The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තලපති විජේ 'ග්‍රීස් ගහේ' නැංගවූ තමිල්නාඩු ඡන්දදායකයා හිස් අතින් බැසීම | Kusal Perera

T

The Leader Desk

May 7, 2026 • 6:01 AM

තලපති විජේ 'ග්‍රීස් ගහේ' නැංගවූ තමිල්නාඩු ඡන්දදායකයා හිස් අතින් බැසීම | Kusal Perera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩු 05 ක් සඳහා වූ මැතිවරණ අතුරින් තමිල් නාඩු මැතිවරණය අප්‍රේල් 23 වන දින අවසන් වූ අතර එහි සම්පූර්ණ ප්‍රතිපල නිකුත් වූයේ මැයි 04 වන දින සවස් භාගයේදී ය.
  • සාම්ප්‍රදායික පැරණි පක්ෂය වන බලයේ සිටි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාහම් (DMK) පක්ෂයට ලැබුණේ ආසන 59 කි.
  • ප්‍රධාන විපක්ෂය වූ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාහම් (ADMK) පක්ෂයට ආසන 47 කි.
  • නමුත් “තමිලග වෙට්‍රි කසාහම්” (TVK) යැයි අලුත් දේශපාලන පක්ෂයක් හදා ගත් දේශපාලනයට ආධුනික, ආගන්තුක දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු තලපති විජේට ආසන 108 ක ජයග්‍රහණයක් ලබාදී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙවර තමිල් නාඩු මැතිවරණ ප්‍රතිඵලය අපූරුය. සාම්ප්‍රදායික පැරණි පක්ෂය වන බලයේ සිටි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාහම් (DMK) පක්ෂයට ලැබුණේ ආසන 59 කි. ප්‍රධාන විපක්ෂය වූ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාහම් (ADMK) පක්ෂයට ආසන 47 කි. නමුත් “තමිලග වෙට්‍රි කසාහම්” (TVK) යැයි අලුත් දේශපාලන පක්ෂයක් හදා ගත් දේශපාලනයට ආධුනික, ආගන්තුක දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු තලපති විජේට ආසන 108 ක ජයග්‍රහණයක් ලබාදී ඇත. ඔහු ඒ සමග, තමිල් නාඩුවේ ඊළඟ මහ ඇමති වන්නේය. කතානායකද පත් කෙරුණු විට, මහ ඇමති ලෙස ඔහුට ආණ්ඩුවක් හදන්නට තවත් මන්ත්‍රීවරුන් 12 කු පමණ අවශ්‍ය වේ. ඒ සංඛ්‍යාව ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ නැත. එනිසා ඉන්දීය කො.ප. වැනි කුඩා පක්ෂ කිහිපයක් සමග හදා ගන්නා සන්ධානයකින් සම්පූර්ණ විය හැක. නැතිනම් බල හවුලක් ලෙස ADMK පක්ෂය සමග ද්විපාර්ශවීය සභාගයකට යා යුතුය.      

 

sarkar
මේ මැතිවරණ සංස්කෘතිය මගේ මතකය නිවැරදි නම්, 2018 වසර අග තමිල්නාඩුවේ තිරගත කෙරුණු මැතිවරණ දේශපාලනය පසුබිම් කෙරුණු “සර්කාර්” චිත්‍රපටයෙහි කතා කෙරුණකි. තලපති විජේ එහි ප්‍රධාන චරිතය රඟපෑ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූවකි. එවගේම එය උණුසුම් මතභේදයන්ට බඳුන් වූවකි. ඡන්දදායකයින්ට මැතිවරණයේදී නොමිලේ ලබා දෙන භාණ්ඩ හා පොරොන්දු ගැන කෙරෙන සඳහන් කිරීම් ඊට හේතු විය. තමිල් නාඩුවේ ප්‍රධාන දේශපාලන චරිත ගණනාවක් ඊට එරෙහි වූයෙන් එහි තිබූ ඇතැම් දර්ශන හා දෙබස් ඉවත් කිරීමට නිෂ්පාදකයා සහ අධ්‍යක්ෂ එකඟ වූහ.

