BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
පුවත්

කොළඹ නගරයේ මගී බස් නැවතුම්පොළ ටෙන්ඩරය අර්බුදයක !: මිලියන ගණනක ආදායමක් ගෙනෙන PPP ව්‍යාපෘතියක් හිරවූ හැටි මෙන්න

T

The Leader Desk

September 11, 2026 • 6:58 AM

කොළඹ නගරයේ මගී බස් නැවතුම්පොළ ටෙන්ඩරය අර්බුදයක !: මිලියන ගණනක ආදායමක් ගෙනෙන PPP ව්‍යාපෘතියක් හිරවූ හැටි මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිල ගණන් ආරවුලෙන් පසු ටෙන්ඩරය අවලංගුයි: නීති කඩ කළ සමාගමටම යළි තරග කිරීමට අවස්ථාව
  • එහෙත් නගර සභාවේ ගණනය කිරීම්වලට අනුව නියමිත අවම අගයද එකතු වූ විට සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල රුපියල් 102,948,500ක් විය යුතු විය.
  • ලංසු කොන්දේසිවල පැහැදිලිව සඳහන් කර තිබූ කරුණක් පදනම් කරගනිමින්, ප්‍රදානය ලැබීමෙන් පසු මිල අඩු කිරීමක් හෝ වෙනස් කිරීමක් ඉල්ලා සිටීම ප්‍රසම්පාදන විනය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරවන්නකි.
  • රුපියල් ලක්ෂ 5ක ලංසු බැඳුම්කරය ප්‍රමාණවත්ද?
අකුරු ප්‍රමාණය (Font Size):


මිලියන 27 ක මිල පරතරය සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය වීම ගැන මුදල් කාරක සභාවට ප්‍රශ්න
 


කොළඹ නගර සීමාවේ මගී බස් නැවතුම්පොළවල් සහ ප්‍රචාරක දැන්වීම් පුවරු (billboards) නවීකරණය කර නඩත්තු කිරීම වෙනුවෙන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) පදනම මත සැලසුම් කෙරුණු රුපියල් මිලියන ගණනක වටිනාකමකින් යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මේ වන විට බරපතළ පරිපාලන සහ නීතිමය ගැටලු රැසක් මතු කරමින් අතරමග ඇණහිට තිබේ.

ME/ME/ML/34/2025 දරන මෙම ටෙන්ඩරය මගින් නගරයේ පවතින බස් නැවතුම්පොළවල් 128ක් සහ ප්‍රචාරක පුවරු 250ක් නවීකරණයටත්, අලුතින් බස් නැවතුම් 20ක් සහ දැන්වීම් පුවරු 20ක් ඉදිකිරීමටත් වසර හතරක කාලයකට යෝජනා වී තිබිණි. කෙසේ වෙතත්, කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමෙන් අනතුරුව ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් හේතුවෙන් එය අවලංගු කර නැවත කැඳවීමට කොළඹ මහා නගර සභාව පියවර ගෙන ඇති අතර, ඒ ආශ්‍රිතව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව විද්වත් මෙන්ම වෘත්තීය ක්ෂේත්‍රවල දැඩි අවධානය යොමුව තිබේ.

මිල සූත්‍රයේ පරස්පරතාව සහ ස්ථාවරය වෙනස් කිරීම

මෙම ටෙන්ඩරය සඳහා නගර සභාව නිකුත් කළ 1 වන අතිරේකය (Addendum 1) අනුව, නියමිත සෑම කලාපයකටම අදාළව නගර සභාව විසින් තීරණය කර ඇති අවම අනිවාර්ය වාර්ෂික අගයට (minimum compulsory annual value) අමතරව, ලංසුකරු ඉදිරිපත් කරන භූමි කුලී අගය (ground rent) එකතු විය යුතු බව සඳහන්ව තිබිණි.

ටෙන්ඩර් ඇගයීමෙන් පසු Emerging Media (Pvt) Ltd සහ Hammer BTL (Pvt) Ltd ඒකාබද්ධ ව්‍යාපාරය වෙත 2026 ජූලි 7 වන දින ප්‍රදාන ලිපිය (Letter of Award) නිකුත් කෙරුණද, ඉන් අනතුරුව එම සමාගම තම ස්ථාවරය වෙනස් කරමින් දන්වා සිටියේ තමන් ලංසු තැබූ රුපියල් 75,750,000ක මුදල තුළ නගර සභාවේ අවම අගයද අන්තර්ගත වන බවයි. එහෙත් නගර සභාවේ ගණනය කිරීම්වලට අනුව නියමිත අවම අගයද එකතු වූ විට සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල රුපියල් 102,948,500ක් විය යුතු විය. ලංසු කොන්දේසිවල පැහැදිලිව සඳහන් කර තිබූ කරුණක් පදනම් කරගනිමින්, ප්‍රදානය ලැබීමෙන් පසු මිල අඩු කිරීමක් හෝ වෙනස් කිරීමක් ඉල්ලා සිටීම ප්‍රසම්පාදන විනය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරවන්නකි.

රුපියල් ලක්ෂ 5ක ලංසු බැඳුම්කරය ප්‍රමාණවත්ද?

