BREAKING
Top Ad
පුවත්

ආගම් දෙකක වන්දනාකරුවන් එකම තැනක පුදපූජා පැවැත්වීමට විරුද්ධ පොලිසියට උසාවිය හරස් වෙයි

T

The Leader

September 25, 2026 • 9:27 AM

ආගම් දෙකක වන්දනාකරුවන් එකම තැනක පුදපූජා පැවැත්වීමට විරුද්ධ පොලිසියට උසාවිය හරස් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙඩුක්කුනාරිමලෙයි හෙවත් වඩුන්නාගල පුදබිමේ එකම දිනයක බෞද්ධ හා හින්දු වතාවත් සිදු කිරීමට නෙදුන්කේනි පොලීසිය දැක්වූ විරෝධය මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
  •   බෞද්ධ සහ හින්දු බැතිමතුන් වන්නියේ පෞරානික පුද බිමක එකම දිනයක, එකම වේලාවකදී ආගමික වතාවත් සිදු කිරීමෙන් සාමය බිද වැටීමේ අවදානමක් පවතින බවට පොලීසිය විසින් පල කළ බිය පිළිගැනීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
  •   "ලබන සැප්තැම්බර් 26 වැනි සෙනසුරාදා පෝය දිනයක් වන නිසා බෞද්ධ ආගමිකයන් එයාලාගේ වත්පිළිවෙත් කරන්න එනවා කියලත් ඒ දවසේ හින්දු භක්තිකයෝ එයාලාගේ වත්පිළිවෙත් කළොත් මහජන සාමයට බාධාවක් ඇති වෙන්න පුළුවන් කියලා පොලිසිය ඉල්ලීමක් කරලා තිබුණා.
  • ඒ නිසා අපිට වෙන කොහෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ කියන එක අවධාරණය කරලා කිව්වා.
අකුරු ප්‍රමාණය (Font Size):

සාමය බිඳවැටෙන බව කියමින් පොලිසිය අධිකරණයේ කාලය නාස්ති කළ බවට දෝෂාරෝපණ: දෙපාර්ශවයටම වන්දනාමාන කිරීමේ අයිතිය තහවුරු වෙයි.

 

බෞද්ධ සහ හින්දු බැතිමතුන් වන්නියේ පෞරානික පුද බිමක එකම දිනයක, එකම වේලාවකදී ආගමික වතාවත් සිදු කිරීමෙන් සාමය බිද වැටීමේ අවදානමක් පවතින බවට පොලීසිය විසින් පල කළ බිය පිළිගැනීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම්, ජනාධිපති නීතිඥ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් පවසන්නේ වෙඩුක්කුනාරිමලෙයි පුද බිමේ සැප්තැම්බර් 26 වැනිදා බෞද්ධයන් හා  හින්දුන් අතර සාමය බිද වැටීමක් සිදු විය හැකි බවට නෙදුන්කේනි පොලීසිය ඉදිරිපත් කළ කරුණු දැක්වීම වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැප්තැම්බර් 24 වැනිදා  ප්‍රතික්ෂේප කළ බවයි.

 

"පසුගිය වතාවේ වගේ මේ වතාවෙත් පොලිසිය කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපගේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර කරන්න කාටවත් බාධා කරන්න බැහැ. බාධා කරන්නත් හොඳ නැහැ. ඒවා අපි දිගින් දිගටම කරනවා. ඒත් වෙනත් අයට වන්දනාමාන කරන එකත් වෙනත් ආගමික වත්පිළිවෙත් කරන එකත් අපි නතර කරන්නේ නැහැ කියන එකත් අපි පැහැදිලිව උසාවියට කිව්වා."


‘ගැටුමක් ඇති විය හැකි’ බවට අර්ථ විරහිත බියක් පල කරමින් අධිකරණයේ කාලය නාස්ති කිරීම ගැන පොලිසිය මහේස්ත්‍රාත්වරයාගේ දෝෂ දර්ශනයයට ලක්වූ බව පලාත්බද වාර්තාකරුවෝ පවසති.

