එම අවස්ථාව ආරම්භ කළේ මහ බැංකු අධිපති පී.නන්දලාල් වීරසිංහගේ ප්‍රදානත්වයෙනි.
එහිදී මහ බැංකු අධිපතිවරයා උත්සව සභාව අමතමින් නීත්‍යානුකූල මූල්‍ය ආයතනය සහ නීති විරෝධී මූල්‍ය ක්‍රම පිළිබඳව මහජනතාව සතු දැනුම අඩුවීම වංචා කරුවන් සිය වාසියට හරවාගන්නා බවත්, ඒ නිසා මහජනතාව දැනුවත් කිරීම ජාතික වගකීමක් බවත් කියා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාසයක් පුරා ක්‍රියාත්මක වන “Be Scam Proof” ජාතික දැනුවත් කිරීම ව්‍යාපාරය ආරම්භ කිරීම මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමේ ජාතික වැඩපිළිවෙලේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන බව කීවේය.

එහිදී කතා කළ අධිපතිවරයා මෙසේද කීය...
ලෙහෙසියෙන් සල්ලි හොයන” උගුල්වලට අහුවෙන්න එපා!

'' වර්තමානයේ ඩිජිටල් බැංකුකරණය සහ සමාජ මාධ්‍ය හරහා මූල්‍ය සේවාවන් ජනතාවට සමීප වී තිබෙනවා. ඒ හා සමානව මූල්‍ය වංචාවන්ගේ අවදානම ද ඉහළ ගොස් ඇති බව පෙනෙනවා. විශේෂයෙන්ම, නීත්‍යානුකූල මූල්‍ය ආයතන සහ නීති විරෝධී මූල්‍ය ක්‍රම පිළිබඳව මහජනතාව සතු දැනුම අඩු වීම, වංචාකරුවන් සිය වාසියට හරවා ගන්නා බව පේනවා.
මූල්‍ය වංචා යනු ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ගැටලුවක් නොවේ. එය ලෝක ව්‍යාප්ත අර්බුදයක් බව කිව යුතුයි. මූල්‍ය වංචා මගින් පවුල් ඒකකවල ධනය විනාශ වනවා පමණක් නොව, සමස්ත මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය ද බිඳ වැටේනවා.විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල පිරමිඩ ජාවාරම්, නීති විරෝධී තැන්පතු ලබා ගැනීම් සහ අධික ලාභ ලබා දෙන බවට පොරොන්දු වන ආයෝජන වංචා හේතුවෙන් දුප්පත්කම පිටුදැකීමට ද බාධා එල්ල වන බවද පෙන්වා දිය යුතු යැයි අධිපතිවරයා කියා සිටියේය.
වර්තමානයේ නගරබද ජනතාව OTP (එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද) ලබා දීම වැනි ඩිජිටල් වංචාවලට හසුවන අතර, ග්‍රාමීය ප්‍රජාවන් නීති විරෝධී වතු වැවිලි ව්‍යාපෘති වැනි වංචනික ආයෝජන ක්‍රමවලට ගොදුරු වන බව අධිපතිවරයා මෙහිදී හෙළි කළේය.
මෙම මූල්‍ය වංචා මර්දනය කිරීම මහ බැංකුවට පමණක් තනිව කළ නොහැකි බවත්, ඒ සඳහා මාධ්‍ය ආයතන, මූල්‍ය ආයතන, විදුලි සංදේශ සේවා සපයන්නන් සහ නීතිය බලාත්මක කරන ආයතන එක්ව කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය විය.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් (Influencers) සහ අන්තර්ගත නිර්මාණකරුවන් තමන් කෙරෙහි පවතින මහජන විශ්වාසය අනිසි ලෙස භාවිත නොකර, වගකීමෙන් යුතුව ජනතාව දැනුවත් කළ යුතු බව අධිපතිවරයා පැවසීය.
“Be Scam Proof” ව්‍යාපාරය යටතේ පෝස්ටර්, කෙටි චිත්‍රපට සහ තේමා ගීතයක් ඇතුළත් පුළුල් බහුවිධ මාධ්‍ය ප්‍රචාරණයක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව සැලසුම් කර ඇත.
මෙමගින් ග්‍රාමීය ප්‍රජාව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ තරුණ පරපුර මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමට අපේක්ෂා කෙරේ.
තම මූල්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඕනෑම සැකකටයුතු මූල්‍ය පොරොන්දුවක් ගැන ප්‍රශ්න කරන ලෙසත්, ඕනෑම දෙයක් විශ්වාස කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගන්නා ලෙසත් මහ බැංකු අධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම දැනුවත්භාවය මාසයකට පමණක් සීමා නොකොට, අනාගතයේදී මතුවන නව තාක්ෂණික තර්ජනවලට ගැළපෙන පරිදි අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට මහ බැංකුව කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ඩබ්.ඒ.දිල්රුක්ෂිණී පිළිගැනීමේ කතාව සිදු කළ අතර, සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමන්තා ඒකනායක ස්තුති කතාව සිදු කළාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති, නියෝජ්‍ය අධිපතිවරු, විවිධ දෙපාර්තමේන්තු ප්‍රධානීහූ, ආරක්ෂක අංශ, බැංකු හා මූල්‍ය, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරු, දේශීය හා විදේශීය මූල්‍ය ආයතන ප්‍රධානීහූ ඇතුලු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
(සටහන | ජේ.මුණසිංහ)





