The Leader News
BREAKING
Top Ad
Opinion

වෛද්‍යවරුන්ගේ 'පෞද්ගලික සෞඛ්‍ය වෙළඳපල' ගැන සෞඛ්‍ය ඇමති කියන්නේ මොනව ද? | කුසල් පෙරේරා

T

The Leader Desk

April 3, 2025 • 8:48 AM

වෛද්‍යවරුන්ගේ 'පෞද්ගලික සෞඛ්‍ය වෙළඳපල' ගැන සෞඛ්‍ය ඇමති කියන්නේ මොනව ද? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දිනකට උදේ හවස කෙතරම් රෝගීන් පරීක්ෂා කරනු ඇතිද?
  • කොළඹ විශාල පෞද්ගලික රෝහල් කිහිපයක 2023 වාර්ෂික වාර්තා අනුව, විශේෂඥ වෛද්‍ය සේවා සඳහා දිනකට බාහිර සායන වෙත එක රෝහලකට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 1,300 ත් 1,500 ත් අතර වේ.
  • විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශන ගාස්තු ගැන විමසීමෙන් දැන ගත්තේ ඔවුන් එක් රෝගීයකුගෙන් වරකට රුපියල් 3,800 ත් 4,500 ත් අතර ගාස්තුවක් අයකරන බව ය.
  • රෝගීන් වැය කළ යුතු එවැනි තවත් ගාස්තු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දිනකට උදේ හවස කෙතරම් රෝගීන් පරීක්ෂා කරනු ඇතිද? කොළඹ විශාල පෞද්ගලික රෝහල් කිහිපයක 2023 වාර්ෂික වාර්තා අනුව, විශේෂඥ වෛද්‍ය සේවා සඳහා දිනකට බාහිර සායන වෙත එක රෝහලකට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 1,300 ත් 1,500 ත් අතර වේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශන ගාස්තු ගැන විමසීමෙන් දැන ගත්තේ ඔවුන් එක් රෝගීයකුගෙන් වරකට රුපියල් 3,800 ත් 4,500 ත් අතර ගාස්තුවක් අයකරන බව ය. ඊටත් වැඩියෙන් අය කරන විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නා බැව්ද ඒ අතර අසන්නට ලැබුණකි. ඒ සම්පූර්ණ මුදල විශේෂඥ වෛද්‍යවරයාට හෝ වෛද්‍යවරියට ලැබෙන්නේ නැත. ඉන් යම් ප්‍රතිශතයක් අදාල රෝහල විසින් වෛද්‍ය සායන සඳහා සපයන පහසුකම් වෙනුවෙන් තබා ගනිති.

 

ආරෝග්‍යයේ පරමලාභය රෝහල් පුද්ගලිකරණයට ද? - (මහිම සුජීව ගමගේ)
රෝගීන් වැය කළ යුතු එවැනි තවත් ගාස්තු ඇත. කවුරුත් දන්නා පරිදි වෛද්‍යවරුන්ගේ නියමයෙන් සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා ගෙවන්නට සිදුවන ගාස්තුද අඩු නැත. ඉන් ඇතැම්වා අනවශ්‍ය පරීක්ෂණ බැව් දැන ගන්නේ පසුවය. එවැනි පහසුකම්ද සමග කොළඹ ප්‍රධාන රෝහල් කිහිපය වසරකට තනි තනිව ඉපැයූ ශුද්ධ ලාභය දළ වශයෙන් රුපියල් මිලියන 3,000 ත් 3,500 ත් අතර විය (2023 වාර්ෂික වාර්තා අනුව). පෞද්ගලික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය එවැනි විශාල වෙළඳපලකි.

පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා මාර්ගෝපදේශ, ප්‍රමිතීන්, ලියාපදිංචි කිරීම් ඇතුලු අධීක්ෂණය හා නියාමනය ආණ්ඩුවේ වගකීමක් යැයි පළමු වරට පිළිගනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින්ය. ඒ සඳහා 2006 ජූලි මස බලාත්මක කෙරුණු 2006 අංක 21 දරණ “පෞද්ගලික වෛද්‍ය ආයතන (ලියාපදිංචි කිරීමේ) පනත” යටතේ සෞඛ්‍ය ඇමති විසින් ඒ වසරේ දෙසැම්බරයේ “පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව” පත් කරනු ලැබුවේය.

ඒ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවෙහි සංයුතිය අථාර්කික අවුලකි. නියාමන සභාවෙහි සභිකයින් 28 දෙනාගෙන් 09 කු පෞද්ගලික ආරෝග්‍යශාලා සහ සාත්තු නිවාස සංගමයේ නියෝජිතයින් ය. එනම් ව්‍යාපාරිකයින්ය. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් 09 දෙනා සමග, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ පෞද්ගලික වෛද්‍ය අංශ සංවර්ධන අධ්‍යක්ෂ එකතු වූ විට රජයේ ඉහළ පෙළ නිලධාරීන් 11 කි. නියාමන සභාවෙහි ඝණපූරණය 07 කි. එනිසා රජයේ ඉහළ පෙළ නිලධාරීන් 11 ට හෝ පෞද්ගලික ආරෝග්‍යශාලා සහ සාත්තු නිවාස සංගමයේ නියෝජිතයින් 09 ට තම අභිමතය අනුව නියාමන සභාව ලෙස රැස්වී අවශ්‍ය ඕනෑම තීන්දුවක් ගත හැකිය.

1579714978 Private medical centers owned by doctors to be censused B
පනතෙහි වගකීම හා අරමුණු වන්නේ, “පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචි කිරීම, විධිමත් කිරීම, අධීක්ෂණය කිරීම හා පරීක්ෂා කිරීම සඳහා විධිවිධාන සැළැස්වීම පිණිසද, ඒ ආයතනවල වර්ධනය වැඩි දියුණු කිරීම පිණිසද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික සියලු කරුණු සඳහා විධිවිධාන සැළැස්වීමද” යන්න ය. එහෙත් ඒවා ක්‍රියාවට නැගීමට අවශ්‍යවන නිශ්චිත නෛතික බලය පැහැදිලි ලෙස අර්ථ දැක්වීමක් පනතෙහි නැත. නිදසුනක් ලෙස, පනතේ 04 වන වගන්තියට අනුව ලියාපදිංචි කිරීමකින් තොරව කිසිවකු විසින් පෞද්ගලික වෛද්‍ය ආයතනයක් පවත්වා ගෙන යාම නීති විරෝධී යැයි පනතේ 02 වන වගන්තියේ (1)අ සහ ආ උප වගන්ති යටතේ සඳහන් වන්නේ ය. එහෙත් පනත උල්ලංඝණය කළ විට, ඊට දඬුවම් නැත. පනතින් කියන්නේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව විසින් ඒ ආයතනය වහාම ලියාපදිංචි කළ යුතු බවට විධාන කළ යුතු බවය.

නියාමන සභාවෙහි ක්‍රියාකාරිත්වයද අතිශය නිද්‍රාශීලී ය. එහි වෙබ් අඩවියට අනුව විශේෂඥ උපදේශන ගාස්තු සම්බන්ධ 2014 අගෝස්තු මාසයේ කෙරුණු දැනුම්දීමෙන් පසු ඒ පිළිබඳව ඉකුත් අවුරුදු 10 තුල කිසිදු දැනුම්දීමක් කර නැත. එනිසා තවමත් වලංගු විය යුතු විශේෂඥ උපදේශන ගාස්තුව වන්නේ උපරිමයෙන් රුපියල් 2,000 ක් පමණි. 

private health council

ඔවුන්ගේ කාර්යක්ෂමතාව මැන ගත හැකි තවත් කාරණාවක් වන්නේ, 2014 අගෝස්තු මාසයේ 08 වන දින පැවති රැස්වීමෙහි ගනු ලැබූ එම තීන්දුව, අදාල ආයතන වෙත දැනුම්දීමට ඔවුන්ට හරියට මාස 03 ක් ගතව තිබීමෙනි.
 
