විශේෂයෙන්ම පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේ සංචාරක කර්මාන්තයෙන් ලැබුණු විදේශ විනිමය ආදායම 8.2%කින් පහළ ගොස් තිබෙනවා.
නිල දත්ත අනුව, මේ වසරේ අගෝස්තු මාසයේ විදේශීය සංචාරකයින් 198,235 ක් දිවයිනට පැමිණ තිබෙන අතර, එය 2024 අගෝස්තු මාසයට සාපේක්ෂව 20.4%කින් ඉහළ යාමක්.
මේ වසරේ ජුලි මාසයේත් පසුගිය වසරේ ජුලි මාසයට සාපේක්ෂව සංචාරකයින්ගේ පැමිණීම 6.6%කින් වැඩි වී තිබුණා. එහෙත් ඒ මාස දෙකේදීම සංචාරක කර්මාන්තයෙන් ලැබුණු විදේශ විනිමය ආදායම පිළිවෙලින් 8.2%ක් සහ 3%කින් අඩු වී තිබෙනවා.
සංචාරක කර්මාන්තය ලංකාවට විදේශ විනිමය උපයා දෙන එක් ප්‍රධාන මාර්ගයක් වන අතර, වත්මන් ආණ්ඩුවත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව නොරහසක්. ඒ අරමුණින්, වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණිය හැකි රටවල් ලැයිස්තුවට තවත් රටවල් 33ක් එකතුකරන බව පසුගිය ජුලි මාසයේ සංචාරක අමාත්‍ය විජිත හේරත් නිවේදනය කළා.
ගාසා තීරයේ කුරිරු ජනසංහාරයක් කරමින් සිටින ඊශ්‍රායලයත් එම ලැයිස්තුවට ඇතුළත් කිරීම ගැන බොහෝ දෙනා දැඩි විරෝධය පළ කළත් ආණ්ඩුව එම තීරණය වෙනස් කළ බවක් තවමත් දැනගන්නට නැහැ. කොහොම වුණත් ආණ්ඩුව ඒ රටවලට නොමිලේ වීසා ලබාදීමේ වැඩපිළිවෙළ තවමත් ආරම්භ කරලත් නැහැ.
රටවල් ගණනකට නොමිලේ වීසා ලබාදෙන බව නිවේදනය කරලා, ඒක ක්‍රියාත්මක කරන්න මාස ගාණක් බලා සිටීම කර්මාන්තය පැත්තෙන් ගත්තම කොහොමටවත් යහපත් තත්වයක් නෙවෙයි කියල තමයි ක්ෂේත්‍රයේ නියුතු අය කියන්නේ.
මේ විදියට ආදායම බිඳ වැටීමට ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපයත් එක හේතුවක් වෙන්න පුළුවන්.
ආණ්ඩුව සැලසුම් කළේ මේ වසරේ ලංකාවට ඒවි කියල බලාපොරොත්තු වුණ විදේශීය සංචාරකයින් ලක්ෂ තිහකගෙන් ඩොලර් බිලියන 5ක ආදයමක ලැබේවි කියල. ඒත් ජුලි සහ අගෝස්තු මාසවල දකින්න ලැබුණ ප්‍රවනතාව එක්ක ඒ ආදායම ලබාගන්න හැකිවේවිද කියන එක දැන් සැක සහිතයි. කොහොම වුණත් ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා විදේශ විනිමය ආදායමේ එකතුව ගත්තම, 2024 ඒ කාලසීමාවට වඩා 5.7%ක වර්ධනයක තියන බවත් Travel and Tour World වෙබ් අඩවිය පෙන්නලා දෙනවා. ඒ නිසා ඉක්මන් පියවර ගත්තොත් ජුලි සහ අගෝස්තු මාසවල ආදායමේ බිඳ වැටීම වලක්වා ගන්න හැකියාව තියනවා.
ලෝක ආර්ථික ප්‍රවණතා, සංචාරකයින්ගේ තෝරා ගැනීම් වෙනස්වීම සහ රටක දේශපාලන වාතාවරණය වගේ ගොඩක් කරුණු සංචාරක කර්මාන්තයට බලපාන බවත් ඇත්ත. නමුත් කර්මාන්තයට පහසුකම් සලසනව වගේම ක්ෂේත්‍රයට සවන්දෙමින් කර්මාන්තය ප්‍රවර්ධනයට කටයුතු කරන්න ආණ්ඩුවටත් ලොකු වගකීමක් තියෙනව.