ඡන්දය වෙනුවෙන් ජන්දදායකයින්ට නොමිලේ තෑගි මලු බෙදීම හා නොමිලේ භාණ්ඩ හා සේවා පොරොන්දුවීම තමිල් නාඩුවේ සම්මතයක් බවට පත්කරනු ලැබුවේ 60 දසකය වන විට දෙමළ සිනමාවේ යෝධ චරිතයක් වූ ADMK හි නායක MGR (එම්.ජී. රාමචන්ද්‍රන්) විසිනි. 1980 තමිල් නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ඔහු හැම ගෘහ මූලිකයෙකුටම හා බිරිඳට දෝතියක් හා සාරියක් තෑගි කෙරුවේය. ඉන් පසු හැම මැතිවරණයකදීම ඒ ත්‍යාගවල වටිනාකම ඉහළ ගියේය. කරුණානිධිගේ DMK පක්ෂය 2006 තමිල් නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී රූපවාහිනි යන්ත්‍ර නොමැති පවුල් සඳහා නොමිලේ වර්ණ රූපවාහිනි යන්ත්‍ර ලබා දීමට පොරොන්දු විය.  

vije thalapathi
ඉන් අවුරුදු 20 ට පසු මෙවර 2026 තමිල් නාඩු ප්‍රාන්ත මැතිවරණයෙහි අලුත් දේශපාලනයක් රැගෙන එන්නේ යැයි කියූ සහ ඒ වෙනුවෙන් අලුත් පක්ෂයක්ද හදාගත් “සර්කාර්” චිත්‍රපටයේ ප්‍රධාන නළු වූ තලපති විජේ ගේ පොරොන්දු පත්‍රයද පරණ MGR ලාගෙන් හා කරුණානිධිලාගෙන් වෙනස් නොවූවකි. ඔහුගේ ප්‍රධානම පොරොන්දු කිහිපය වූයේ, කාන්තා ගෘහමූලිකාවන් සඳහා ඉන්දීය රුපියල් 2,500 ක මාසික දීමනාවක්, මනාළියන් සඳහා රත්තරං ග්‍රෑම් 08 ක්, වසරකට නොමිලේ ගෑස් සිලින්ඩර 06 ක්, රැකියා විරහිත උපාධිධාරීනට ඉ.රුපියල් 4,000 ක මාසික දීමනාවක් සහ උපාධි නොමැති රැකියා විරහිතයින්ට ඉ.රුපියල් 2,500 ක් සහ අක්කර 05 ට අඩු වගා බිම් ඇති ගොවීනගේ වගා ණය සම්පූර්ණයෙන්ම කපා හැරීමත්ය. මේ කිසිවකින් තමිල් නාඩු ආර්ථිකයට වර්ධනයක්, අලුත් ආදායමක් එකතු වන්නේ නැත. නමුත් ඒවායේ වියදම රුපියල් කෝටි ගණනින් තමිල් නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ වැය ශීර්ෂයට ලොකු බරක් ලෙස එකතු වනු ඇත.

ඊට හාත්පසින් වෙනස් වන ඉකුත් 2020 - 2025 වසර වල මහ ඇමතිවරුන් වූ ADMK  නායක කේ. පලනිස්වාමි (2021 ක දක්වා) සහ DMK නායක එම්. කේ. ස්ටලින් යටතේ තමිල් නාඩු ආර්ථිකයේ පුදුමාකාර වර්ධනයක් පෙන්නුම් කරයි. කෝවිඩ්-19 න් ඇණ හිටි තමිල් නාඩු ආර්ථිකයෙහි ඒක පුද්ගල ආදායම 2025 වසර අවසන් වන විට සියයට 37 කින් වර්ධනයවී තිබිණ. විදුලි වාහන, විද්‍යුත් නිෂ්පාදන හා අර්ධ විදුලි සන්නායක වැනි නිෂ්පාදන සඳහා ලැබූ විදෙස් ආයෝජන සමග ඔවුන්ගේ 2024 - 2025 දළ ප්‍රාන්ත දේශීය නිෂ්පාදනය (GSDP) සියයට 11.2 කින් වැඩි වූවකි. ඒ සමග 2023 වන විට වයස අවුරුදු 16 ට වැඩි පිරිසගේ විරැකියාව සියයට 05.2 ක් වූ අතර, 2026 ආරම්භයේදී එය සියයට 03.5 දක්වා අඩුවී තිබිණ.    

