The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

"ත්‍රස්තවාදී" කැරලිකරුවෝ රහසිගත හමුවක | Saroj Pathirana

T

The Leader Desk

September 23, 2025 • 4:18 PM

"ත්‍රස්තවාදී" කැරලිකරුවෝ රහසිගත හමුවක | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය අගෝස්තු මාසේ දවසක මාලඹේ සමිති ශාලාවකට බොහොම රහසිගතව පිරිසක් රැස්වෙලා හිටිය.
  • වසන්ත දිසානායක, සුනන්ද දේශප්‍රිය, පැට්‍රික් ප්‍රනාන්දු, හේමමාලි විජේසිංහ, විමල් ප්‍රනාන්දු වගේ 71 කැරැල්ලේ නායක, නායිකාවෝ මතකය අවදි කළා.
  • 71 කැරැල්ලේදී යාපනේ හිරගෙදර හිටපු රෝහණ විජේවීර බේරගන්න හිරගෙදරට පැන්න කණ්ඩායම් නායකය ගැන.
  • 71 කැරැල්ලේ නායකයෙක් වෙලත්, ජවිපෙ දෙවෙනි කැරැල්ල වෙලාවේ ජවිපෙ භීෂණයෙන් පණ බේරාගන්න බර්ටි රංජිත් ට ලංකාවෙන් පැනල යන්න සිදුවුණ හැටි ගැන.
අකුරු ප්‍රමාණය (Font Size):

පිරිස අතරේ හිටපු වැඩි දෙනෙක් "ත්‍රස්තවාදීයෝ." නැත්නම් තවත් සමහරු කියන විදියට කැරලිකාරයෝ. මේ අතරින් වැඩි දෙනෙකුට ඒ කාලේ නම් මිනිස්සු කිවුවේ "චේ ගුවේර කාරයෝ" කියල.

කණ්ඩායමේ නායකයා මේ හමුව සංවිධානය කරලා තිබුණෙ චේ ගුවේර තාලේ වැඩකටම තමයි.

දන්න අඳුරන "ත්‍රස්තවාදීන්ට" හොර රහසේ කෝල් කරලා එන්න කිවුව මිසක් මේ වැඩේ ගැන ප්‍රසිද්ධියේ කිසිම ප්‍රචාරයක් දීල තිබුණෙත් නෑ. වැඩි ආරක්ෂාවට ආරාධිතයින්ට කෝල් කරලා තිබුණෙත් whatsapp එකෙන්.

රැහේ නායකයා හිර ගෙවල් කඩාගෙන ගිහින්, කැලේ පැනල විප්ලව කරලා හොඳට පුරුදු හැට පැන්නත් තාමත් බිමින් නොයන "ත්‍රස්තවාදියෙක්".

රහසිගතව සංවිධානය කළත් අන්තිමට සියයකට වැඩි පිරිසක් ඒ ශාලාවට එකතුවෙලා හිටිය.

වැඩේ පටන්ගන්නකොට කැරලි නායකයෝ ගණනාවක් සමුළු ශාලාවේ.

හැමෝම හිටියේ තුෂ්නිම්භූත වෙලා - මොකක්ද මේ වෙන්න යන්නේ කියල හිතාගන්න බැරුව. ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන්නත් යන වෙලාවේ අලුත් කැරැල්ලක් ගහන්න යනවද දන්නෙත් නෑනේ.

ඒත් වැඩේ පටන් ගත්තේ ගුණදාස කපුගේ ගේ සිංදුවකින්.

" නින්ද නැති රැයේ ..."

xcfye56546
ගායක කණ්ඩායම අපේ මිත්‍ර මොළ සෙනෙවිරත්නගේ මිතුරන් පිරිසක්.

රැහේ නායකයත් සින්දුවට අත්වැල් ඇල්ලුවා.

මාස ගණන් කැලේ පැනල, එකට හිරගෙවල්වල ලැගල, එකට හිරගෙවල් කඩාගෙනත් පැනල හොඳින්ම දැනගෙන හිටපු රැහේ නායකයා දක්ෂ ගායකයෙක් කියල සමහර "ත්‍රස්තවාදියෝ" දැනගත්තෙත් ඒ වෙලාවේ.

අන්තිමට මේ රහසිගත හමුව සොඳුරු සැන්දෑවකට පරිවර්තනය වුණා.

සාම්ප්‍රදායික book launch එකක් වෙනුවට ඒක 71 කැරැල්ලේ නායකයින් පිරිසක්, ඔවුන්ගේ සමීප සගයින්, ඒ නායකයින්ගේ වර්තමාන පරම්පරාව, ඥාතීන් සහ මානව ප්‍රේමය වෙනුවෙන් කැපවුණ මිනිසුන් පිරිසකගේ ආගිය කතා සහ සංගීතයෙන්, මධුවිතෙන් වගේම රස ආහාර වේලකිනුත් පිරුණ ලස්සන සවසක් බවට පත්වුණා.

