එකම වෙනස 36 හැවිරිදි ශල්‍ය වෛද්‍ය ශේන්යා, පෙම්වතිය ගාල්යා එක්ක විවාහ ගිවිසගන්න නියමිතව තිබුණෙත් එදා රෑ මයි.
ඉතින් හොඳට නාල ඇවිත් ගාල්යා එක්ක රාත්‍රිය ගතකරන්න හිතාගෙන ශේන්යා යාලුවෝ එක්ක සවුනා එකට ගියා.
යාලුවෝ එක්ක හිටපු පව්ලික් (පාවෙල්) එදා රෑම ලෙනින්ග්‍රාද් ෆ්ලයි කරන්න ටිකට් එකත් අරගෙන තිබුණෙ.
ඒ වෙනකල් ශේන්යා ගාල්යා ගේ සම්බන්ධය යාළුවන්ට කියල තිබුණේ නෑ. නමුත් වැඩේ ආරංචි වුණාම අද නම් ඒ වෙනුවෙන් කොහොමටවත් අඩියක් නොගහ බැහැ කියල යාලුවෝ ටික බාන්යා එකේම අඩියකට සෙට් වුණා. යාලුවන්ගේ පෙරැත්තය නිසාම බැරිම තැන ශේන්යාත් වාෂ්ප නාන්න කලින් ඒකට සම්මාදම් වුණේ එකම එක ෂොට් එකක් විතරක් ගන්නම් කියාගෙන.
බොන අතරේ girlfriend ගේ නම මොකක්ද, හමුවුනේ කොහොමද, එයා කොයි පළාතේද වගේ යාලුවන්ගෙන් ප්‍රශ්න ගොඩයි. ඒ හැම ප්‍රශ්නෙකටම ලැබුන උත්තරෙන් පස්සේ අනිවාර්යයෙන්ම වීදුරුවක් පුරවල අමු, අමුවේ වොඩ්ක ෂොට් එකක්. මුලින් බොහොම අකමැත්තෙන් අඩියට සෙට් වුණ ශේන්යා අන්තිමේ බෝතල් දෙක තුනක් ඉවර කරනකල් සවුනා එකට ගියේ නෑ.
හොඳ පදමට වොඩ්කවලින් මත්වෙලා සවුන එකෙනුත් නාගෙන පව්ලික් ඇරලවන්න එයාර්පෝර්ට් යනකොට ශේන්යා ටයි, පව්ලික් ටයි දෙන්නටම කිසිම සිහියක් නෑ. එයාර්පෝට් ගිහිල්ලත් දෙන්නම පුටුවේ නිදි. අනිත් යාලුවෝ දෙන්න අවදියෙන් හිටියත් උන් දෙන්නටත් මෙලෝ සිහියක් නෑ. අපි හතර දෙනාගෙන් ලෙනින්ග්‍රාද් යන්නේ කවුද කියල උන් දෙන්න පුටුවකට බර වෙලා බර සාකච්ඡාවක.

අන්තිමට ලෙනින්ග්‍රාද් යන්නේ කවුද කියල යාලුවෝ දෙන්න තීරණය කරනවා. උන් දෙන්න පුටුව උඩ නිදාගෙන හිටපු ශේන්යා, පව්ලික් දෙන්නගෙන් සුදුසු කෙනා තෝරාගෙන කරගහගෙන ගිහින් ප්ලේන් එකට දානවා.
පැයකින් විතර බලනකොට ශේන්යා ලෙනින්ග්‍රාද් එයාර්පෝට් එකේ. අල්ලපු සීට් එකේ හිටපු කෙනා ශේන්යාව කුදලාගෙන ඇවිත් පුටුවක දාල, බෑග් එකත් මූණට විසි කරලා යන්න යනවා. තාමත් මධ්‍යම රාත්‍රිය පැය දෙක, තුනක් තියෙනව. ශේන්යා සවුනා එකේ නාන්න යන්න කලින් ගාල්යා ට ගෙදර යතුරත් දීල ආවේ. අලුත් මනමාලිය, ගාල්යා, මංගල රාත්‍රියට සූදානම් වෙනවා.
ශේන්යා ටිකක් ඩෝප් හිඳිලා අල්ලපු සීට් එකේ මනුස්සය එක්ක පොඩ්ඩක් කතාකරලා ස්ත්රයීතෙලෙයි වීථියේ අංක 25 නිවාසයේ සිව් වෙනි මහලේ 12 වෙනි මහල් නිවාසයට ටැක්සියක් ගන්නවා. කකුල් හතරෙන් ගෙදර යන ශේන්යා අතේ තිබුණ යතුරෙන් ෆ්ලැට් එකේ දොර අරගෙන ඇඳුම් ගලවල විසි කරලා දාල ඩෝප් මරගාතේ ඇඳට වැටෙනවා. ටික වෙලාවකින් නිවසේ හිමිකාරියත් ගෙදරට ඇතුළු වෙනවා.
ඇය - නාද්යා - මුලින්ම ඇඳේ ඉන්න ශේන්යා දකින්නේ නෑ. දැක්ක ගමන් ඇය පුදුම වෙනවා. මේ මිනිහ හොරකමේ ආව නම් මගේ ඇඳේ නිදාගෙන ඉන්නේ මොකටද? නාද්යා ඩෝප් මරගාතේ ඉන්න ශේන්යා එලවල දාන්න හදනවා.
ඒ අස්සේ ශේන්යා නාද්යව ගෙදරින් එලවන්න හදනවා. එතන එක ජංජාලයයි.