 

"කාටවත් ආගමික වතාවත්වලට බාධා කරන්න බැහැ - සුමන්තිරන්

දෙමළ බසින් වෙඩුක්කුනාරිමලෙයි සහ සිංහල බසින් වඩුන්නාගල නොහොත් වඩ්ඪමාන පර්වතය වශයෙන් හැඳින්වෙන භුමියේ බිනර මස 26 වැනි දිනට යෙදී තිබෙන පොහොය දිනයේ සීල වැඩ සටහනක් පැවැත්වීම සදහා මුලතිව්, කුරුන්දී රජමහා විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සන්තබෝධි නායක මිහියන් විසින් පසුගියදා  පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබුනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ බිනර පොහොය යෙදී ඇති පුරටාසී (புரட்டாசி) ශනිදා, ප්‍රදේශයේ හින්දු භක්තිකයන් විසින්ද එම භුමියේ විශේෂ පූජා හා ආගමික වතාවත්වල නිරත වීමට නියමිත බැවින් දෙපාර්ශවය අතර සාමය බිද වැටීමක් සිදු විය හැකි බවට  නෙදුන්කේනි පොලීසි වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබු බවයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි මහලේකම් ජනාධිපති නීතිඥ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්. ඒ සුමන්තිරන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ හින්දු භක්තිකයන්ට එම භුමියේ වන්දනාමාන කිරීම වෙනුවෙන් මහාධිකරණයෙන් මීට ඉහත දී  අවසරය ලබා දී  ඇති බැවින් ඒ සදහා අලුතින් අවසරයක් ලබා ගැනීමට අවශ්‍ය නොමැති බව මහේස්ත්‍රාත්  අධිකරණය හමුවේ අවධාරණය කළ බවයි.

 

wadu1 20260925

"ලබන සැප්තැම්බර් 26 වැනි සෙනසුරාදා පෝය දිනයක් වන නිසා බෞද්ධ ආගමිකයන් එයාලාගේ වත්පිළිවෙත් කරන්න එනවා කියලත් ඒ දවසේ හින්දු භක්තිකයෝ එයාලාගේ වත්පිළිවෙත් කළොත් මහජන සාමයට බාධාවක් ඇති වෙන්න පුළුවන් කියලා පොලිසිය ඉල්ලීමක් කරලා තිබුණා. අද අපි ආයෙත් මහාධිකරණ නියෝගය පෙන්වාදීලා හැමෝටම වන්දනාමාන කරන්න අයිතිය තියෙනවා. අපි කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ කියන එක අවධාරණය කළා."

ජනාධිපති නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියේ හින්දුන්ට එම භුමියේ ආගමික වතාවත්  සිදු කිරීම සදහා නැවතත් අවසර ගැනීමක් අවශ්‍ය නොවන බවට කළ කරුණු දැක්වීම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිළිගත් බවයි.

"මොකද කිව්වොත් මේ වතාවේ බෞද්ධයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසරයක් අරන් තියෙනවා. ඒ අවසරය කොන්දේසි කිහිපයක් යටතේ දීලා තියෙනවා. එයාලා ඒ කොන්දේසිවලට යටත් වෙනවා කියන එකත් කියලා තියෙනවා. ඒ කොන්දේසිවලට අනුව එයාලාට අලුතින් දෙයක් ගෙනත් තියන්න බැහැ. සැලකිය යුතු වෙලාවක තමන්ගේ වත්පිළිවෙත් කරලා ඉවර කරලා පිටත්වෙලා යන්න ඕනේ කියලා ගොඩාක් කොන්දේසි දාලා තියෙනවා. අපි පැහැදිලිව කිව්වා, මහාධිකරණයෙන් අපිට අවසරයක් දීලා තියෙනවා. ඒ නිසා අපිට වෙන කොහෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ කියන එක අවධාරණය කරලා කිව්වා. අපේ ඉල්ලීම භාරගෙන තියෙනවා. "


අනුරාධපුර මුල් යුගයට අයත් බෞද්ධ උරුමයක්

2026 සැප්තැම්බර් 21 වැනිදා කුරුන්දී රජමහා විහාරාධිපති හිමියන් වෙත යොමු කළ ලිපියක් මගින් වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ. සෙනරත් වික්‍රමසිංහ දැනුම් දී ඇත්තේ, වව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඕලුමඩු 222 බී ග්‍රාම නිලධාරී වසමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නයිනමඩු රක්ෂිත භූමියේ පිහිටි වඩුන්නාගල පුරාවිද්‍යා ස්ථානයේ මේ වන විට සිය ආයතනය මගින් ගවේෂණය කර වාර්තාගතකිරීම් සිදු කර එම ස්ථානය පුරාවිද්‍යාරක්ෂිත භුමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි.