හැම ආණ්ඩුවක් වගේම ජාජබ ආණ්ඩුවත් කර්මාන්තයේ ප්‍රවර්ධනයට ලොකු උනන්දුවක් දැක්වුවත් සමහර බරපතල දේවල් ආණ්ඩුව නොදැක්කා සේ සිටීමත් මේ බිඳ වැටීමට හේතුවක් කියල තමයි සංචාරක කර්මාන්තයේ නිරත ශ්‍රී ලාංකිකයින් කියන්නේ.
නීති විරෝධීව ලංකාවේ ඉඳගෙන ව්‍යාපාර කරන රුසියානු සංචාරකයින් tourism sector එකේ ඉන්න අය මතුකරන එක ප්‍රධාන ප්‍රශ්නයක්. ප්‍රශ්නය රුසියානුවන් ව්‍යාපාර කිරීම නෙවෙයි - ඒ ව්‍යාපාරවලින් ලංකාවට කිසිම ආදයමක් නොලැබීම. මට දැනගන්න ලැබුණ විදියට මේ බොහෝ දෙනා රටේ රැඳිල ඉන්නේ වීසා බලපත්‍රයවත් extend කරගෙන නෙවෙයි. ඒ නිසා කී දෙනෙක් ඉන්නවද, කරන්නේ මොනවාද කියල කිසිම විදියකට නිල දත්ත නැහැ.
අනික සංචාරකයින්ට ලංකාවේ රැකියාවක් කරන්න බැහැ. එහෙම නීති විරෝධීව කරන රැකියාවකින් ලංකාවට කිසිම ආදයමක් ලැබෙන්නෙත් නැහැ. ඇත්තෙන්ම ආණ්ඩුව මේ ගැන නොදැක්කා සේ සිටීම බරපතල ප්‍රශ්නයක්. මට දැනගන්න ලැබිල තියන විදියට මේ බොහෝ රුසියානුවන් ඔවුන්ගේ ගණුදෙණු කරන්නෙ ක්‍රිප්ටෝ කරන්සි වලින්. ලංකාවේ ක්‍රිප්ටෝ කරන්සි නියාමන ක්‍රමවේදයක් නැහැ.
රුසියානුවන් තරම් පිරිසක් නොවුණත් ලංකාවට ඇවිත් ඉන්න ඊශ්‍රායල ජාතිකයින් හැසිරෙන්නෙත් රුසියානුවන් විදියටමයි. නීති විරෝධීව ලංකාවේ ඉන්න ගමන් පලස්තීන මිනිස්සු වෙනුවෙන් කතාකරන අයට පහරදෙන්න තරම් සමහර ඊශ්‍රායල ජාතිකයින්ට හයියක් ලැබිල තියෙනව. ඒ වගේම ඊශ්‍රායලයේ සමහර යුද අපරාධකරුවන් ලංකාවට ඇවිත් හැංගිලා ඉන්න බවටත් චෝදනා තියෙනව. මේ ගැන මාධ්‍යවේදීන් පිරිසක් ගිහින් කරුණු කීවම ආණ්ඩුවේ බලධාරියෙක් කියල තිබුණෙ "අපිට ඒකට කරන්න දෙයක් නෑ, අපිට දැන් ඩොලර් ඕනේ," කියල. ඔලු ගෙඩි වැඩි වුණා කියල ඩොලර් වැඩිවෙලා නැති බව දැන් නිල දත්තවලම පේන්න තියන දෙයක්. අනික ඩොලර් අරගෙන ආවත් ඕන කෙනෙකුට ඒ විදියට රටේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන්ද?
රටේ ආර්ථික වර්ධනය වෙනුවෙන් - ඩොලර් වෙනුවෙන් - සංචාරක කර්මාන්තය තවත් ප්‍රවර්ධනය කළ යුතු බව ඇත්ත. ඒත් රටට ආදායමක් ලැබෙන කියල අපි ඒ වෙනුවෙන් රටේ නීතිය, සංස්කෘතිය හර පද්ධති සියල්ල සම්පූර්ණයෙන් නොසලකා හැරිය යුතුද? අනික් අතට, එහෙම කළා කියල ඇත්තටම ආර්ථිකයට සහනයක් ලැබෙනවද?
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 සැප්තැම්බර් 18
සබැඳි ලිපියක් :
සංචාරකයින්ගේ පැමිණීම වැඩි වුණත් 'ලැබෙන ආදායම පහත වැටී ඇත්තේ' ඇයි?