ශේන්යා හිතාගෙන ඉන්නේ පව්ලික්ව එයාර්පෝට් එකට ඇරලලා ගෙදර ආව කියල. මාව මගේ ගෙදරින් එලවල දාන්න උඹට පිස්සුද කියල ශේන්යා නාද්යා ගෙන් අහනවා.
බැරිම තැන වෙරි මරගාතේ මිනිහ නාද්යා ට පාස්පෝට් එක පෙන්නනව. (ඒ දවස්වල සෝවියට් දේශයේ පුරවැසියෝ වගේම විදේශිකයිනුත් තමන්ගේ ලිපිනය පොලිසියේ ලියාපදිංචි කරන්න ඕන. පොලිසිය ඒ ලිපිනය කියල පාස්පෝට් එකේ සීල එකක් ගහනව) එතකොට තමයි නාද්යාට වැඩේ තේරෙන්නේ.
ශේන්යා ගේ ඇඩ්‍රස් එක මොස්කව් නගරයේ ස්ත්රයීතෙලෙයි වීථියේ අංක 25 නිවාසයේ සිව් වෙනි මහලේ 12 වෙනි මහල් නිවාසය.
නාද්යා ගේ ලිපිනය ලෙනින්ග්‍රාද් නගරයේ ස්ත්රයීතෙලෙයි වීථියේ අංක 25 නිවාසයේ සිව් වෙනි මහලේ 12 වෙනි මහල් නිවාසය. එතකොට දොරේ යතුර?
ඒකෙත් කිසි වෙනසක් නෑ. රට පුරාම සමාන ඇඩ්‍රස් තියන හැම ගෙදරකම යතුරත් සමානයි!
ඒ අතරේ මොස්කව් වල ශේන්යා ගේ ගෙදරට ආපු ගාල්යා ශේන්යා එනතුරු පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්නවා.

ඉතින් ඊට පස්සේ?
ඉතිරි කොටස ප්‍රේමය, විරහව, කෝපය, සතුට සේරම මුසු වුණ දීර්ඝ ප්‍රේම කතාවක් ...
------------------
1976 දී මොස්ෆිල්ම් ආයතනය නිෂ්පාදනය කරපු පැය තුනකටත් වැඩි මේ ෆිල්ම් එක ඒ දවස්වල හැම අවුරුද්දෙම දෙසැම්බර් 31 වෙනිදා අපි අනිවාර්යයෙන්ම බලපු ෆිම්ල් එකක්. කොච්චර බැලුවත් ඒක එපාවෙන්නේ නෑ, ඒතරම් රසවත්.
රුසියානු භාෂාවෙන් මේ ෆිල්ම් එකට කිවුවේ "ස් ලොහ්කිම් පාරම්" (Enjoy Your Bath) කියල. The Irony of Fate කියල ඉංග්‍රීසියෙන් ඩබ් කරපු ඒ චිත්‍රපටය දැන් යූටියුබ් එකේ බලන්න පුළුවන්.
ඒ දවස්වල සෝවියට් පාලනයේ බොහෝ දේවල් රට ඇතුලේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න බැරි වුණත්, බ්‍රෙශ්නෙෆ් පාලනයේදී රට පුරා හැම නගරයකම එකම විදියට පෙට්ටි කඩ වගේ කිසිම ලස්සනක් නැති තට්ටු දහයේ, පහළොවේ තට්ටු නිවාස ඉදිකිරීම "ස් ලොහ්කිම් පාරම්" අධ්‍යක්ෂ Eldar Ryazanov සදය උපහාසයට ලක්කරනවා. ඒ වගේම එදා සෝවියට් සමාජය ගැන නොස්ටැල්ජියාවක් එක්ක අපූරු චිත්‍රයකුත් චිත්‍රපටයෙන් මතුකරනවා.
ලින්ක් එක කොමෙන්ටුවේ දාන්නම්. වෙලාවක් ලැබුනොත් ෆිල්ම් එක බලන්න.
මටත් වෙලාවක් ලැබෙන විදියට සෝවියට් ජීවිතේ ගැන මතක සටහන් ඉදිරියටත් ලියන්නම්.
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 දෙසැම්බර් 27




