පසුගිය දින කිහිපය තුළ මෙම වංචාවට හසුවී කප්පම් මුදල් ගෙවීමට සිදුවූ පුද්ගලයන්ගෙන් පැමිණිලි කිහිපයක්ම තම ආයතනය වෙත ලැබී ඇති බව CERT ආයතනය අවධාරණය කරයි.
මෙම වංචනිකයන් මුලින්ම සුරූපී ඉන්දීය තරුණියන්ගේ රූප සහිත ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා පුද්ගලයන් වෙත මිතුරු ඇරයුම් එවා ඔවුන්ගේ තොරතුරු සහ මිතුරු ලැයිස්තු අධ්‍යයනය කරයි. අනතුරුව ඉලක්ක කරගත් පුද්ගලයාගේ WhatsApp අංකයට වීඩියෝ ඇමතුමක් ලබා දෙන අතර, එහිදී පෙනී සිටින තරුණිය නිරුවත්ව සිටිමින් අදාළ පුද්ගලයාද නිරුවත් වීමට පොළඹවනු ලබයි. පුද්ගලයෙකු නිරුවත් නොවූවත්, එම වීඩියෝ ඇමතුමට ප්‍රතිචාර දක්වා විනාඩි කිහිපයක් රැඳී සිටීම වංචනිකයන්ට තම අරමුණ ඉටු කර ගැනීමට ප්‍රමාණවත් වේ.
ඔවුන් එම දර්ශන සූක්ෂ්ම ලෙස පටිගත කර, පසුව එම පුද්ගලයා නිරුවත් තරුණියක සමඟ විනෝද වන ආකාරය දැක්වෙන සේ සංස්කරණය කර අදාළ පුද්ගලයාටම සහ ඔහුගේ ෆේස්බුක් මිතුරෙකුට යොමු කිරීමට පියවර ගනී. ඉන් අනතුරුව, එම දර්ශන සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ නොකිරීමට නම් ඉන්දියානු බැංකු ගිණුමකට කප්පම් මුදල් බැර කරන ලෙසට බල කරමින් දැඩි ලෙස තර්ජනය කිරීම මෙම වංචාවේ ස්වභාවයයි.
මෙම වංචාවට සමාජයේ විවිධ තරාතිරම්වල ප්‍රසිද්ධ පුද්ගලයන් පවා ගොදුරු වී ඇති බව නිරීක්ෂණය වී තිබේ. එබැවින් නන්නාඳුනන අංකවලින් එන වීඩියෝ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී අතිශය ප්‍රවේශම් වන ලෙසත්, යම් හෙයකින් ඔබ මෙවැනි වංචාවකට හෝ තර්ජනයකට ලක්ව ඇත්නම් කිසිඳු බියකින් හෝ ලැජ්ජාවකින් තොරව වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙසත් ශ්‍රී ලංකා CERT ආයතනය වැඩිදුරටත් දැනුම් දෙයි.