පෞද්ගලික වෛද්‍ය ආයතන (ලියාපදිංචි කිරීමේ) පනත සහ එමගින් පත් කරනු ලැබ ඇති නියාමන සභාව සම්බන්ධ බරපතලම කාරණාව නම්, පනතේ 09 වන හා 10 වන වගන්ති යටතේ අධීක්ෂණය හා නියාමනය සඳහා නිල නිර්ණායක සකස් කිරීමේදී ඔවුන් දක්වා ඇති නොසැළකිල්ල ය. අවසන් නිර්ණායක සකස්කර ඇත්තේ මීට වසර 04 ට පෙර “මාර්ගෝපදේශ අංක 02” වශයෙන් 2021 මාර්තු 19 වන දින ය. එහි “රෝහල් හා සාත්තු නිවාස” ලෙස දක්වා ඇති අර්ථදැක්වීම් “දළ හැඳින්වීම්” පමණි. “මූලික අවශ්‍යතා” වශයෙන් සඳහන් උපදේශන කාමර, රැඳී සිටීමේ ඉඩකඩ, අභ්‍යන්තර පහසුකම්, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ස්ථානය, ගිලන් රථ, කසළ (සායනික) ඉවත් කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් ඇත්තේද දළ විස්තර කිරීම්ය. එහි අංක 23 යටතේ “අවම මානව සම්පත්” ගැන දක්වා ඇත්තේද ඒ ආකාරයෙන්ම ය.
 pht89qwe
පෞද්ගලික රෝහලක හා සාත්තු නිවාසයක අවම නේවාසික හා බාහිර රෝගීන් සංඛ්‍යාව අනුව සිටිය යුතු පූර්ණකාලීන, පලපුරුද්දක් ඇති සේවක සංඛ්‍යාවක් ගැන කිසිදු සඳහනක් එහි නැත. පූර්ණකාලීන “වෛද්‍ය අධ්‍යක්ෂවරයෙකු” ගැන සඳහන් වෙතත් ඔහුගේ/ඇයගේ අවම සුදුසුකම් හා පළපුරුද්ද ගැන කිසිදු සඳහනක් නැත. පූර්ණකාලීන වෛද්‍ය සේවාවක් ගැන සඳහනක්ද එහි නැත. එහි ඇත්තේ වෛද්‍යවරුන්ගේ “ලියාපදිංචිය” ගැන සඳහනක් පමණි. හෙදියන්, දන්ත වෛද්‍යවරුන්, ඖෂධවේදීන් සම්බන්ධයෙන්ද ඇත්තේ එවැනිම (නො)සැළකිල්ලකි.
g655756
 
පනතෙහි 10(ඇ) උප වගන්තියට අනුව, “අදාල සෞඛ්‍ය තොරතුරු හා සංඛ්‍යා ලේඛන එකතු කිරීම හා ප්‍රකාශයට පත් කිරීම” නියාමන සභාවෙහි වගකීමක් වූවත් එවැනි කිසිවක් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ නැත. ඇතැම් තොරතුරු සොයා ගත හැක්කේ කොළඹ  පෞද්ගලික රෝහල්වල වාර්ෂික වාර්තා පිරික්සීමෙනි. ඒ සමග වන සාමාන්‍ය අනුමානය වන්නේ, රජයේ වෛද්‍යවරුන්ගෙන් සියයට 50 - 60 අතර ප්‍රතිශතයක් කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහල් 10 - 12 ක අර්ධකාලීන සේවයේ නිරතවන අතර, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්ද සියයට 70 ට වැඩි ප්‍රමාණයක් කොළඹ පෞද්ගලික රෝහල්වල සායන පවත්වන බවය. එක් රෝහලක් රජයේ වෛද්‍ය උපදේශකයින් 700 ට හෝ 800 ට වැඩි සංඛ්‍යාවකගේ කෙටිකාලීන සේවා ලබා ගන්නේය. මේ සියලු වෛද්‍ය උපදේශකයින් දිනකදී පෞද්ගලික රෝහල් කිහිපයක සේවය කරන බවද අමතක නොකළ යුතුය.          
 
