වන්දි කොමිසම හා රිට් ක්‍රියාමාර්ග පිළිබඳ නීතිමය අවිනිශ්චිතතාවක් කරළියට
ශ්‍රී ලංකා සමුද්‍ර ඉතිහාසයේ දරුණුතම පාරිසරික ව්‍යසනයක් ලෙස සටහන් වූ 'එක්ස්ප්‍රස් පර්ල්' (MV X-Press Pearl) නෞකා අනතුර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ ඇමරිකානු ඩොලර් බිලියනයක ඓතිහාසික වන්දි මුදල මෙරටට අයකර ගැනීමේ ක්‍රියාවලිය වටා මේ වන විට බරපතළ නීතිමය හා පරිපාලනමය සංවාදයක් නිර්මාණය වී තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) ඇතුළු පුරවැසි පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් මඟින් අදාළ නෞකා සමාගම ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් ඩොලර් බිලියනයක වන්දියක් නියම කරමින්, එම මුදල් ලබාගැනීම සහ බෙදාහැරීම අධීක්ෂණය සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 'වන්දි කොමිසමක්' ස්ථාපිත කිරීමට නියෝග කරන ලදී.
අධීක්ෂණ අදියර නිමා වීම සහ පෙත්සම්කරුවන්ගේ විමතිය
කෙසේ වෙතත්, එම නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සඳහා කැඳවූ අවස්ථාවකදී, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද කරුණු හා මෝසමක් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් මඟින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල සෘජු අධිකරණ අධීක්ෂණ අදියර නිල වශයෙන් අවසන් කිරීමට (Terminated) පියවර ගෙන ඇති බව වාර්තා වේ.
නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, වන්දි ලබාගැනීමේ ක්‍රියාමාර්ග සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහි විමර්ශන ඉදිරියට ගෙන යාමට නීතිපතිවරයා වෙත උපදෙස් දෙමින් අධිකරණය මෙම නඩු කටයුතු අවසන් කළ බවත්, එමඟින් නීතිමය ක්‍රියාදාමය විධායකය සතු ක්‍රියාත්මක කිරීමේ අදියරකට පැමිණ ඇති බවත්ය.
නමුත් පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ පෙන්වා දෙන්නේ, පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ලබාදුන් සවිස්තරාත්මක අධීක්ෂණ නියෝගයක් පවතින පසුබිමක, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ නඩුව සම්පූර්ණයෙන්ම නිමා කිරීම සම්ප්‍රදායික නීතිමය භාවිතයන්ට පටහැනි බවයි. තවද, නඩුව අවසන් කිරීමට හේතු වූ මෝසම් හා ලේඛනවල පිටපත් පෙත්සම්කාර පාර්ශ්ව වෙත නිසි ලෙස ලබා නොදීම සම්බන්ධයෙන් ද ඔහු දැඩි කනස්සල්ල පළ කරයි.
මාස තුනක් ගතවූ මෝසමට ප්‍රතිචාරයක් නෑ
මෙම ගැටලුව මුල් කරගනිමින්, නඩු කටයුතු අවසන් කිරීම සම්බන්ධයෙන් නැවත කරුණු දැක්වීම සඳහා පෙත්සම්කාර පාර්ශ්ව විසින් පසුගිය ජුනි 01 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ මෝසමක් ඉදිරිපත් කර තිබිණි. එහෙත් මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් එම මෝසම සම්බන්ධයෙන් අධිකරණයෙන් මෙතෙක් කිසිදු කැඳවීමක් හෝ ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන් වේ.
මේ පිළිබඳව අදහස් දක්වන නීති විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, දේශීය අධිකරණයෙන් නියම කළ වන්දි නියෝගය බලගැන්වීම ප්‍රමාද වන සෑම මොහොතකම, ජාත්‍යන්තර මට්ටමින් සිංගප්පූරුව හෝ ලන්ඩන් නුවර පවතින නඩු කටයුතු සමඟ දේශීය ක්‍රියාවලිය පටලැවිලි සහගත තත්ත්වයකට පත්වීමේ අවදානමක් පවතින බවයි. අධිකරණය විසින් නියම කළ වන්දි කොමිසමේ කාර්ය පටිපාටික බලතල (Terms of Reference) මෙතෙක් සම්පූර්ණයෙන් සක්‍රීය නොවීම ද මෙම ප්‍රමාදයට තවත් හේතුවක් වී තිබේ.
විධායකයේ සහ නීතිපතිවරයාගේ වගකීම
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් විපතට පත් ධීවර ප්‍රජාවට සහ මෙරට සමුද්‍රීය පද්ධතියට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අකුරටම බලාත්මක කිරීමේ මූලික වගකීම දැන් පවතින්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ විධායක ආයතන සතුවය.
අධිකරණ ක්‍රියාවලියේ විනිවිදභාවය ආරක්ෂා කරමින්, පෙත්සම්කාර පුරවැසි සංවිධාන ද දායක කරගනිමින් විදේශීය හා දේශීය වශයෙන් නියමිත වන්දි මුදල් කඩිනමින් අයකර ගැනීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් නොවුණහොත්, මෙරට පාරිසරික නීතියේ සන්ධිස්ථානයක් බඳු වූ මෙම ඩොලර් බිලියනයේ තීන්දුව හුදු ලියවිල්ලකට පමණක් සීමා වීමේ බරපතළ අනතුරක් මතුව පවතී.
වැඩිදුරටත් තොරතුරු සඳහා මතු දැක්වෙන වීඩියෝව නරඹන්න
වැඩිදුර මූලාශ්‍ර:
The Morning: MV X-Press Pearl disaster: Compensation at a standstill
එක්ස්ප්‍රස් පර්ල් තීන්දුව තාමත් අබිරහසක්! මෝසමට මාස තුනක් පිළිතුරක් නෑ! 'Mystery' of X-Press Pearl




