අරවින්ද ද සිල්වා, කපිල චන්ද්‍රසේන ගේ ළඟම ඥාතියෙකි. කපිල චන්ද්‍රසේන විවාහ වී සිට ඇත්තේ අරවින්ද ද සිල්වා ගේ බිරිඳගේ නැගණිය සමගය.
කපිල චන්ද්‍රසේන මිය ගොස් සිටියදී සොයා ගැණුනේද අරවින්ද ද සිල්වා ගේ කොල්ලුපිටියේ නිවසේ සිටියදීය.
මෙයට අමතරව කපිල චන්ද්‍රසේන ගේ මරණය සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා ගේ බිරිඳගෙන් සහ එම නිවසේ සිටි තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කපිල චන්ද්‍රසේන මිය යෑමට පෙර ලියා ඇතැයි පැවසෙන ලිපියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් අප එම උසස් පොලිස් නිලධාරියාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි ලිපියක් හමුවී නැති බවයි.
මේ අතර කපිල චන්ද්‍රසේන කොළඹ බාන්ස් පෙදෙසේ නිවසක තනිව ජීවත් වී ඇති බවත් පාළුව තනිකම නිසා ඔහු මෙම කොල්ලුපිටියේ නිවසට කලින් දින රාත්‍රි පැමිණ තිබූ බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.
නිවසේ කාන්තාවක උදෑසන තේ රැගෙන ආ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මියගොස් සිටි බවට ඇයට දැකගන්නට ලැබී ඇතැයි දැනගන්නට ඇත
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉකුත් 2013 වසරේදී එයාර් බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් ලක්ෂ විස්සක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක ට චෝදනා එල්ල විය.
අනතුරුව ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරුණි.
කෙසේ වෙතත් එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කළේය
ඒ අනුව එම සිද්ධියට අදාළව කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු 12 වැනිදා යළි අත්අඩංගුවට ගැනිණ
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ හදිසි මරණය පිටුපස කිසියම් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වූවාදැයි සෙවීමට රජයේ බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙය ඝාතනයක්ද එසේ නැතිනම් කිසිවකු හෝ ඔහුට සිය දිවි හානි කර ගැනීමකට පසුබිම් වන වාතාවරණයක් සකස් කළාද යන්න සොයා බැලීමට මෙහිදී කටයුතු කෙරෙනු ඇතැයි රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
( lankalokaya | අසේල පෙරේරා)




