The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රුසියාවේ යුද්ධය නිසා දුක් විඳින ලංකාවේ අම්මාවරු | Saroj Pathirana

T

The Leader Desk

October 30, 2025 • 11:04 AM

රුසියාවේ යුද්ධය නිසා දුක් විඳින ලංකාවේ අම්මාවරු | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදා මාර්තු 08 වෙනිදා.
  • යාලුවා කියපු දේ විශ්වාස කරන්න බෑ - කොටින්ම ඇය ඒ කතාව විශ්වාස කරන්න කැමති නෑ - ඒ නිසා අනේ කරුණාකරලා මේකේ ඇත්ත, නැත්ත හොයල දෙන්න කියල ඉල්ලන්න තමා ඇය මට කතා කළේ.
  • ඇත්තෙන්ම එයා මගේ දුරකථන අංකය හොයාගත්තේ කොහොමද කියල මම දන්නේ නෑ, මම ඇහුවෙත් නෑ.
  •   මේ අතරේ රුසියානු හමුදාවේ හිටපු ශ්‍රී ලාංකික සෙබළු 17 දෙනෙක් මිය ගිහින් කියල 2024 ජුනි මාසේ රුසියාවේ ආණ්ඩුවට ලංකාවට නිල වශයෙන් දැනුම් දුන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාත්‍යන්තර කාන්තා දිනය.  

සුනිල් ජයසේකර, ගාමිණී වියන්ගොඩ සහ සුජීව සෙනරත් ඇතුළු කණ්ඩායම එක්ක සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ වැඩමුළුවකට යමින් ඉන්න අතරේ මම නොදන්න number එකකින් කෝල් එකක් ආව. එහා පැත්තේ හිටියේ තරුණ කාන්තාවක්.

රුසියානු හමුදාවට බැඳිලා රුසියාවයි යුක්රේනයයි අතරේ යුද්ධයට ගියපු ඇයගේ සැමියා මිය ගියා කියල ඔහුත් එක්ක යුද්ධයේ හිටපු තවත් ශ්‍රී ලාංකිකයෙක් ඇයට දැනුම් දීල. ඇගේ සැමියා ඉඳල තිබුණෙ යුක්‍රේනයේ දනේත්ස්ක් ප්‍රදේශයේ. එතකොට රුසියාව ඒ පළාත අල්ලගෙන. යාලුවා කියපු දේ විශ්වාස කරන්න බෑ - කොටින්ම ඇය ඒ කතාව විශ්වාස කරන්න කැමති නෑ - ඒ නිසා අනේ කරුණාකරලා මේකේ ඇත්ත, නැත්ත හොයල දෙන්න කියල ඉල්ලන්න තමා ඇය මට කතා කළේ.

ඇත්තෙන්ම එයා මගේ දුරකථන අංකය හොයාගත්තේ කොහොමද කියල මම දන්නේ නෑ, මම ඇහුවෙත් නෑ. සමහර විට ඒ වෙනකොට මම "Sandeshaya by Saroj" (සරෝජ් සමග සංදේශය) යූටියුබ් නාලිකාවේ යුද්ධය ගැන කරපු විශේෂ වාර්තා දැකල වෙන්න පුළුවන්.

බිරිඳත්, ස්වාමියාත් එකම වයසේ. ඔවුන්ගේ එකම පුතා දණ ගාන වයසේ.

572930788 10161605740667155 1559996556287468221 n
ඔහු තමයි මම දන්න විදියට රුසියානු හමුදාවට බැඳිලා මියගිය පළවෙනි ශ්‍රී ලාංකිකයා. (ඒ වෙලාවේ මම ඒ ගැන අල් ජසීරා ආයතනයට වාර්තා කළා)

