දෙවන බහුපාර්ශ්වික උපදේශන රැස්වීමට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර හෙට (27) රාත්‍රියේ මෙරටින් පිටත්වීමට නියමිතයි.
සමුළුව මෙම මස 29 සහ 30 යන දිනවල චීනයේ ෂැන්සි (Shaanxi) පළාතේ ෂියෑන් (Xi’an) නුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම වැදගත් සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර වෙත චීන මුදල් නියෝජ්‍ය අමාත්‍ය ලියාඕ මින් (Liao Min) විසින් නිල වශයෙන් ආරාධනා කර තිබේ.
මීට පෙර 2026 මාර්තු 30 වන දින බීජිං නුවරදී සාර්ථකව පැවැති පළමු උපදේශන රැස්වීමේදී මෙම බැංකුව පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික පදනම සහ වැඩ සැලැස්ම සකස් කෙරුණු අතර, මෙවර රැස්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ බැංකුව පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුමේ (MoU) ප්‍රධාන අංග පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමයි.
මෙම සමුළුව චීන මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කිර්ගිස් ජනරජයේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අක්සොලොව් නුර්බෙක් අක්සොලොවිච් (Akzholov Nurbek Akzholovich) විසින් සම-සභාපතිත්වය දරනු ලබයි.
චීනය පිහිටුවීමට අපේක්ෂා කරන සංවර්ධන වෙමින් පවතින සහ මැදි ආදායම් රටවල පොදු යටිතල පහසුකම් සංවර්ධනය හා ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා අඩු පොළියට සහනදායි ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට පහසුවන නව බැංකුවක් ලෙස මෙය පිහිටුවන බවත් එහි ආරම්භක සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව පත් කර ගැනීමට අදාළ මූලික සාකච්ඡා මීට පෙර කම්කරු ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
එහි දිගුවක් ලෙස මෙවර පැවැත්වෙන් හමුවේදී සියළු සාකච්ඡා අවසන් කොට එකඟතාවයකට පැමිණීමට බොහෝ දුරට මෙවර හැකි වනු ඇතැයි නිශාන්ත ජයවීර වැඩිදුරටත් සඳහන් කළේය.
නියමිත වැඩසටහනට අනුව, අප්‍රේල් 29 වන දින නිල සාකච්ඡා පැවැත්වෙන අතර අප්‍රේල් 30 වන බ්‍රහස්පතින්දා දින විශේෂිත ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාපෘති සහ කර්මාන්ත පුරවරයන් නිරීක්ෂණය කිරීමේ ක්ෂේත්‍ර චාරිකාවක් මෙන්ම සංස්කෘතික වැඩසටහනක් ද සංවිධානය කර ඇත.
(සටහන | ජේ. මුණසිංහ)




