The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආගමික සිද්ධස්ථානවල ළමා අපචාර සහ සමලිංගික සම්බන්ධතා | Saroj Pathirana

T

The Leader Desk

October 8, 2025 • 8:43 AM

ආගමික සිද්ධස්ථානවල ළමා අපචාර සහ සමලිංගික සම්බන්ධතා | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය රජ පවුල ඇතුළු ලෝකේ පුරා ඉන්න ක්‍රිස්තියානි බැතිමතුන් මිලියන 110 ක් විතර අනුගමනය කරන එංගලන්ත සභාවේ නායකයා - කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බි - ගිය අවුරුද්දේ පදවියෙන් ඉල්ලා අස්වුණේ ළමා අපචාර චෝදනාවක් නිසා.
  • කොටින්ම එංගලන්ත සභාව ඇතුළේ සිද්දවෙන මේ අපචාරය වසන් කරන්න කටයුතු කරපු නිසා.
  • කතෝලික සභාවේ හිටපු නායකයා, බෙනඩික්ට් පාප් වහන්සේ, වතිකාන ඉතිහාසයේ දෙවෙනි වතාවට පාප් පදවිය හැර ගියපු කෙනා බවට පත්වෙමින් ඉල්ලා අස් වුණෙත් සභාව ඇතුළෙ ඔඩු දුවපු ළමා ලිංගික අපචාර වසන් කරපු නිසා.
  • නමුත් ඔහුගේ අනුප්‍රාප්තිකයා, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, කතෝලික පල්ලිය ඇතුළේ සිද්දවෙන ළමා අපචාරවලට විරුද්ධව සෘජුව පෙනී සිටිමින් ඒවා වළක්වන්නත් උත්සුක වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


එංගලන්ත සභාවේ නායකයට එහෙම ඉල්ලා අස්වෙන්න සිද්දවුණේ ජෝන් ස්මිත් කියන ළමා දූෂක පූජකයා ගැන හොඳින්ම දැනගෙනත් ඒ ගැන පොලිසියට පැමිණිලි කරන්නවත්, ඔහුට විරුද්ධව කිසිම නීතිමය පියවරක් ගන්නවත් අපොහොසත්වීම නිසා. කොටින්ම එංගලන්ත සභාව ඇතුළේ සිද්දවෙන මේ අපචාරය වසන් කරන්න කටයුතු කරපු නිසා.

කතෝලික සභාවේ හිටපු නායකයා, බෙනඩික්ට් පාප් වහන්සේ, වතිකාන ඉතිහාසයේ දෙවෙනි වතාවට පාප් පදවිය හැර ගියපු කෙනා බවට පත්වෙමින් ඉල්ලා අස් වුණෙත් සභාව ඇතුළෙ ඔඩු දුවපු ළමා ලිංගික අපචාර වසන් කරපු නිසා.

නමුත් ඔහුගේ අනුප්‍රාප්තිකයා, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, කතෝලික පල්ලිය ඇතුළේ සිද්දවෙන ළමා අපචාරවලට විරුද්ධව සෘජුව පෙනී සිටිමින් ඒවා වළක්වන්නත් උත්සුක වුණා. ඒ නිසාම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ධුර කාලයේදී ඕස්ට්‍රේලියාවේ ජෝර්ජ් පෙල් (Cardinal George Pell) කාදිනල්වරයා වගේ සභාවෙ ඉහළම පෙළේ නායකයින්ට සිර දඬුවම් පවා නියම වුනා.

 

ජස්ටින් වෙල්බි, බෙනඩික්ට් පාප් වහන්සේ,  ෆ්‍රැන්සිස් පාප් වහන්සේ
එංගලන්ත සභාවේ සහ කතෝලික පල්ලියේ විතරක් නෙවෙයි, ලංකාවේ බෞද්ධ විහාරස්තානවලත් සිද්දවෙන ළමා අපචාර නිමක් නැහැ.

අවුරුදු ගාණකට කලින් බීබීසී සංදේශය වෙනුවෙන් මම කරපු ගවේෂණයකදී අනාවරණය වුණ විදියට, ළමා ආරක්ෂක අධිකාරිය විසින් දශකයක් ඇතුළත බෞද්ධ භික්ෂූන් 110 දෙනෙක් ළමා ලිංගික අපයෝජන හෝ ළමුන්ට පහරදීම් චෝදනා මත අත්අඩංගුවට අරගෙන තිබුණ. ඒත් ඒ අතරින් වැරදිකරුවන් වෙලා තිබුණෙ භික්‍ෂූන් තුන් දෙනෙක් විතරයි. ළමා ආරක්ෂක ක්‍රියාධරයෙක් මට කියපු විදියට, රාජපක්ෂ පාලනාධිකාරියෙන් එල්ලවුණ බලපෑම් නිසා ළමා අපයෝජන ගැන චෝදනා එල්ලවුණ සමහර භික්ෂූන් සාක්ෂි තිබුණත් නිදහස් කරන්නත් ඔවුන්ට සිද්දවෙලා තිබුණ.