‘Waiting for a call from Daddy’: Sri Lankans die in Russia’s Ukraine war

එදා ඉඳල මාස ගණනාවක් ඇය අතේ තිබුණ අන්තිම සතෙත් වියදම් කරගෙන සැමියාට සිද්ද වුණ දේ ගැන හොයන්න නොගිය තැනක් නෑ, නොවිඳපු දුකක් නෑ. අංජනම් කාරයෝ කිවුවේ එයා සතුරාට අහුවෙලා හිරකරගෙන ඉන්නවා, පැනගන්න විදියක් නැතුව හිරවෙලා ඉන්නවා කියල. ඒ නිසා ශාන්ති කර්ම, පුද, පූජා පවත්වල husband ට සෙත් පතන්න කියලත් උපදෙස් ලැබුණ. අතේ තිබුණ අන්තිම මුදල් ටිකත් ඒවට වැයවුණා.

ආණ්ඩුවට කිවුවත් ආණ්ඩුවෙන් තොරතුරක් ලැබුණෙත් නෑ

 

a nipunma
මෙතෙක් කාලයක් සැමියාගෙන් ලැබුණ මුදලත් නෑ; පොඩි දරුවෙක් එක්ක රැකියාවක් කරන්න විදියකුත් නෑ, නැන්දල මාමලාගේ දොස්, පරොස්වල නිමාවකුත් නෑ. ඇයගෙයි, දරුව ගෙයි අපල නිසා අපේ දරුවා මරා ගත්ත කියල දොස් පවරලා අන්තිමට ඇයට සැමියාගේ ගෙදරිනුත් යන්න සිද්ද වුණා.  

මේ අතරේ රුසියානු හමුදාවේ හිටපු ශ්‍රී ලාංකික සෙබළු 17 දෙනෙක් මිය ගිහින් කියල 2024 ජුනි මාසේ රුසියාවේ ආණ්ඩුවට ලංකාවට නිල වශයෙන් දැනුම් දුන්න. ඒත් ඒ නම් ලැයිස්තුවේ ඇගේ සැමියාගේ නම තිබුණෙ නෑ.

රුසියාවේ ආණ්ඩුව ඔහු මියගිය බව තහවුරු කළේ මීට මාස කිහිපයකට කලින් - ඔහු මිය ගිහින් අවුරුද්දකටත් පස්සේ. ඒ බව ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දුන්නට පස්සේ ඇය අවශ්‍ය සේරම ලිය කියවිලි හදාගෙන ඒවා අමාත්‍යාංශයට භාර දීලත් දැන් මාස කිහිපයක්. එයින් පස්සේ ඇයට ආණ්ඩුවෙන් කිසිම තොරතුරක් ලැබුණේ නෑ.

rus 123192

මේ වෙනකොට රුසියානු හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකිකයින් සිය ගණනක් මිය ගිහින්. හරියටම කී දෙනෙක් මිය ගිහින් ද කියල කවුරුවත් දන්නේ නැහැ.
නමුත් ඒ මියගිය කිසිම කෙනෙකුට - මම දන්නා තරමින් - මේ වෙනතුරු කිසිම වන්දියක් ලැබිල නැහැ.

මේ තරුණ අම්ම අද දරුවා අම්මට බලාගන්න දීල දවල් දවසේ රැකියාවකුත් කරගෙන හරිම අසීරුවෙන් ජීවිතේ ගැට ගහගෙන ඉන්නවා.

ඇය කියන්නේ සැමියා මිය ගිහින් ලැබෙන සල්ලිවලින් ඇයට වැඩක් නෑ කියල. නමුත් රුසියාව ඔහු වෙනුවෙන් අනිවාර්යයෙන් වන්දියක් ගෙවන බව ඇය දන්නවා. සැමියා දිවි පිදූ රට ඔහු වෙනුවෙන් දෙන මුදල අම්ම, දරුවා ජීවත් කරන්නත්, දරුවාගේ අනාගතය වෙනුවෙන් දෙයක් කරන්නත් උපකාරයක් බව ඇය දන්නවා. ඇය එපා කියද්දී සැමියා රුසියාවට ගියෙත්, ඇයට පවා බොරු කියල හමුදාවට බැඳුණේත් පුංචි පුතාට අදට වඩා හොඳ අනාගතයක් සරි කරන්න බවත් ඇය දන්නවා.

