The Leader News
BREAKING
Top Ad
පුවත්

අපරාධයක් වහන්නට STF සමග හවුලේ බොරු නඩු ගොතා නීතිපති උසාවියට අසුවෙයි

T

The Leader Desk

June 24, 2026 • 7:52 AM

අපරාධයක් වහන්නට STF සමග හවුලේ බොරු නඩු ගොතා නීතිපති උසාවියට අසුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නඩුව හමාර වී ඇත්තේ චුදිතයාට වන්දි ගෙවන්නට පොලිසියේ පැමිණිලිකාරයන්ට නියම වීමෙනි.
  • STF අණදෙන නිලධාරී බවට පසුකලෙක පත්වූ නීතිඥ වරුණ ජයසුන්දර නඩුවේ සාක්ෂි ඇතුලත් ලිපිලේඛන විනාශ කොට ඇති බව අනාවරණය වූ අයුරුද අපට දැක ගන්නට ලැබුණු නඩු තීන්දුවේ විස්තර කෙරෙයි.
  • "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 13 වගන්ති මගින් තහවුරු කර ඇති පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගරු නීතිපතිතුමා සතු කාර්ය භාර්ය අතිශයින්ම වැදගත් වේ.
  • එතෙක් වසර 15 ක් චූදිතයකු ලෙස සිටි පුද්ගලයා නිදොස් කරමින් පැමිණිලි පාර්ශවය වූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් වැරදිකරුවන් කොට ඔවුන්ගෙන් ලක්ෂ එකහමාරක වන්දියක් අය කිරීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නීතිපතිටම පැවරීමටත් අධිකරණය විසින් කටයුතු කරන ලදි.
අකුරු ප්‍රමාණය (Font Size):


නඩුව හමාර වී ඇත්තේ චුදිතයාට වන්දි ගෙවන්නට පොලිසියේ පැමිණිලිකාරයන්ට නියම වීමෙනි.

STF අණදෙන නිලධාරී බවට පසුකලෙක පත්වූ නීතිඥ වරුණ ජයසුන්දර නඩුවේ සාක්ෂි ඇතුලත් ලිපිලේඛන විනාශ කොට ඇති බව අනාවරණය වූ අයුරුද අපට දැක ගන්නට ලැබුණු නඩු තීන්දුවේ විස්තර කෙරෙයි.

"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම

 

ව්‍යවස්ථාවේ 11  සහ 13  වගන්ති මගින් තහවුරු කර ඇති පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගරු නීතිපතිතුමා සතු  කාර්ය භාර්ය අතිශයින්ම වැදගත් වේ. නමුත් මෙම නඩුවේදි ගරු නීතිපතිතුමා ඉහත කී භාරදූර වගකීම නිසි ලෙස ඉටු කර නොමැති බවත්, සත්‍ය යටපත් කර තම වරද වසන් කර චූදිතට අසත්‍ය නඩුවක් පැවරීමට පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් තුළ තිබූ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට ගරු නීතිපතිතුමාද දායක වී ඇති බවත් කණගාටුවෙන් යුක්තව මෙම අධිකරණය විසින් නිරික්ෂණය කරන ලදී," යනුවෙන් මොණරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් විසින් පසුගිය ජූනි 05 දා ලබාදී තිබෙන නඩු තීන්දුවේ සටහන් කොට තිබේ.

 

එතෙක්  වසර 15 ක් චූදිතයකු ලෙස සිටි පුද්ගලයා නිදොස් කරමින් පැමිණිලි පාර්ශවය වූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් වැරදිකරුවන් කොට ඔවුන්ගෙන් ලක්ෂ එකහමාරක වන්දියක් අය කිරීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නීතිපතිටම පැවරීමටත් අධිකරණය විසින් කටයුතු කරන ලදි.

තීන්දුවට පහලොස් වසරක්

නීතිපතිවරයා විසින් මොනරාගල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණේ 2011 මැයි 25 වන දින තණමල්විල ප්‍රදේශයේදී වික්‍රමගේ සිරිසේන  විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂක ප්‍රසාද් භාණු රන්සිරි මුණසිංහ සහ පොලිස් සැරයන් ගම්මැද්ද හේවා ඉන්දික රුවන් තුෂාර ජයසේකර යන දෙදෙනාට පතොරොම් පිස්තෝලයකින් වෙඩි තබා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ය.