සබැඳි ලිපිය
Sri Lanka's hidden scourge of religious child abuse


ළමා අපචාර වසන් කිරීම නිසා එංගලන්ත සභාවේ මහා නායකතුමාට (කැන්ටබරියේ අගරගුරු තුමා) පදවිය අහිමි වුණත්, කතෝලික සභාවේ මහා නායක තුමා (පාප් වහන්සේ) ළමා අපයෝජකයින්ට වැට බඳින පියවර ගත්තත්, බෞද්ධ මහා නායකවරුන්ගෙන් නම් මම දැක්කේ මේ අපචාර ගැන කන් බිහිරි කරවන තරමේ නිහඬ බවක්.

 

somarathana theroපහලගම සෝමරත්න නායක හිමි
ඒ නිහඬ බව කොයි තරම් ද කියනවා නම්, හත් අවුරුදු දැරියක අපයෝජනය කිරීම නිසා සිරගත කරලා, අද මේ වනතුරුත් බ්‍රිතාන්‍යයේ ළමා අපයෝජකයින්ගේ ලැයිස්තුවේ නම තියන පහලගම සෝමරත්න අදත් ගම්පහ පළාතේ නායක හිමිනමක් විදියට බෞද්ධ විහාරස්තාන භාරව කටයුතු කිරීම මහා නායක හිමිවරුන්ට ප්‍රශ්නයක් නෙවෙයි. අනික පහලගම සෝමරත්න ඒ දැරිය අපයෝජනය කළේ ලංකාවේදී නම් ඔහු කවදාවත් හිරේ නොවැටෙන්නත් ඉඩ තිබුණ.

ඒ වගේම තමයි ලංකාවේ කතෝලික සභාව..

එදා ළමා කටයුතු ඇමති තිස්ස කරලියද්ද මාත් එක්ක කියපු විදියට, ළමා අපයෝජන කියන්නේ බෞද්ධ සංස්ථාවේ විතරක් නෙවෙයි කතෝලික පල්ලිය පුරාත් පැතිරුණු පිළිකාවක්.  


MalcomRanjith

ඒත් කාදිනල් මැල්කම් රංජිත් කවදාවත් කතෝලික පල්ලියේ ළමා අපචාර ගැන කතා කරනවා මම අහල නැහැ. ඒ වෙනුවට කාදිනල් තුමත්, බෞද්ධ මහා නායක හිමිවරුත්, දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට විරුද්ධ මැදගොඩ අභයතිස්ස වගේ අන්තවාදී හිමිවරුත් දැන් තමන්ට කිසිම දැනුමක් නැති සමලිංගික සම්බන්ධතා ගැන බිල්ලෙක් මවමින් ඉන්නවා.

සබැඳි ලිපිය
ළමා ලිංගික අපචාර: අපේ හතේ පොත සහ සය හැවිරිදි දැරිය ගැන 'දෙබිඩි පිළිවෙතක්'


ඒ වගේම කතෝලික සංස්ථාවේ ළමා අපචාර නොදැක්ක වගේ, ඇහුණේ නෑ වගේ ඉන්න කාදිනල් උන්නාන්සෙ ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කරන්න හදනවා කියල පට්ටපල් බොරුවක් කියමින් සැරෙන් සැරේ බිල්ලෝ මවනවා.  

මුලින්ම මේක පැහැදිලිව කියන්න ඕනේ.

ළමා අපචාර කියන්නේ නීතියෙන් දඬුවම් කළ යුතු, ඒ වගේම සමාජයෙන් අතුගා දැමිය යුතු, පිළිකාවක්.

sex man

වැඩිහිටියන් දෙදෙනෙක් අතර සමලිංගික හෝ වෙනත් ඕනෑම ආකාරයක ලිංගික සම්බන්ධතාවයක් කියන්නේ ආණ්ඩුවට හෝ ආගමික සංස්ථාවලට අත ගහන්න අයිතියක් නැති, මානව අවශ්‍යතාවයක්. ලංකාව වගේ සමහර රටවල් යල් පැනගිය වික්ටෝරියානු බ්‍රිතාන්‍ය නීතියක් තියාගෙන සමලිංගික සම්බන්ධතා නීති විරෝධී කරලා තියන බව ඇත්ත. ඒ නීතිය තවදුරටත් තබාගෙන සිටීමත් 21 වෙනි ශතවර්ෂයේදී බරපතල මානව හිමිකම් උල්ලංඝනයක්.  