පළපුරුදු, පැරණි සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයන් යටතේ එවැනි ආර්ථික ශක්තියක් අත්කර ගත් සමාජයකට, කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති, පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් වන, රිදී තිරයේ ජනප්‍රියත්වය එකම ආකර්ශනය වූ නළුවෙකු මහ ඇමති ලෙස පත්කර ගැනීමට තිබූ පෙළඹවීම කුමක් විය හැකිද?

 

thalapathy vijyas d

පූර්විකාවක් ලෙස මෙය තබන්නේ නම්, ඡන්දය භාවිත කළ යුත්තේ සමාජ වගකීමක් වෙනුවෙන් යැයි නොදන්නා, බරපතල ලෙස කුල නඩත්තු කෙරෙන ඉන්දියාව වැනි සමාජයක, ප්‍රථම තේරීම සිදුවන්නේ කුල හා ආගම අනුව ය. එවගේම ඔවුන් විනෝද සැණකෙලි වලට හවුල්වන අයුරු මැතිවරණ ප්‍රචාරණයටද හවුල්වීම ඔවුන්ගේ සාමාන්‍ය සමාජ සංස්කෘතිය වන්නේය. එවැනි සමාජ මානසිකත්වයක ඇත්තේ තාවකාලික, සුන්දර වාසි ලැබීමේ සිල්ලර අපේක්ෂාවන්ය. එබැවින් පසුගිය වසරවල තමිල් නාඩුව අත්විඳි සමාජ ආර්ථික වර්ධනය මැතිවරණ වලට අදාල යැයි බහුතරයක් නොසිතන්නකි. එවගේම මැතිවරණයේදී ජනප්‍රිය සිනමා නළුවකු සුන්දර පොරොන්දු ඉදිරිපත් කිරීම, පුරුදු සාම්ප්‍රදායික දේශපාලකයින්ට වඩා අලුත් ආකර්ශනීය සාධකයක් වන්නකි.

එහි යටිතලයේ ගොනුවූ දේශපාලනයක්ද ඇත. තමිල් නාඩුවේ ග්‍රාමීය ජනගහනය සියයට 52 කි. සියයට 48 ක් නාගරික ජනගහනය වේ. ඔවුන් අතර අර්ධ නාගරික සමාජයක්ද ඇත. පසුගිය අඩ දසකයට වැඩි කාලයෙහි නාගරික හා අර්ධ නාගරික තරුණ ප්‍රජාවට තමිල් නාඩු ආර්ථික වර්ධනය සමග ඇතිවූ නව පන්නයේ තාක්ෂණික රැකියා සඳහා අවශ්‍ය කුසලතා පුහුණුවක් අධ්‍යාපනයෙන් නොලැබුණි. සරළව කිවහොත් පවතින විධිමත් අධ්‍යාපනයෙන් පසු ශ්‍රම වෙළඳපලට අලුතින් එකතු වන තරුණ තරුණියන් සමාජයේ කවර තැනකින් පැමිණියත් අලුත් රැකියා සඳහා නොගැලපුනි. එය තරුණ අසහන වර්ධනයට නිශ්චිතව බලපෑවකි.

තමිල් නාඩු ප්‍රාන්ත ආණ්ඩුවෙන් සියයට 52 ක් වූ ග්‍රාමීය සමාජය සඳහා ක්‍රියාත්මක කළ “කාන්තා සංවර්ධනය සඳහා සහයෝගිතාව” සහ “ග්‍රාමීය ජීවනෝපාය සඳහාවන තමිල් නාඩු රාජ්‍ය මෙහෙයුම” වැනි ව්‍යාපෘති, කාර්මීකරණය වූ වෙළදපල ආර්ථිකයෙහි අසාර්ථක උත්සාහ විය. එවැනි ව්‍යාපෘතිවල ස්ථිරසාර ආදායම් මාර්ග සකසා ගැනීමේ අවකාශ නොවුනි.  