නමුත් පහලොස් වසරකට පසුව මහාධිකරණය මගින් ප්‍රකාශිත  නඩු  තීන්දුවට අනුව චූදිත ලෙස නම් කර තිබූ වික්‍රමගේ සිරිසේන පොලිස් විශේෂ   කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තැබු බවට එල්ල කෙරෙන චෝදනා පදනම් විරහිත අසත්‍ය බව තහවුරු වී තිබේ. එමෙන්ම එවැනි නඩුවක් පවරා එය පවත්වාගෙන යාමට නීතිපතිවරයා විසින් කටයුතු කර ඇත්තේ පැමිණිලි පාර්ශවය වන පොලිස් විශේෂ කාර්ය බලකායේ අවශ්‍යතාවය මත බවටත් විනිසුරුවරයා විසින් තීන්දුවේ දක්වා ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන නමැති නිලධාරියාගේ නියෝගයකට අනුව උප පොලිස් පරික්ෂක රන්සිරි මුණසිංහ, ආරුගම්බේ STF කඳවුරට අනුයුක්තව සිටි උප පොලිස් පරික්ෂක  ලක්ෂිත සඳකැළුම් නියරේපොල, පොලිස් සැරයන් ඉන්දික රුවන් තුෂාර ජයසේකර සහ පොලිස් කොස්තාපල් මන්නැහෙක නම් පිරිස 2011 මැයි 25 වන දින උඩවලව කුඩාඔය සහ බලහරුව යන ප්‍රදේශවල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, නීති විරෝධි මත් ද්‍රව්‍ය සහ ගිනි අවි   පිළිබදව ආවේක්ෂණ රාජකාරිවල නිරතව සිටි බව පැවසේ. එහිදි ගිනි අවියක් රැගෙන යමින් සිටි පුද්ගලයකු පෞද්ගලික ඔත්තුකරුවකුගේ ලද දුරකතන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වෙමින් අල්ලා ගැනීමට ලුහු බැඳ ගිය බවත් නඩු වාර්තාවේ සාක්ෂි සටහන්වල දැක්වෙයි.

පැමිණිල්ලේ සාක්ෂි බිඳලු විත්ති වාචිකය


උ.පො.ප. රන්සිරි මුණසිංහ ගේ සාක්ෂියට අනුව අදාල යතුරු පැදිය හඳුනා ගෙන එයට මග හරස් කොට යතුරු පැදිකරු වූ වික්‍රමගේ සරත් අල්ලා ගැනීමට උත්සාහ ගැනීමේදී ඔහු අසල පිහිටි කැලයක් වෙත දිව ගිය බවත්, පසුව තමන් සැරයන් ජයසේකර සමඟ සැකකරුව ලුහුබැඳ යමින් ඔහුව බිය ගැනීමට සිතා තම රාජකාරි ගිනි අවියෙන් අහසට වෙඩි පහරවල් දෙකක් එල්ල කළ බවත් සාක්ෂිකරු පවසයි. එමෙන්ම ඒ අවස්ථාවේදි සැකකරු තමන් හා සැරයන් ජයසේකර දෙසට  වෙඩි තබමින්  කැලය තුළට දිව ගිය බවත් හෙතෙම තියා තිබුණි.

 නමුත් යතුරු පැදිකරුවා වු වික්‍රමගේ සිරිසේන ලබා දී තිබෙන සාක්ෂියට අනුව සිදුව තිබෙන්නේ වෙනස්ම දෙයකි.
 
 
"පෙරවරු 11.45 ට පමණ තමන් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි ගුණතිලක යන අයගේ නිවස ඉදිරිපිට දී යතුරු පැදියකින් පැමිණි  දෙදෙනෙක් මග හරස් කොට තමන්ට වෙඩි තැබු බවත්,  පසුව තමන් දිවයන විට යළිත් වෙඩි තැබු බවත්, එසේ දිව ගොස් ගසක් මුල සැඟවී බිම වැතිරි සිටියදි නැවතත් තමා දෙසට වෙඩි තබමින් පැමිණි අයෙක් ' තමාට වැරදීමක් සිදුවු බව'  අනෙක් නිලධාරියා හට ප්‍රකාශ කළ බවත්" විත්තිකාර සිරිසේන පවසා ඇත.