LGBTQ 251008
මට මේ දීර්ඝ පූර්විකාව කරන්න හිතුණේ බෞද්ධ භික්ෂූන්ගෙන් සහ කාදිනල් තුමාගෙන් එල්ලවුණ විරෝධයත් එක්ක, LGBTQI ප්‍රජාවට නිදහසේ සංචාරය කරන්න පුළුවන් රටක් විදියට ලංකාව හඳුන්වල දෙමින් දියත් කරපු අලුත්ම සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතිය අත් හරින්න ආණ්ඩුව තීරණය කරපු බව දැකපු වෙලාවේ. 


විශේෂයෙන්ම, ලංකාවේ සමලිංගික අයිතිවාසිකම් මුලින්ම පිළිගත්ත දේශපාලන පක්ෂයේ නායකයා, අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා මහානායක වරු හමුවෙලා ආණ්ඩුවේ එහෙම ප්‍රතිපත්තියක් නැහැ කියල පොරොන්දු වුණාම මට පුදුම හිතුණ.
 


මම හිතන විදියට ලංකාවේ ජනතාව අනුර සහෝදරයා ජනාධිපති පදවියට පත්කර ගත්තෙත්, තුනෙන් දෙකක බහුතරයකින් මාලිමාවට ආණ්ඩු බලය දුන්නෙත්, ඉතිහාසය පුරාම රටේ ප්‍රගමනයට වඩා අවගමනයට දායක වුණ ආගමික සංස්ථා - මහානායක හිමිවරු සහ කාදිනල් තුමා වගේ අය - එක්ක එකතුවෙලා ප්‍රගතිශීලී පියවර ආපස්සට තියන්න නෙවෙයි.

පුෂ්ප කුමාර කියල රට වැසියෝ හඳුන්වපු එක නායකයෙක් රටට කරපු විනාශය අපි දැක්ක.

දිනපතාම ප්‍රසිද්ධියේ පන්සල් වන්දනා කරන අතරේ, ප්‍රසිද්ධියේ "අපේ හාමුරුවනේ" කියල දේශනාව පටන් ගත්තත් රහසිගතව මහා නායකලට සුද්ද සිංහලෙන් අමතපු නායකයෝ රටේ සංස්කෘතියටත්, ආර්ථිකයටත් කරපු විනාශය අපි දැක්ක.

anura kadinal
මම හිතන්නේ රටේ ජනතාව තවත් පුෂ්ප කුමාර කෙනෙක්වත්, මහ රජාණෝ කෙනෙක්වත් අනුරගෙන් බලාපොරොත්තු වුණේ නැහැ කියල. ඒ වගේම ඊළඟ මැතිවරණය ඔලුවේ තියාගෙන පන්සලට, පල්ලියට යටවෙලා ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ යටපත් කරන්න ජනතාව මාලිමාව පත්කර ගත්තේ නැහැ.
මහා බලසම්පන්න "දියසෙන්" කෙනෙක් ජනතා බලයෙන් පළවා හැරලා, ලංකාවේ ඡන්දදායකයෝ අනුර ඇතුළු ආණ්ඩුව පත්කරගත්තේ - මට හිතෙන විදියට - හොරුන්ට දඬුවම් දීල, හොරකම නවත්තලා, සමලිංගික සම්බන්ධතා තහනම් කිරීමේ නීතිය, PTA සහ Online Safety Act වගේ ජනතාව තලා පෙලා දමන ප්‍රතිගාමී නීති අහෝසි කරලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සංහිඳියාව ප්‍රවර්ධනය කෙරෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න.

එතනදි ගතානුගතිකවාදී, අන්තවාදී ආගමික සංස්ථාවෙන් පමණක් නෙවෙයි, වෙනත් ඕනෑම බලවේගයකින් මතුවෙන බාධා බිඳගෙන ආණ්ඩුව ඉදිරියට යාවි  කියන එකයි මම හිතන විදියට ජනතාවගේ බලාපොරෝත්තුව වුණේ.

විශේෂයෙන්ම අනුර සහෝදරයා බෞද්ධ මහානායකයින් සහ කාදිනල් තුමා වැනි පසුගාමී බලවේගවලට මේ විදියට යටවේවි කියල මම හිතන විදියට ජනතාව අපේක්ෂා කළේ නැහැ.  


Saroj Pathirana
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com


(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ඔක්තෝබර් 06

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...