පෞද්ගලික රෝහල්වල ස්ථිර පත්වීම් ලද වෛද්‍යවරුන් නැතිද යන්න ඉන් පැන නැගෙන ප්‍රශ්නයකි. සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව, වැනි කිසිදු ආයතනයක නිල වෙබ් අඩවි වලින් රජයේ සහ පෞද්ගලික රෝහල්වල ස්ථිර පත්වීම් මත සේවය කරන වෛද්‍යවරුන් සංඛ්‍යා සොයා ගත නොහැක. මේ ආයතනවල 2016 අංක 12 දරණ “තොරතුරු දැනගැනීමේ පනත” යටතේ පත් කළ යුතු “තොරතුරු නිලධාරි” මහත්මයෙකු හෝ මහත්මියකද නැතිවා වාගේ ය.
 
පෞද්ගලික රෝහල්වල ස්ථිර සේවයේ නියුතු වෛද්‍යවරුන් සංඛ්‍යාව ගැන අනුමාන වශයෙන් කතා කළහොත් 2020 වන විට ඒ සංඛ්‍යාව 1,200 ත් 1,400 ත් අතර විය. අපට එවැනි අනුමාන මත රැඳෙන්නට සිදුව ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි අධීක්ෂණ හා නියාමන කටයුතු සඳහා වගකිව යුතු ආයතන සිය වගකීම් ඉටු නොකරන හෙයිනි. සාධාරණය කළ නොහැකි වූවත් එසේ වගකීම් අත හැරීමට හේතු ඇත. ප්‍රධාන හේතුවක් වන්නේ, වෛද්‍යවරුන්ට රජයේ පූර්ණකාලීන පත්වීමක් අත තබාගෙන පෞද්ගලික සෞඛ්‍ය සේවයේ රැකියාවේ නිරතවීමේ නීතිමය බාධාවක් නොතිබීමය. ඒ සමග ඔවුන්ගේ සේවය අධීක්ෂණය කිරීම හා නියාමනය කිරීමද ඔවුන්ටම බාර කෙරුණකි.
 
පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ඇති බාධාවක් ඉවත් කිරීම!
ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය හා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව වෛද්‍යවරුන්ට හා වෛද්‍ය ක්ෂේත්‍රයෙහි බලධාරීන්ට පවරා ඇති ආයතන වේ. ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ සභිකයින් 33 දෙනම වෛද්‍ය පීඨ ප්‍රධානීන්ද ඇතුළත් වෛද්‍ය වෘත්තිකයින් ය. එබැවින් වෛද්‍ය මණ්ඩලය වශයෙන් ඔවුන් නැඹුරු වන්නේ ඔවුන්ගේ වෘත්තීය කාරණා වෙත ය. සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි දියුණුව ජනතාවගේ අයිතියක් ලෙස සැළකීමක් එනිසා නැත. එවැනිම තත්ත්වයක් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේද ඇත. එහි සභිකයින් 28 දෙනාගෙන් 21 ක්ම වෛද්‍ය වෘත්තිකයින් මෙන්ම ව්‍යාපාරිකයින්ය. එබැවින් ඔවුන් උනන්දු වන්නේද ලාභය වෙනුවෙනි.
Health large
 