මෙහිදී මතු වන අනෙක් ප්‍රධාන කාරණය වන්නේ මෙම ව්‍යාපෘතියේ වාණිජ වටිනාකමට සරිලන පරිදි ටෙන්ඩරය සැලසුම් කර තිබුණේද යන්නයි. සමස්ත කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 400 ඉක්මවන පසුබිමක, ඒ සඳහා නියම කර තිබූ ලංසු බැඳුම්කරය (Bid Bond) රුපියල් 500,000ක් තරම් පහළ අගයක පැවතීම මූල්‍යමය වශයෙන් ශක්තිමත් සහ පළපුරුදු ආයතන ආකර්ෂණය කරගැනීමට බාධාවක් වූයේද යන ප්‍රශ්නය ක්ෂේත්‍රයේ විශ්ලේෂකයන් නගයි.

ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සාමාන්‍යයෙන් ලංසු බැඳුම්කරයක් නියම කෙරෙන්නේ ඇස්තමේන්තුගත වටිනාකමෙන් සියයට එකක් (1%) වැනි සාධාරණ ප්‍රතිශතයක් ලෙසිනි. එවැනි අවම බැඳුම්කරයක් නියම කිරීම සහ වාණිජ කොන්දේසි නිසි පරිදි නොගැළපීම හේතුවෙන් සුදුසු ආයෝජකයන් තරගයට නොපැමිණියේද, නැතහොත් සමස්ත සැලසුමේ පැවති දුර්වලතාවක් නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වූයේද යන්න විමසා බැලිය යුත්තකි.

මුදල් කාරක සභාවේ මැදිහත්වීම සහ නීතිමය පරස්පරතා

මෙම ක්‍රියාවලියේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වන්නේ 2026 අගෝස්තු 13 වන දින කොළඹ මහා නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව විසින් මහා සභාව වෙත යොමු කරන ලද නිර්දේශයයි. නියමිත දින 7 තුළ කාර්යසාධන බැඳුම්කරය (Performance Bond) තැන්පත් නොකර, මුලින් එකඟ වූ මිල ගණන් පසුව අඩු කිරීමට උත්සාහ කරමින් කොන්ත්‍රාත්තුව පැහැර හැරි අදාළ සමාගම මෙතෙක් නිල වශයෙන් අසාදු ලේඛනගත කර (blacklisted) නොමැති බැවින්, යළි කැඳවන ටෙන්ඩරයටද ඉදිරිපත් වීමට බාධාවක් නැතැයි කාරක සභාව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, කොළඹ මහා නගර සභාවේ ටෙන්ඩර් ලේඛනයේ 'ලංසුකරුවන්ගේ සුදුසුකම්' පිළිබඳ 10.1(2) වගන්තිය මඟින් අවධාරණය කර ඇත්තේ, නගර සභාව මගින් ප්‍රදානය කරණ ලද කොන්ත්‍රාත්තුවක් සෘජුව හෝ වක්‍රව ඉටු කිරීමට අපොහොසත් වූ කිසිදු පාර්ශ්වයක් නැවත ප්‍රදානයන් සඳහා නොසලකන බවයි.

ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කළ සමාගමක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම වෙනුවට, තමන් සතු නොවන බලතල භාවිත කරමින් එම සමාගමටම යළි තරග කිරීමට අවසර දෙන ලෙස මුදල් කාරක සභාව නිර්දේශ කිරීම බරපතළ වගකීම් ඉක්මවා යාමක් (scope creep) ලෙස පෙනී යයි. නීතිමය කොන්දේසි පසෙකලා මෙවැනි පක්ෂග්‍රාහී තීරණයක් ගැනීම පිටුපස කිසියම් බලපෑමක් හෝ අක්‍රමිකතාවක් සිදුවී ඇත්දැයි පාඨකයාට ස්වාධීනව නිගමනය කළ හැකිය.

නාගරික යටිතල පහසුකම් සහ PPP ව්‍යාපෘතිවල අනාගතය

බස් නැවතුම්පොළවල් යනු දහස් සංඛ්‍යාත මගී ජනතාවක් දෛනිකව භාවිත කරන අත්‍යවශ්‍ය පොදු සම්පතකි. එවැනි වත්කම් නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාම සඳහා පුළුල් වාණිජ දැක්මක් සහිත, හැකියාවන්ගෙන් පිරිපුන් ආයෝජකයන් තෝරාගැනීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත්ව කළමනාකරණය නොවීම, වාණිජමය නොමේරූභාවය සහ අත්තනෝමතික තීරණ හේතුවෙන් අද වන විට කොළඹ නගර සභාවට  හිමිවිය යුතු විශාල ආදායමක් මෙන්ම මගී ජනතාවට හිමිවිය යුතු නවීන යටිතල පහසුකම්ද අහිමි වී තිබේ. ඉදිරියේදී ආරම්භ වීමට නියමිත නාගරික බස් ප්‍රවාහන නවීකරණ සැලසුම් හමුවේ මෙවැනි පරිපාලනමය අර්බුද නිරාකරණය කර නොගතහොත්, එහි ඍජු බලපෑම අවසානයේ එල්ල වන්නේ නගරයේ සාමාන්‍ය මගී ජනතාව වෙතය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...