එම වාර්තාවේ දැක්වෙන ආකාරයට, යුද බිමේ සිට පැමිණෙන සෙබළුන් වීරයින් ලෙසින් පිළිගන්නා බවට ජනාධිපති ව්ලදිමීර් පූතින් ප්‍රතිඥා දී තිබුණ ද, සමහර අවස්ථාවල රුසියානු නිලධාරීන් ඔවුන්ට ලැබෙන වන්දි මුදල්වලටත් වංචා කොට ඇති අතර, ඇතැම් අවස්ථාවල නිලධාරීන්ට අල්ලස් දීමට පවා සෙබළුන්ට සිදු වී තිබෙනවා.
2022 පෙබරවාරි මාසයේ යුක්රේන ආක්‍රමණය ආරම්භ වූ පසු, ජනාධිපති පූතින් රුසියානු හමුදාවේ ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කළේ, ඉහළ වැටුප් සහ දීමනා ලබා දෙමින් ස්වෙච්ඡා සේවකයන් ආකර්ෂණය කරගනිමින්.

අලුතින් බඳවා ගැනෙන සෙබලෙකුට පළමු වසරේදී රුසියානු රුබල් මිලියන 5.2 (ඉංග්‍රීසි පවුම් 47,000) දක්වා වූ වැටුපක් හිමිවේ. තවද තුවාල වූයේ නම් හා රූබල් මිලියන 4 දක්වා දීමනා ලැබිය හැකිය.
මෙය රුසියානුවෙකුගේ සාමාන්‍ය වැටුපෙන් 600%ක් පමණ දක්වා විය හැකිය.
මොස්කව් අගනුවර ගුවන් තොටුපොළේ සේවය කරන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්, යුද පෙරමුණේ සිට පැමිණෙන සෙබළුන් ගැන ටැක්සි රියදුරන්ට ඔත්තු සපයා ඇති බව වාර්තාවේ දැක්වෙනවා. එසේ ඔත්තුව ලබන ටැක්සි රියදුරන්, සොල්දාදුවන් රථයට ගොඩවන විට සාමාන්‍ය ගාස්තුවක් කියා, රථයෙන් බසින විට එමෙන් 15 ගුණයක පමණ මුදලක් ඉල්ලා සිටිනවා.
සොල්දාදුවා විරෝධය පළ කළ හොත්, දඩුවම ඉතා දරුණු විය හැකියි; ඔවුන් සිහි සුන් කර රියදුරන් ඔවුන්ගේ බැංකු කාඩ්පත්වලින් මුදල් ලබාගත් අවස්ථා වාර්තා වී තිබෙන බව බීබීසී පවසනවා.
ඇතැම් අවස්ථාවල සොල්දාදුවා සිය වැටුප දකින්නටත් පෙරම එය කොල්ල කාලා! සොල්දාදුවන්ගෙන් රූබල් මිලියන 11කට වැඩි මුදලක් කොල්ල කෑ රැකියා ඒජන්සියක නියෝජිතයින් තිදෙනෙක් පසුගිය ඔක්තෝබර් මාසයේ පොලිස් අත්අඩංගුවට පත්වුණා.
ඔවුන් මේ වංචාව කොට තිබුණේ සොල්දාදුවන්ගේ සිම් කාඩ්පත් තමන් ළඟ තබාගනිමින්. රුසියාවේ බැංකු ක්‍රමය අනුව, සිම් කාඩ්පත බැංකු ගිණුම හා සෘජුව සම්බන්ධයි.
මේ අතර, අලුතෙන් බැඳෙන සොල්දාදුවන්ගේ බැංකු ගිණුම් සිය දුරකතන අංකයට සම්බන්ධ කොට රූබල් මිලියනයකට ආසන්න මුදලක් සොරා ගැනීම ගැන බෙල්ගෝරද් නගරයේ නිලධාරියෙකුට චෝදනා එල්ල වුණා.
ඇතැම් අවස්ථාවල සොල්දාදුවන්ගේ පඩි පතට තට්ටුකොට තිබෙන්නේ ඔවුන්ගේ අණ දෙන නිලධාරීන් මයි.

සිය කණ්ඩායමට කඩ පිලට යාම තහනම් කොට ඔවුන් සියලු දෙනාගේ බැංකු කාඩ්පත සහ PIN අංකය සාජන් මේජර්වරයෙකුට භාර දෙන මෙන් නියෝග කෙරුණ බව හමුදා නිලධාරියෙක් බීබීසී යට කියා සිටියා.
දෙදහසකට ආසන්න ශ්‍රී ලාංකික සොල්දාදුවන් ද යුක්‍රේනයට විරුද්ධව සටන් කිරීම සඳහා රුසියානු හමුදාවට බැඳී ඇති බව විශ්වාස කෙරෙනවා. ඔවුන්ගෙන් සිය ගණනක් මියගොස් ඇතැයි සැලකෙන අතර මේ සෙබල පවුල් මුහුණදෙන ඉරණම ගැන "සංදේශය" නාලිකාව දිගටම වාර්තාකරණයක යෙදුණා.
ශ්‍රී ලාංකික සෙබලෙකුගේ වැටුපෙන් රූබල් ලක්ෂ 37ක් වංචා කළ බව පැවසෙන රුසියානු හමුදා නිලධාරියෙක් ගැන "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව මෑතදී වාර්තා කළා.
චාබෝස් නමින් හැඳින්වෙන මේ නිලධාරියා මීට කලින් මා සමග අදහස් හුවමාරු කරගත්තත්, දැන් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ නැහැ. වැටුප පවා අහිමි කෙරුණු ශ්‍රී ලාංකික හමුදා සෙබලාත් දැන් මාසයක සිට අතුරුදහන්ව සිටිනවා.
රුසියානු හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකික සෙබළුන්ගේ පඩි පත සහ වන්දි මුදල්වලට තට්ටු කළ ශ්‍රී ලාංකික සෙබළුන් ගැනත් සංදේශය මීට කලින් වාර්තා කළා.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(බීබීසී ඇසුරෙනි)