 "ඉන් අනතුරුව ඔවුන් තමන් ඇඳ සිටි ටී ෂර්ට් එක ගලවා මුහුණ බැඳ ගුණතිලක යන අයගේ නිවස දෙසට ඇද ගෙන ගිය බවත්, පසුව වාහනයක දමා ගෙන කුඩාඔය, වැල්ලවාය හරහා අම්පාර දෙසට රැගෙන ගිය බවත්," හෙතෙම වැඩිදුරටත් සාක්ෂි දෙමින් පවසා තිබේ.
 
කිලෝ මීටර 7 ක දුරට කිලෝ මිටර් 45 ක 'සවාරියක්'

STF කණ්ඩායම විසින්ම පෙර සුදානම් කොට තිබූ ඇති වෑන් රථයක් ගෙන්වා ගෙන දීර්ඝ මාර්ගයක් ඔස්සේ   තුවාලකරු තණමල්විල රෝහලට ඇතුලත් කර ඇති බවත් නඩු තීන්දුවේ සඳහන් ය. වෙඩි තැබීම සිදුවු ස්ථානයේ සිට කුඩාඔය හංඳියට ඇති දුර කිලෝ මීටර් 1 ක් බවත්, එතැන් සිට තණමල්විලට ඇති දුර කිලෝ මීටර් 6 පමණ වන බවත්  විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් නිලධාරින්  පිළිගෙන තිබුණු අතර, මගතොට නොදන්නා බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් දක්වන ලද හේතු මහාධිකරණ විනිසුරු විසින් බැහැර කර ඇත්තේ බරපතල සැක සංකා මතු කරමිනි.
 
 
"උප පොලිස් පරික්ෂක නියරෙපොල සාක්ෂි දෙමින් සිද්ධිය වූ දිනයේදී තමුන් ඇතුළු නිලධාරින් කණ්ඩායම ආවේක්ෂණ රාජකාරියේ යෙදුණු ප්‍රදේශය සහ එම ප්‍රදේශයෙහි මාර්ග පිළිබඳව අවබෝධයක් නොතිබුණු බව  සහ වෙඩි තැබීම සිදුවු ස්ථානයේ සිට තණමල්විල රෝහල වෙත ගමන් කීරීමට ඇති මාර්ගය පිළිබඳව අවබෝධයක් නොතිබීම, වෙඩි තැබීම  සිදුවු ස්ථානයේ සිට පැය 4 ට අධික කාලයක් කිලෝ මීටර් 40 ක් 45 ක් පමණ දුරක් ගමන් කර සවස 5 - 5.30 ට පමණ තණමල්විල රෝහලට ළඟා වීම සහ වෙඩි තැබීම සිදු කළ අවස්ථාවේ  සිට තණමල්විලට ගමන් කරන තෙක්  මාර්ග පිළිබඳව විමසීමට  හෝ කිසිදු පුද්ගලයෙකු හමුනොවීම කිසි සේත්ම විය  හැකි  කරුණක් ලෙස මෙම අධිකරණයට පිලිගත නොහැකිය," යි මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් සඳහන් කරයි.
 
 
එමෙන්ම වෙඩි තැබීම  පිළිබඳව තණමල්විල පොලිස්ථානය දැනුවත් කිරීමට නොසෑහෙන කාලයක් ගතකිරීම පිළිබඳව ද විනිසුරුවරයා සැක පළ කරයි.

"වෙඩි තැබීම සිදුවී පැය 05 ට අධික කාලයක් ප්‍රමාද වී තණමල්විල පොලිස්ථානයට දැනුම් දීමට පියවර ගැනීම මගින් එම නිලධාරින්ගේ පසු හැසිරීම මෙම අධිකරණයේ බරපතල සැකයට භාජනය වී ඇත".

පැමිණිල්ල විසින්ම සාක්ෂියට කැඳවා තිබුණු ප්‍රධාන පොලිස් පරික්ෂක දිසානායක ගේ සාක්ෂිය අනුවත් එම නිගමනය සනාථ වන අතර ඔහු විසින්  ලබා දී තිබෙන සාක්ෂියේ දැක්වෙන්නේ සිද්ධිය වූ ස්ථානයේ සිට තණමල්විල පොලිස්ථානයට ඇති දුර කිලෝ මීටර් 10 ක් බවකි. එමෙන්ම ගමන් කිරීමේ කාලය විනාඩි 30 ක්  ලෙසද හෙතෙම පවසා ඇත.