වසන්ත දිසානායක, සුනන්ද දේශප්‍රිය, පැට්‍රික් ප්‍රනාන්දු, හේමමාලි විජේසිංහ, විමල් ප්‍රනාන්දු වගේ 71 කැරැල්ලේ නායක, නායිකාවෝ මතකය අවදි කළා.  

xfrtye5656
කැරැල්ලේ අත්දැකීම් ගැන වගේම ඔවුන් කතා කළේ රැහේ නායකයා ගැන.

බර්ටි රංජිත් හෙවත් රංජිත් හේනායක ආරච්චි හෙවත් රංජිත් ලොහ්බිලර් ගැන. 71 කැරැල්ලේදී යාපනේ හිරගෙදර හිටපු රෝහණ විජේවීර බේරගන්න හිරගෙදරට පැන්න කණ්ඩායම් නායකය ගැන. 71 කැරැල්ලේ නායකයෙක් වෙලත්, ජවිපෙ දෙවෙනි කැරැල්ල වෙලාවේ ජවිපෙ භීෂණයෙන් පණ බේරාගන්න බර්ටි රංජිත් ට ලංකාවෙන් පැනල යන්න සිදුවුණ හැටි ගැන.

745kfjg
සුහද හමුවේ අරමුණ රංජිත් හේනායක ආරච්චි ගේ අලුත්ම පොත "ඊසා අසබඩ" එළිදැක්වීම වුණත් ඒ කවුරුවත් පොත ගැන කථා කළේ නෑ. ඒත් ඔවුන් කියපු බොහෝ දේවල් කැරලි නායකයා ඊසා නදිය අසබඩ ඉඳගෙන පොතේ සටහන් කරල තිබුණ.

චූලානන්ද සමරනායක, සන්ධ්‍යා එක්නැලිගොඩ, සුසිල් හේනායක ආරච්චි, ජයම්පති බුලත්සිංහල, එස් සිවගුරුනාදන්, නිමන්ති හේනායක ආරච්චි, බ්‍රිටෝ ප්‍රනාන්දු, ජයනි අබේසේකර, සුධීරා හේනායක ආරච්චි කැරලි නායකයා ගැනත්, දේශපාලනය ගැනත් කතා කළා.

රුවන්දි සිල්වා සහ තුෂාරි සිල්වා කියන්නේ බර්ටි රංජිත් ට ජීවිතය බේරාගෙන රටින් පැනල යන්න අවශ්‍ය සියලු දේ සංවිධානය කරපු ඔහුගේ සමීපම සගයා -  නන්දසේන සිල්වා - ගේ දියණියන් දෙදෙනා. රුවන්දිත්, තුෂාරිගේ දියණිය කමීෂා කුමාරසිංහත් සංවාදයට එකතු වුණා. (රුවී ගේ කතාව පහත සටහන් කරන්නම්).

පොතක් ගැන කතා කරන්න ආපු අපි, ලංකාවේ එදා, අද දේශපාලනයත්, ලංකාවේදී වගේම ජර්මනිය ඇතුළු ජාත්‍යන්තර තලයේ රංජිත් හේනායක ආරච්චිගේ දේශපාලන භූමිකාවත්, රංජිත් කියන සැබෑ මිනිසා ගැනත් සුහද කතාබහක යෙදුණ.

ඔහුගේ ජාත්‍යන්තර දේශපාලන භූමිකාව ගැන වගේම විප්‍රවාසී දිවියේ ශ්‍රී ලංකා පරිච්ඡේද ගැනත් රංජිත් ගේ බිරිඳ, බාර්බරා (බබ්සි) ලොහ්බිලර්, අපූරු මතක සටහනක් තැබුවා.

"ඊසා අසබඩ" 71 කැරැල්ලේ නායකයෙකුගේ අත්දැකීම් ඇසුරෙන් ලියැවුණ ග්‍රන්ථ මාලාවක කතුවරයා වන රංජිත් හේනායක ආරච්චි ඒ සම්බන්ධයෙන් ලියූ අවසාන ග්‍රන්ථයයි. Grantha.lk සමාගම එය බෙදා හරින නියෝජිතයායි.  

කැමරාව කනිෂ්ක කුමාරසිංහ ගේ.  

(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

fthr567457

සුහද හමුවේදී රුවන්දි සිල්වා සිය මාමා ගැන තැබූ හැඟීම්බර සටහන:

''මාමාගේ පොතෙ මට වැඩියෙන්ම දැනෙන තැන ගැන අද ඔයාලා එක්ක කියන්න කියලායි මට යෝජනා කෙරුණේ. මම මේ පොත පිටවෙන්න කලින් කියවලා තිබුණාත්, මට දැනෙන තැන් ගොඩක් තිබුණත් මම තෝරාගත්තෙ මගේ තාත්තාව මරා දැමූ බව දැනගත්තාම මාමා ලන්කාවට එන්න හදන තැන. එතන දි මම දන්නවා ඒවා වචන විතරක් නෙවෙයි, ඇත්තටම මාමා ඒ අවදානම අරගෙන එන්න කල්පනා කළ මොහොතක් කියලා. මට තාත්තා නැති වෙච්ච වේදනාව හැමදාම තියෙන දෙයක්. හැබැයි එදා මාමා ජීවිතේ එහෙම තිරණයක් නොගත් එක ගැන මම අදටත් සතුටුයි.

