ආයෝජන පිටතට ගලා යාමේ භීතියක්
ශ්රී ලංකාවට නව විදේශ ආයෝජන කඩිනමින් කැඳවාගත යුතු මොහොතක, දැනට පවතින දැවැන්ත බහුජාතික සමාගම් රට හැර යාමේ අවදානමක් මතුව ඇතැයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
කොළඹ ක්රියාත්මක HSBC ගෝලීය සේවා මධ්යස්ථානයේ (Global Service Centre) මෙහෙයුම් පිලිපීනය වෙත ගෙන යාමේ සැලසුමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස සිය 'X' ගිණුම ඔස්සේ සඳහන් කළේය.
මෙම මෙහෙයුම් ඉවත් කර ගැනීම 2027 දෙසැම්බර් වන විට සම්පූර්ණ කිරීමට නියමිත බවට වාර්තා වන බව පවසන ඒ මහතා, මෙය සත්යයක් නොවේවායි ප්රාර්ථනා කරන බවත්, එසේ වුවහොත් එය මෙරට ආර්ථිකයට දැවැන්ත පහරක් බවත් පෙන්වා දෙයි.
රැකියා 3,500ක අනාගතය අර්බුදයක?
අදාළ මෙහෙයුම් කටයුතු ඉවත් කර ගතහොත් මෙරට සෘජු රැකියා 3,000ක් සහ වක්ර රැකියා 500ක් පමණ අහිමි වීමේ බරපතළ අවදානමක් පවතින බව විපක්ෂ නායකවරයාගේ ප්රකාශයේ දැක්වේ.
වසර 2004 සිට ශ්රී ලංකාවේ ස්ථාපිත HSBC දත්ත සැකසුම් ආයතනය, ලොව රටවල් රැසක මූල්ය සේවා සඳහා දායක වන ප්රමුඛතම තාක්ෂණික මධ්යස්ථානයකි.
මෙම කරුණ සම්බන්ධයෙන් HSBC සමාගමෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත. එහෙත් මෙරට බදු පරිසරය සහ කලාපීය පිරිවැය සසඳමින් බහුජාතික සමාගම් ප්රතිව්යුහගත කිරීම් සිදුකිරීම සාමාන්ය ව්යාපාරික පිළිවෙතක් බව ක්ෂේත්රයේ විද්වත්හු පෙන්වා දෙති.
පිලිපීනයට වාසිදායක වන සාධක මොනවාද?
පිලිපීනය මේ වන විටත් ගෝලීය බාහිරකරණ සේවා (BPO) සහ මූල්ය තාක්ෂණ සේවා සැපයීමේ ආසියානු කේන්ද්රස්ථානයක් ලෙස ශක්තිමත් පදනමක් ගොඩනගාගෙන තිබේ.
එරට පවතින සුවිශේෂී බදු සහන, පුළුල් ඉංග්රීසි භාෂා ප්රවීණතාව සහ අඩු මෙහෙයුම් පිරිවැය ජාත්යන්තර සමාගම් ආකර්ෂණය කර ගැනීමට ප්රධාන හේතුවක් වී ඇත.
දැනට මෙරට සිටින බහුජාතික සන්නාම රඳවා ගැනීමට නම් ස්ථාවර මූල්ය හා ප්රතිපත්තිමය වටපිටාවක් වහා තහවුරු කළ යුතු බවට ආර්ථික විශ්ලේෂකයින් අතර සංවාදයක් මතුව තිබේ.
මූලාශ්ර :