සමස්ත නඩු තීන්දුව  සියුම්ව නිරික්ෂණය කිරීමේදි ඉතා පැහැදිලිව පෙන්නුම් කෙරෙන එක් සිදුවිමක් වන්නේ පැමිණිල්ලේ ක්‍රියාකලාපය සහ සාක්ෂි ඉදිරිපත් කිරීමේ ස්වභාවය පිළිබඳව  දිගින් දිගටම  මහාධිකරණ විනිසුරුවරයා විසින් සැක සංකා මතු කිරීමයි. එම සාක්ෂි සහ වෙඩි තැබීමෙන් පසු නිලධාරින්ගේ ක්‍රියාකලාපයෙහි විශ්වසනීයත්වය  විනිසුරුගේ සාක්ෂි සම්පිණ්ඩනයෙන් ප්‍රශ්න කෙරේ.

අධිකරණ වෛද්‍ය වාර්තා නැති අපරාධ නඩුවක්

වෙඩි තැබීමක් සිදු කොට කවර හෝ පාර්ශවයක් විසින් මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමත්, එයට ගොදුරු වුණු පුද්ගලයා රෝහල් ගත කොට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පවත්වන නඩු විභාගයකදි සාක්ෂි ලබා දීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරින් මෙන්ම එයට අදාල වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමත් අපරාධ නඩු විභාගයක අත්‍යාවශ්‍ය අංගයකි. මෙම නඩුවේදි එවැන්නක් සිදුව නොතිබීම  විනිසුරුවරයා ප්‍රශ්න කිරීමට ලක් කරයි. එය සිදු කිරීමේ වගකීම පැවරෙන්නේ විමර්ශන භාර පොලිස්  නිලධාරින්ට සහ අධික්ෂණ කටයුතු සිදුකරමින් නඩුව මෙහෙය වන නීතිපති දෙපාර්තමේන්තුවටය. නමුත් එය එසේ සිදු නොවුනේ එම වාර්තාව පොලිසියට අවාසි සහගත නිසා විය හැකි බව මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දෙයි.

 "වෛද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල පියවර ගෙන තිබුණි නම්, එය මෙම අධිකරණයට යුක්තිය පසිඳලීම පිනිස අතිශයින්ම වැදගත් සාක්ෂියක් විය හැකිව තිබුණි.  චූදිතට සිදුව ඇති තුවාල පිළිබඳ වෛද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල පියවර නොගැනීම හේතුවෙන් එම සාක්ෂිය ඉදිරිපත් කරන ලද්දේ නම් එය පැමිණිල්ල හට අවාසි සහගත සාක්ෂියක් විය හැකි බව සාක්ෂි ආඥා පනතේ 114 ( ඊ) වගන්තිය ප්‍රකාරව මෙම අධිකරණයට එළැඹිය හැකි නිගමනය යි" .

මහමග ගමන් කරමින් සිටි නිරායුධ පුද්ගලයකුට වෙඩි තබා  ඒ පුද්ගලයා රෝහල් ගත කිරීමද හිතාමතාම පමා කරමින් ව්‍යාජ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත  කිරීමේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රමන්ත්‍රණය ඉන් අවසන් නැත.
 
මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ගිනි අවි අල්ලා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියකු මෙන්ම නඩුවේ පැමිණිලි පාර්ශවයේ 12 වැනි සාක්ෂිකරුද වන එවකට ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි STF හිටපු බුද්ධි අධ්‍යක්ෂ, වර්තමානයේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිපති වරුණ ජයසුන්දර පවසා ඇත්තේ STF මුලස්ථානයේ නිලධාරින් විසින් සිදුකළ  මෙහෙයුමට අදාල ලොග් සටහන් සහ පොත් 2017 අගෝස්තු 05 වන දා තමන් විසින්  විනාශ කරන ලද බවයි.
 