සමහර ලංකාවේම "අපේම" වංචාකාරයොත්, සමහර රුසියානුවොත් තව කෙනෙක් තුවාල ලබල, දිවි පුදල ගන්න වන්දිය පවා ගසා කෑවත් රුසියාවේ ආණ්ඩුව එහෙම වංචාවක් නොකරන බවත් ඇයට විශ්වාසයක් තියෙනව.

ගිය අවුරුද්දේ මාර්තු 08 වෙනිදා ඇය කෝල් කරපු දවසේ ඉඳල අද වෙනකොට ඒ වගේ අම්මලාගෙන්, දරුවන්ගෙන්, ඥාතීන්ගෙන් මට ආපු කෝල් ගණන දදහසකට වැඩි ඇති. ඒ පවුල්වලට ඇරුණම ලංකාවේ හැමෝටම වගේ දැන් ඔවුන් ගැන අමතක වෙලා, ඒ නිසා මට හිතුණ ඒ බොහෝ අය ගැන මේ විදියටම සටහන් කළ යුතුයි කියල.

573939601 10161605742352155 8052555273505614158 n

පුළුවන් හැම වෙලාවකම, ඔවුන්ට පුළුවන් හැම උපකාරයක්ම කරන්න මම උත්සහ කළා. බොහෝ අවස්ථාවල කොළඹ ඉන්න රුසියානු තානාපති තුමා, HE Levan Dzhagaryan, නොමසුරුව ඔවුන්ට උපකාර කරන්න ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම මියගිය පවුල්වල ඥාතීන්ගේ ලියකියවිලි සහතික කරන්න අය කරන මුදල ගෙවාගන්න ඔවුන්ට අසීරු බව මම දැනුම් දුන්නම එතුමා පෞද්ගලිකව මැදිහත් වෙලා ඒක නොමිලේ කරලා දෙන්න තීරණය කළා. මේ බොහෝ පවුල් එතුමාට ඒ ගැන කෘතඥතාව පළ කරන බව සටහන් කළ යුතුමයි.

ඒත් මට ඔවුන්ට කිසිම උපකාරයක් කරන්න බැරි වුණ අවස්ථාත් ඕන තරම්. බොහෝ දෙනෙක් ගැන මට කිසිම තොරතුරක් හොයාගන්න ලැබුණේ නැහැ. ස්වාමි පුරුෂයාට, තාත්තට, පුතාට, සමීප ඥාතියට සිද්ද වුණේ මොකක්ද කියල නොදැන තැවෙන පවුල් සිය ගාණක් - නැත්නම් දාස් ගාණක් - අදත් ලංකාවේ ඉන්නවා.

සමහරුන්ගේ ගෙවල්, ඉඩ කඩම් සින්න වෙලා. ගොඩක් දෙනෙකුට හමුදාවේ විශ්‍රාම වැටුපත් නැහැ. වන්දිය ගන්න අවශ්‍ය සියලු දේ කරලත් සමහරු අවුරුද්දකටත් වැඩි කාලයක් වන්දිය ලැබේවිද කියල බලා ඉන්නවා. ඒ අතරේ මේ මිනිස්සුන්ට වන්දිය ලැබුණොත් එයාල රවට්ටලා ඒකෙන් කීයක් හරි ගසා කන්නේ කොහොමද කියල සමීප ඥාතීන් ඇතුළු තව පිරිසක් හොර ගල් අහුලමින් ඉන්නවා.

573441672 10161605744462155 7360249977938715617 n

 

මේ රුසියාවේ යුද්ධයට බැඳුණ ශ්‍රී ලාංකික සෙබළුන්ගේ කඳුළු කතාවේ එක කතාවක් විතරයි. ඉඩ ලැබෙන විදියට මේ ඛේදවාචකය ගැන තවත් විස්තරත් මේ තීරුවේ සටහන් කරන්නම්.

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ඔක්තෝබර් 29

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...