ජීවිත හානිය සංඛ්‍යාත්මක වශයෙන් කීයක් වුණත් - අනුර සහෝදරයා කියපු විදියට ඒ එක ජීවිතයක්වත් නිකම්ම නිකම් අංකයක් නෙවෙයි - කුණාටුවෙන් රටේ සමස්ත ජන ජීවිතයට එල්ල කරපු බලපෑම පැහැදිලිවම සුනාමියට වඩා අතිශය බරපතලයි.
ඒ නිසා ඒ වගේ ව්‍යසනයක් ගැන දක්වන ප්‍රතිචාරයත් ව්‍යසනයට සමානුපාත වෙන්න ඕනේ. ඇත්තටම ඒක බොහොම දැවැන්ත ක්‍රියාදාමයක් (a mammoth task) ඒ ප්‍රතිචාරය කිසිසේත්ම මේ මොහොතේ ලබාදෙන ආහාර, ඇඳුම්, පැළඳුම්, නිවාස පිරිසුදු කිරීම් සහ Rebuilding Sri Lanka වැඩසටහනට කුප්‍රකට ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ පිරිසක් පත්කිරීමෙන් අවසන් වෙන්නේ නැහැ.

යුනිසෙෆ් සංවිධානය අද නිකුත් කළ නිවේදනයකට අනුව දිට්වා කුණාටුව ලංකාවේ දරුවන් 275,000 කට වැඩි පිරිසකට කෙලින්ම බලපාල තියෙනව. තවමත් සමහර පළාත් එක්ක සන්නිවේදනය බිඳ වැටිලා නිසා ඒ සංඛ්‍යාව ඊටත් වඩා ගොඩක් වැඩිවෙන්නත් පුළුවන්.
මේ දරුවන්ගේ ජීවිත යළි නගා සිටුවීම කියන්නේ විනාශවුණ නිවාස, පාසල්, රෝහල් ඇතුළු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට වඩා එහා ගිය පුළුල් ක්‍රියාදාමයක්. කොටින්ම ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ගැන මෙතෙන්දි බරපතල අවධානය යොමුකරන්න වෙනවා. මේ වගේ ව්‍යසනයකදී දරුවන් මුහුණදෙන අති බරපතල මානසික කම්පනය - severe emotional distress - ගැන යුනිසෙෆ් සංවිධානයත් පෙන්නලා දීල තිබුණ.

මට මතක් වුණා සුනාමියෙන් පස්සේ දරුවන්ට ඒ වගේ මානසික උපදේශන සේවාවක් දියත් කළ බෞද්ධ භික්ෂුණියක් මට කියපු කතාවක්. (ලින්කුව කොමෙන්ටුවේ) "සුනාමි කඳවුරුවල හිටියා හුඟාක් පුංචි දරුවෝ. සමහර දරුවන්ට නෑයෙක්වත් නැහැ. තනිවෙලා. ඒ වගේ හිටපු ළමයින්ට තමයි මම කවුන්සලින් කළේ,"’ තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ මට කිවුවේ, සුනාමියෙන් දස වසරකට පස්සේ බීබීසී සංදේශය වෙනුවෙන් මම කරපු වැඩසටහනකදී.
නොදැනුවත්කම නිසා ඒ වෙලාවේ මම ධම්මදීපනී භික්ෂුණිය හැඳින්නුවේ "දස සිල් මාතාවක්" කියල. (ඇත්තටම භික්ෂු නායකත්වය භික්ෂුණීන් වහන්සේලාට කරන අසාධාරණය ගැන මම මුලින්ම දැනගත්තේ ඒ වෙලාවේ)
තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ
සුනාමියෙන් පස්සේ කඳවුරු ගත කෙරුණු දරුවන් දහසකට ආසන්න පිරිසකගේ මනස් සුවපත් කිරීමේ වගකීම භාර ගත් තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණිය, මානසික උපදේශන ලබා දීමට කලින් ඔවුන්ට චිත්‍ර අඳින්න කියල ඒ හරහා ඔවුන්ගේ මනස තේරුම් ගත් ආකාරය මාත් එක්ක විස්තර කළා.
"චිත්‍රය හරහා ළමයා සමග සාකච්ඡා කරනවා. පුතේ මේ චිත්‍රය ඇන්දේ ඇයි ඔයා කියලා ඒ විදිහට දරුවා සමීප කරගෙන, දරුවට ආදරයෙන් කරුණාවෙන් කතා කරලා අහනකොට ඒ දරුවාගේ මනස ඇතුලේ තියන සියලු දේ එළියට ගන්න පුළුවන්."
මේ වෙලාවේ දිට්වා කුණාටුවෙන් අවතැන් වුණ, අනාථ වුණ, අසරණ වුණ දරුවන් වෙනුවෙනුත් බුදු දහමේත් අනෙකුත් ආගම්වලත් තියන මනස සන්සුන් කරන ක්‍රමවේද පදනම් කරගෙන වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්. ඒ වගේම දැනට ලංකාවේ ඉන්න සුළු පිරිසක් වන මානසික උපදේශකවරුනුත් මේකට සම්බන්ධ කරගන්න වෙනවා.

භික්ෂුණිය කියන විදියට සුනාමියේ ඇතිවූ පීඩාවටත්, බඩගින්නටත් කිසිම ජාතිභේදයක් තිබුණේ නැහැ. සිංහල, දෙමළ සහ මුස්ලිම් කියල කිසිම වෙනසක් නැතුව විපතට පත් දරුවෝ මේ කඳවුරුවල හිටිය.
"ද්‍රවිඩ අය, සිංහල අය, මුස්ලිම් අය. කිසිම භේදයක් තිබුණේ නැහැ. ඒ අය අපි ලඟට සමීප වුණා. අපිත් ඒ අයට සමීප උනා. අපේ කිසිම භේදයක් තිබුණේ නැහැ මේගොල්ලෝ මුස්ලිම්, මේගොල්ලෝ දෙමළ, කාටත් සමානව, කාටත් එක වගේම කවුන්සලින් කරන්න ලැබුණා.
"ඒ ගොල්ලෝ ඔක්කොම එකම බත් හැළියේ කවුරු හරි දෙන කෑම වේලනේ කන්නේ. ඒ ටික ඒ අයට පෙන්නලා දුන්නා. දැන් ඔක්කොම සමාන තත්වයකට වැටිලා කඳවුරුවල ජීවත් වෙන්න සිද්ධ වුණානේ. එතනදී ඒ අයගේ නෑනේ බඩගින්නට භේදයක්. ඒ අයට මතු කරලා පෙන්නුවම, අර සමගිය තවත් තහවුරු වුණා."

තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ කියන විදියටම, තවමත් ලංකාවේ සමාජය තුළ මතුවෙමින්, යට යමින් තියන (ඇත්තම කිවුවොත් දේශපාලන අරමුණු වෙනුවෙන් හිතාමතා උසිගන්වමින් තියන) ජාතිවාදය පිටුදැකීමට ළමා වියේ ඉඳලම ළමා මනස පුහුණු කිරීම වෙනුවෙන් ඒ අවස්තාව යොදාගන්නත්, කැමති නම්, ආණ්ඩුවට පුළුවන්.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 දෙසැම්බර් 02
සබැඳි ලිපිය :
සුනාමිය: 'බඩගින්නට ජාති, ආගම් භේදයක් නැහැ'