 

Unemployment rep image PTI youth 1200 170221
එවැනි හිස් තැන් හා පරස්පර තිබූ සමාජයකට අවශ්‍ය වූ ආර්ථික සැළසුම් මැතිවරණ ව්‍යාපාරයෙහි කොතැනකවත් කතා නොවීම, ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණ සංස්කෘතියෙහි පොදු ලක්ෂණයකි. එබැවින් තරුණ අසහනය, කාන්තා හා ග්‍රාමීය සුභසාධනය ඉලක්ක කෙරුණු තලපති විජේගේ දානමය පොරොන්දු සමග ගාල් වීම ස්වාභාවික ගාල් වීමක් විය. ඒ කිසිවක ඔහු ගෙනා අලුත් වෙනසක් නොවීය.

ඔහුගේ “දේශපාලනය” පාට පාට බැලුම් බෝල එකතුවක් වැනිය. ඔහු දේශපාලනිකව තමිල් නාඩු ඡන්දදායකයා ආමන්ත්‍රණය කෙරුවේ, “කච්චතීවු” දූපත හා “තමිල් ඊළාමයේ නායක” ප්‍රභාකරන් සම්බන්ධයෙන් පමණි. කච්චතීවූ දූපත ගැන කතාව දසක 05 ට වැඩි කලක් හැම තමිල් නාඩු නායකයෙකුම බරපතල ලෙස විකෘති කෙරුවකි. 14 වන සියවසෙහි ඩෙල්ෆ්ට් දූපතට හා දකුණු ඉන්දියාවේ රාමනාදපුරම් වෙරළ අතර මැද පෝක් සමුද්‍ර සන්ධියෙහි ගිණි කන්දක් පුපුරා යෑමෙන් මතු වූ බිම් කඩක් යැයි කච්චතීවු ගැන සඳහන් වන්නකි. 15 වන සියවසෙහි යාපනයේ දෙමළ රජ කෙනෙකුගේ භාරයෙහි තිබූ කච්චතීවූ දූපත, 17 වන සියවසෙහිදී දකුණු ඉන්දියාවේ රාම්නාද්පුරම් පාලනය කළ තිරුමලෙයි රඝුනාත සේතුපති නමැති සමින්දාරයෙකු විසින් අත්පත් කර ගනු ලැබිණ. මුහුදු ගමන් යන්නන්ගේ ආරක්ෂක දෙවියා යැයි වන විශ්වාසය හේතුවෙන් සාන්ත අන්තෝනි දෙව් මැදුර රාම්නාද්පුරම්හි ව්‍යාපාරිකයෙකු විසින් 1905 දී කුඩාවට ඉදිකෙරුවකි. ඒ හැර කච්චතීවුහි වෙනත් කිසිදු වැදගත් කමක් නැත. පදිංචි වීමට නොහැකි අක්කර 285 ක් පමණ වන එය, වතුර පොදක් ගහක් කොළක් නොමැති හිස් පස් ගොඩැල්ලකි.

Indian Prime Minister Indira Gandhi (right) with Sirimavo Bandaranaike, the Prime Minister of Sri Lanka, during a three-day visit to Sri Lanka, May 1973. (Photo by Keystone/Hulton Archive/Getty Images)
ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ පාලනය යටතේ 1974 දී සහ පසුව 1976 දී ශ්‍රී  ලංකාව සමග අත්සන් කළ ගිවිසුම් මගින් ඇය අගමැතිනි බණ්ඩාරනායක සමග තිබූ සමීප හිතවත්කම නිසා “කච්චතීවු දූපත ලංකාවට බන්දේසියක තබා තෑගි කළේ” යැයි තමිල් නාඩු දේශපාලකයින් කියූ සිල්ලර කතාවකි. ඔවුන් තවමත් නොකියන්නේ, 1974-76 වන විට කච්චතීවු සඳහා ලාංකීය ආණ්ඩුව එයට නොතිබූ භු-දේශපාලනික වටිනාකමක් ලබා දීමෙන්, ධීවර සම්පත් අතින් අති පොහොසත් “වොජ් සාගර තටාකය” සමග මුහුද ඉන්දියාවට ලබා ගැනීම පහසු කළ බවය.