වරුණගේ පැටිකිරිය සහ සාක්ෂි විනාශ කිරීමේ ක්‍රමන්ත්‍රණ

එවකට STF අණදෙන නිලධාරිවරයා වූ නියෝජ්‍ය පොලිස්පති සමන් ද සිල්වා විසින් එයට අදාල අනුමැතිය ලබා දී ඇතියි පැවසෙන ලියවිල්ලක් නඩුව මෙහෙයවා ඇති රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇතත් ඒ සියල්ලෙන්ම පෙන්නුම් කෙරෙන්නේ අපරාධයක් යටපත් කිරීමට අධිකරණයද නොමග යවමින් සිදුව ඇති අනීතික ක්‍රියාවලියේ තරමයි.
 
 
රජයේ ආරක්ෂ අංශ භාරයේ සිටියදි අතුරුදහන් කරන ලද පුද්ගලයන් පිළිබඳව තවමත් ඇසෙමින් තිබෙන නිමාවක් නැති නඩු ගණනාවක ම මෙවැනි අනීතික ක්‍රියා දක්නට ලැබෙන අතර, ඒ බොහෝ නඩුවලදි අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන්ගේ ඉල්ලීම් මත විනිසුරුවරුන් විසින් රජයේ ආරක්ෂක ප්‍රධානින්ට දිගින් දිගටම නියෝග කර සිටින්නේ අදාල සිදුවීම් සම්බන්ධයෙන් පවතින නිල ලියැවිලි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. නමුත් ඒ බොහෝ අවස්ථාවකම එවැනි ඉල්ලීම් ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් විසින් මගහැර යන්නේ එවැනි ලියැවිලි නොමැති බවට ව්‍යාජ ප්‍රකාශ සිදුකරමිනි. නැතිනම් ඒවා තවදුරටත් පවත්වාගෙන යාමේ ප්‍රායෝගික අපහසුතා මත විනාශ කර ඇති බවට කරුණු දක්වමිනි.
 
 
"අධිකරණයේ නඩුවක් විභාගයට නියමිතව  තිබියදි ඊට අදාල තොරතුරු පොත් සහ විමර්ශන සටහන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විනාශයට පත් කිරීම පැමිණිල්ලේ නඩුව කෙරෙහි බරපතල සැකයක් ජනිත කරන කරුණකි, " යනුවෙන් මහාධිකරණ විනිසුරු හේවාවසම් ලියා දක්වා තිබේ.

විනිසුරුවරයා එය තවදුරටත් මෙසේ විග්‍රහ කරයි

" පො.වි.කා. බලකාය මගින් තොරතුරු පොත් පත් විමර්ශන සටහන් විනාශ කිරීම තුළින් සාක්ෂි ආඥා පනතේ 114 ( ඊ) ප්‍රකාරව මෙම අධිකරණයට එළැඹිය හැකි පූර්ව නිගමනය වනුයේ මෙම තොරතුරු, සටහන් පොත්පත් විමර්ශන සටහන් ඉදිරිපත් කරන ලද්දේ නම් එය පැමිණිල්ලට අවාසි දායක විය හැකිව තිබු බැවින් එකී ලේඛන පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් නොකර විනාශ කළ බවය".

අසත්‍ය පැමිණිල්ලක්
 
මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් විසින් ලබා දී තිබෙන නඩු තීන්දුවේ වැදගත් කරුණු ගණනාවක්ම අඩංඟු වන අතර, පැමිණිල්ලේ විශ්වාසනීයත්වය, සාක්ෂි වසන් කිරීම සහ ව්‍යාජ චෝදනා යටතේ කුමන්ත්‍රණකාරිව නඩු පැවරීම මෙන්ම  නීතිපතිවරයා විසින්  එවැනි නඩුවක් පවත්වාගෙන යාම ද ඒ අතරින් ප්‍රධානය.   අවසානයේ විත්තිකරු නිදොස් කොට නිදහස් කරදමා පැමිණිලි පාර්ශවය වන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් වග උත්තරකාර චූදිතයන් කිරීම  මගින්ම පෙන්නුම් කෙරෙන්නේ  STF සහ  නීතිපති දෙපාර්තමේන්තුව විසින් කෙතරම් සැලසුම් සහගතව නිරායුධ නිර්දෝශි පුද්ගලයෙකුව වරදකරුවකු බවට පත් කොට සිරගෙට යවන්නට දඟලා ඇති ආකාරයයි.
 
එනිසාම මහාධිකරණ විනිසුරුවරයා  සාක්ෂි විශ්ලේෂණයේ මෙසේ ලියා ඇත.