එවැනි පසුබිමක, අපගේ සෞඛ්‍ය සේවා අඩාලවීම නියතයකි. සෞඛ්‍ය සේවා ජනතාවගේ යහපත වෙනුවෙන් දියුණු කිරීමේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් ජනාධිපති අනුර කුමාරගේ මේ “Clean ශ්‍රී ලංකා” ආණ්ඩුවෙහිද දකින්නට නැත. එයටද හේතුව, වෘත්තියෙන් වෛද්‍යවරයෙකු සෞඛ්‍ය ඇමති ලෙස පත් කිරීමය. සෞඛ්‍යයට අදාල සියල්ල හරියාකාරව කලමනාකරණය කළ හැක්කේ වෛද්‍ය වෘත්තිකයින්ට යැයි අපේ මැදපංතික සමාජයේ වන අතාර්කික පිළිගැනීම, බරපතල රෝගයකි. ආකල්පමය වශයෙන් වෛද්‍ය වෘත්තිකයින් හැඩ ගැසී ඇත්තේ ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවක් ගැන සිතන්නට නොවේ. සෞඛ්‍ය සේවා අධීක්ෂණ හා නියාමන ආයතන සඳහා සමාජ නියෝජනයක් ඇති වෙනත් වෘත්තිකයින් දැන් පත් කෙරෙන්නේ එනිසා ය.  
 
අප අනුකරණය කරන බ්‍රිතාන්‍යයේ පැරණි “පොදු වෛද්‍ය මණ්ඩලයද” (General Medical Council) මුහුණ දුන් මේ වෛද්‍ය වෘත්තික ආධිපත්‍ය වෙනස් කිරීමට ඔවුහු 2000 වන විට ප්‍රතිසංස්කරණ ගණනාවක් ක්‍රියාත්මක කළහ. ඉන් මූලික වූයේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍ය වෘත්තික හා සෙසු සාමාජික සංඛ්‍යාව එක හා සමානවීමත් සමස්ථ මණ්ඩලය සාමාජිකයින් 12 දෙනෙකුට සීමා කිරීමත් ය. වර්තමාන මණ්ඩලයෙහි 07 කු කාන්තාවන් වන අතර, පිරිමි 05 දෙනාගෙන් එක් අයකු ශ්‍රී ලාංකිකයෙකි. වෛද්‍ය මණ්ඩලයේ ප්‍රධාන වගකීම ලෙස සඳහන් වන්නේ “මහජනතාවගේ සෞඛ්‍ය හා සෞඛ්‍යාරක්ෂාව ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම හා නඩත්තු කිරීමය”.  
 
අපටද එවැනි බරපතල ප්‍රතිසංස්කරණ නොමැතිව ජනතාව වෙනුවෙන් ජාතික සෞඛ්‍ය සේවාවක් නඩත්තු කළ නොහැකි ය. එහෙත් බ්රිතාන්‍යයේ මෙන් අපට සංවාද සාකච්ඡා ඔස්සේ ප්‍රතිසංස්කරණ සඳහාවන අවශ්‍යතාව සමාජගත කළ හැකියැයි නොසිතමි. ජාතික සෞඛ්‍ය සේවාවේ එවැනි වර්ධනයකට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හා පෞද්ගලික රෝහල් හිමිකරුවන් ඉඩ තබන්නේ නැතැයි කල් තියා කිව හැක්කකි. සෞඛ්‍ය ඇමති ජයතිස්ස සහ මාලිමා ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කියන්නේ මොනවාද යන්න වැදගත් වන්නේ එබැවින් ය.
 
ඕපාදූප රස බලන ජුණ්ඩෙකුගේ 'පාදෙනි ඉස්මුරුත්තාව' -(කුසල් පෙරේරා)(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 අප්‍රේල් 02 වන දින


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෛද්‍යවරුන්ගේ 'පෞද්ගලික සෞඛ්‍ය වෙළඳපල' ගැන සෞඛ්‍ය ඇමති කියන්නේ මොනව ද? | කුසල් පෙරේරා | The Leader