ධීවර කර්මාන්තය මේ වනවිට වාණිජකරණය වී ඇති ප්‍රමාණයට වොජ් සාගර තටාකය ඇතුළු පෝක් සමුද්‍ර සන්ධියත් ලාංකීය මුහුදේ මන්නාරම් බොක්ක හා ආසන්න මුහුදත් දෙරටේම ධීවරයින් විසින් අධික සම්පත් සූරාකෑමකට ලක් කරන්නාවූ මුහුදු ප්‍රදේශයකි. එබැවින් අසල්වැසි මුහුදු සීමා ආක්‍රමණය කිරීම හේතුවෙන් අපගේ නාවික හමුදාව ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගන්නා අතර, තමිල් නාඩු වෙරළ ආරක්ෂකයින් අපගේ ධීවරයින් අත් අඩංගුවට ගන්නේය. ඒ ගැටුමේ ඉන්දියානු පැතිකඩ පෙන්වා, කච්චතීවූ දූපත ඉන්දියාව ලබා ගත යුතුයැයි තලපති විජේගේ කීම රාමනාදපුරම් ධීවර ඡන්ද සඳහා වැදගත් වන්නට ඇත. මැතිවරණයෙන් පසු එනමුත් එහි ඉතිරිවන වැදගත්කමක් නැත.

 

Kachchathivu 250324

ලාංකීය දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවට 2008-2009 වන විට තමිල් නාඩුවෙහි තිබූ අවධානය හා ආවේගය දැන් නැත. 2009 දී එල්.ටී.ටී.ඊය සහමුලින් සමූලඝාතනය කෙරුණි යැයි කීම අකමැත්තෙන් පිළිගත් තමිල් නාඩු ජනතාව අතර එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ජීවතුන් අතර ඇතැයි විශ්වාස කළ පිරිස්ද සිටියහ. එහෙත් 2011 තමිල් නාඩු මැතිවරණයේදී ලාංකීය දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුව ප්‍රධාන වේදිකාවට නොපැමිණියකි. ඉන්පසු 2016 මැතිවරණය වනවිට ප්‍රභාකරන් සහ දෙමළ ඊළම තමිල් නාඩු මැතිවරණයට අදාල නොවුනි. ඉන් වසර 10 ට පසු තලපති විජේගේ ප්‍රභාකරන් වන්දනාව සඳහා ඡන්ද තිබුණාදැයි සැකයකි.

තලපති විජේගේ ආණ්ඩු පාලනය ගැන එක දෙයක් කිව හැකිය. එය ආධුනික ප්‍රාන්ත ආණ්ඩු පාලනයක් විය හැකි මුත් අනිවාර්යෙන් සන්ධාන ආණ්ඩුවක් නොවුනත් මාලිමා ආණ්ඩුව මෙන් දැඩි දේශපාලන විනයකට හා ආර්ථික රාමුවකට කොටු නොවනු ඇත. එහෙයින් ඔහුට මෙතෙක් මහ ඇමති ස්ටලින්ගේ පාලනය යටතේ ආරම්භ කෙරුණු ආර්ථික ගමනෙහි ඉදිරියට යාමේ ඉඩකඩ හා වාසිය ඉතිරිව ඇත. එනිසා මැතිවරණ සමයේ ග්‍රීස් ගහේ නැංගවූ ජනතාව හිස් අතින් වූවත් ලොකු අතවරයකින් තොරව බස්සවා ගත හැක.


kusal perera2
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 මැයි 06 වන දින

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...