"චූදිත තුවාල ලද පසු  එම කරුණු වසන් කිරීමේ අරමුණින් චූදිතට ගිනි අවියක් හඳුන්වාදී ඔහු විසින් පො.වි. කා.බලකා නිලධාරින්ට වෙඩි තැබීමක් සිදුකරන ලද බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකර නඩු පැවරීමට පියවර ගැනීම විය හැක්කක් බව අධිකරණයේ නිගමනය යි".

එවැනි අසත්‍ය සහ පදනම් විරහිත පැමිණිල්ලක් හේතුවෙන් නිර්දෝශි පුද්ගලයෙක් හට නීතියේ රාමුවෙන්ම විඳින්නට සිදුව ඇති අයුක්තිය ද විනිසුරුවරයා  මෙසේ දක්වා තිබේ.

" චූදිතට මස තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇති අතර, චූදිතයකු ලෙස වසර 15 ක පමණ කාලයක් නඩු කටයුතු සඳහා සහභාගී වීමටද සිදුව ඇත".

නිරායුධ පුද්ගලයන් වෙඩි තබා මරා දැමීමට තැත් කිරීම හෝ මරා දැමීමත්, ව්‍යාජ චෝදනා එල්ල කරමින් සිරගත කිරීමත්, විශේෂයෙන්ම පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැනි ආයතන විසින් විවිධ අවස්ථාවන්වල නිර්දෝශි තැනැත්තන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් ලෙස හුවා දක්වා කුමන්ත්‍රණකාරිව සහ අනීතිකව කටයුතු කිරීම ද හෙලා දකින  මහාධිකරණ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් තබා ඇත්තේ මෙවන් වූ සටහනකි.

" පො.වි.කා.බලකායේ නිලධාරින්ට  බුද්ධි මෙහෙයුම් සහ ආවේක්ෂණ රාජකාරි කිරීමේදි රටේ බලපවත්නා නීතියට පරිබාහිරව කටයුතු කළ නොහැකි ය".
 
 
මේ සියල්ල තනි ආයතනයක් හෝ පුද්ගලයන් සතු හෝ  ක්‍රියාවක් නොවන අතරම එය ඔඩු දිවු වණයක් සේ ඇති රාජ්‍ය ක්‍රියාකාරිත්වය හා බැඳුණු වූවකි. එමෙන්ම  අපරාධ නඩු පවරා එය මෙහෙය වීමේ බලය හිමි නීතිපති දෙපාර්තමේන්තුව ද මෙහි සක්‍රිය පංගුකරුවකු බව සාක්ෂි සහිතවම විනිසුරුවරයා ඔහුගේ තීන්දුවේ දක්වා තිබෙන්නේ එය කෙතරම් බිහිසුණු  සහ අනීතික ක්‍රියාවලියක් දැයි යළිත් සනාත කරමින්.
 
 
" අසත්‍ය නඩුවක් පැවරීමට පො.වි.කා බලකායට අනුයුක්ත නිලධාරින් තුළ තිබු අභිලාසය සාක්ෂාත් කර ගැනීමට ගරු නීතිපතිතුමාද දායක වී ඇති බව කණගාටුවෙන් යුක්තව මෙම අධිකරණය විසින් නිරික්ෂණය කරන ලදි" .

අවසානයේ  ව්‍යාජ අපරාධ චෝදනාවලින් යතුරු පැදිකරු නිදොස් කොට නිදහස් කර හරිනු ලැබුණු අතර පැමිණිලිකරුවන් වූ STF උප පොලිස් පරික්ෂක ප්‍රසාද් භානු රන්සිරි මුණසිංහ , උ පො.ප. ලක්ෂිත සඳකැළුම් නියරේපොල සහ පොලිස් සැරයන් ඉන්දික රුවන් තුෂාර ජයසේකර යන විසින් රජයේ ගාස්තු ලෙස රුපියල් 50 000 බැගිනුත්, යතුරු පැදිකරුට රුපියල් 50 000 බැගිනුත් ගෙවිය යුතු බවටත්, අදාල නිලධාරින් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කර ඉදිරි දිනෙක අධිකරණය හමුවට කරුණු වාර්තා කරන ලැබිය යුතු බවටත්  පොලිස්පතිවරයාට සහ ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙතත් මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් විසින් නියෝග කොට ඇත.

(සටහන | කේ.විජේසිංහ) 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...