිනම පොලිස්පතිවරයා (IGP) වෙත ලිඛිතව පැමිණිලි කරමින් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටියද, අද වනතුරුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.
JMO වාර්තාවෙන් 'වධහිංසා' (Torture) තහවුරු වෙයි!
නීතිඥවරුන්ගේ දැඩි උත්සාහය මත අප්‍රේල් 22 වනදා අධිකරණය දුන් නියෝගයකට අනුව සලේ ව අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) වෙත යොමු කෙරුණි. පසුගිය සිකුරාදා (මැයි 29) අධිකරණයට ලැබුණු එම රහසිගත JMO වාර්තාව මඟින් බොහෝ රහස් හෙළිදරව් වී තිබේ.
වාර්තාවේ පිටු අංක 20, 22, 23 සහ 24 යන ස්ථාන 4කම සුරේෂ් සලේ, භෞතික සහ මානසික වධහිංසාවලට (Physical & Psychological Torture) ලක්ව ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු පශ්චාත් කම්පන ආතති අක්‍රමිකතාවයෙන් (PTSD) පෙළෙන අතර, ඔහු තුළ 'සියදිවි නසාගැනීමේ අධි අවදානමක්' (High Risk of Suicide) පවතින බවත් නිල වශයෙන් නිර්දේශ කර ඇත.
CCTV දර්ශන ආරක්ෂා කරගැනීමේ සටන
මෙම වධහිංසා පැමිණවීමේ සිදුවීමට අදාළ ස්වාධීන ඩිජිටල් සාක්ෂි විනාශ වීමේ අවදානමක් පවතින බැවින්, CID පරිශ්‍රයේ අදාළ දිනවල CCTV දර්ශන සුරක්ෂිතව තබාගන්නා ලෙස දන්වමින් සලේ ගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා (SDIG CID) වෙත ද අප්‍රේල් 24 වනදා විශේෂ ඊමේල් පණිවිඩයක් යවා තිබේ.
JMO වාර්තාවේ නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති පසුබිමක, සැකකරුගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් ඔහුව CID භාරයෙන් ඉවත් කර වෙනත් ආරක්ෂිත ස්ථානයකට මාරු කර ගැනීමට සලේ ගේ පාර්ශ්වය අද දින දැඩි නීතිමය සටනක නිරත විය. ඒ අනුව, හෙට (04) දින CIDය අධිකරණය හමුවේ දක්වන කරුණු මත හිටපු බුද්ධි ප්‍රධානියාගේ ඉරණම තීරණය වනු ඇත.