එම භුමියේ පැරණි බෞද්ධ විහාරස්ථානයකට අදාල පුරාවිද්‍යාත්මක සාධක  හඳුනාගෙන ඇති අතර  ඒ අනුව මෙම ස්ථානයේ ඓතිහාසිකත්වය අනුරාධපුර මුල් යුගය නියෝජනය කරන බව එහි වැඩි දුරටත් සදහන්ව තිබේ.

 

wadu2 20260925

"පැරණි ස්ථූපය, බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපි 03 ක් ද සහිත කටාරම් කෙටූ ලෙන් 08 ක් හා ගොඩනැගිලි නටබුන් ස්ථානයේ ද ඇතුළත් පැරණි බෞද්ධ විහාරස්ථානයකට අදාල පුරාවිද්‍යාත්මක සාධක මෙහි දී හඳුනාගෙන ඇත. ඒ අනුව මෙම ස්ථානයේ ඓතිහාසිකත්වය අනුරාධපුර මුල් යුගය නියෝජනය වේ. එබැවින් මෙම පුරාවිද්‍යා ස්ථානය අනාගතය සඳහා සුරක්ෂිත කිරීම අප ආයතනයේ මෙන්ම ඔබ වහන්සේලා ඇතුලු සියලු දෙනාගේම වගකීමක් ලෙස සලකමි."

පළාත් බද වාර්තාකරුවන්ට අනුව වවුනියාවේ වෙඩුක්කුනාරි පර්වතයේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිල සියවස් දෙකකට අධික කාලයක සිට වන්නි වාසී හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වු ගිරි දේවාලයකි.


පොහොය දින සිල් වැඩසටහනට පුරාවිද්‍යාවෙන් දැඩි කොන්දේසි

සැප්තැම්බර් 26 වැනිදා  සිල් වැඩසටහන පැවැත්වීම සඳහා කුරුන්දී රජමහා විහාරාධිපති හිමියන් වෙත පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇති අතර එයට අදාලව පනවා ඇති කොන්දේසි මාලාව පහත පරිදි වේ.  

1.  මෙම ස්ථානයේ ඇති පුරාවිද්‍යාත්මක සාධක විනාශ කිරීම, හානි කිරීම, විකෘති කිරීම හා වෙනස් කිරීම සිදු නොකළ යුතුයි.

II.  මෙදින කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අධීක්ෂණය ලබාගත යුතු වේ.

111.  2026.09.26 වන දින පෙ. ව. 9.00 සිට ප. ව. 3.00 දක්වා පමණක් මෙම ස්ථානයේ සිල් වැඩසටහන පැවැත්විය යුතු ය.

IV.  ආගමික වතාවන් සඳහා බුද්ධාසන, ධර්මාසන, කොඩි, පූජා භාණ්ඩ, පැදුරු ආදිය ඇතුළුව රැගෙන එන සියළු දුව්‍ය සහ භාණ්ඩ මෙම වැඩසටහනෙන් පසුව පුරාවිද්‍යා ස්ථානයෙන් ඉවතට රැගෙන   යා යුතුයි.

V.  වැඩසටහන අවසන් වූ පසුව සියලු අපද්‍රව්‍ය පුරාවිද්‍යා ස්ථානයෙන් ඉවත්කර පැවති ආකාරයෙන් පිරිසිදුව තැබිය යුතුය.

VI.  එදින සවස 3.00 ට වැඩ සටහන අවසන් වූ පසුව සියලු දෙනා මෙම ස්ථානයෙන් පිටව යා යුතු වේ.

VII.  ගිණි දැල්වීම, ගස් කැපීම, භූමියේ වලවල් හෑරීම සිදු නොකළ යුතුය.

VIII.  ස්මාරක වලට හා එම භූමියට හානි වන පරිදි වාහන ගාල් කිරීම සහ ධාවනය කිරීම සිදු නොකළ යුතුය.

IX.  ලිප් බැදීම, ගිණි දැල්වීම, ආහාර පිසීම වැනි කටයුතු ස්මාරකවල සිට මීටර් 100ක් ඇතුලත සිදු නොකළ යුතු වේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...