මාමාගේ දෙශපාලන ජීවිතය කතා මම ගොඩක් අහලා තියෙනවා. අද තියෙන්නේ මාමාගේ ජීවිතේ ලස්සන දවසක්. හැමෝම ඔහුව තම තමන්ට දැනෙන තැන කතා කරද්දී මට නොකියාම ඉන්න බැරි කතාවක් තියෙනවා.

මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා අපේ තාත්තාව මරා දමපු මොහොතේ අපෙ ජීවිත ආරක්ෂා කරපු අය. විශෙෂයෙන් පුෂ්ප ඇන්ටි, මානෙල් අන්කල්, මැණික් ඇන්ටි. අපිව මේ ආයතනයට ගේන්නේ ඒ අයයි. ඒ නිසා අද දවස මට වෙනස් හැඟීම් ගෙනෙන දවසක්. තාත්තාගෙන් තොර ලෝකයක් ගැන නොදැන සිටි අපිව ඒ මොහොතේ බලාගත්, ආදරය දුන් හැමොමටම ස්තුතියි.

මාමා ගැන කතා කරද්දී බබෂි ඇන්ටිව අමතක කරලා කතා කරන්න බෑ. එයාලා දෙන්නා නිසා තමයි අද අපි දෙන්නා - මගේ අක්කාත් මමත් - හිටගෙන ඉන්න. ඒ හයිය ලැබෙන්න මාමාගෙන් සහ බබ්ෂි ඇන්ටිගෙන්.

 ජීවිතයේ හැල හැප්පිම් මැද්දෙ ආවෙ අපි ලෙහෙසි ගමනක් නෙමෙයි. හැබැයි මාමා ගෙන් බබෂි ඇන්ටිගෙන් ඒ ලැබුණ ආදරය ශක්තිය අපිව හැමදාම ජීවත් වෙන්න හයිය දුන්නා. ඒක සමහර වෙලාවට කොයිතරම් විශාලද කියලා මාමා හෝ බබ්ෂි ඇන්ටි දන්නෙ නැතිව ඇති.

අද ලංකාවෙන් ඈත්වෙලා මම ජර්මනියේ ජීවත් වුණත්, එදා ඒ ලැබුණ හයිය තමයි හැමදාම වගේ වැටෙන හැම වෙලාවෙම මාව උසවා තියෙන්නේ.

ජීවිතෙ විවිධ විදියට ලැබෙන අමාරු වෙලාවෙදි ... මාමා මට හැමදාම හයියට ඉන්න කෙනෙක්...අද ඒ දෙන්නා  ආදරණීය සීයා කෙනෙක් සහ ආච්චි කෙනෙක්. මගේ  දුව සඳලීව යහපත් දරුවෙක් විදියට හදාගන්න ලැබෙන ඒ හයිය ඇත්තටම මට සතුටක් වගේම ශක්තියක්.

 මම ලංකාවේ ඉන්න කාලෙ වගේම ජර්මනියේ ඉන්න කොටත් මගේ ජීවිතය වන විවිධ හැලහැප්පීම් එක්ක, මගේ හිතුවක්කාරකම් දරාගෙන අත්නොහරින ඒ ආදරය මට සතුටක් හයියක් වුණාට, සමහර වෙලාවට මම තවමත් මාමාගෙන් අහනවා, "ඔයා අපිව භාර අරගෙන හරියට තාමත් බර බිම තියන්න බැරි එක වදයක් නෙමෙයි ද" කියලා.

මට  ලංකාව ඇතුලෙත් ඊට පස්සේ ජර්මනියේ ගතකරන ජීවිතය ඇතුලෙත් මුහුණ දෙන සියලු දේවල්වලට කෙලින් ඉන්න හයිය ලැබුණු ඒ ආදරය රැකවරණය නිසා. මම හැමදාම ආපහු හැරිලා බලද්දී ඒ දෙන්නා අපි ගැන තියෙන ආදරය නොවෙනස්ව තියෙනවා කියලා දැනෙන හැඟීම මාව හැමදාම ජීවත් කරනවා. පෙරළා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී,  ලබාදෙන මනුෂ්‍ය  ආදරය දර්ලභ ලෝකයක  ඒ හැඟීම  අදටත් අපිට දෙනවාට බොහෝ ම ස්තූතිය. ඒ ආදරයට අපි කොයිතරම් කෘතවේදීද කියන එක මේ හැමොම ඉදිරියෙදි අද වගේ දවසක මගේ මාමාටත්, බබ්සි ඇන්ටිටත් කියන්න මම කැමතියි.

මාමා කියලා කතාකළාට ඇත්තටම එයා වෙලාවකට මගෙම තාත්තා; මගේ අම්මා; මගේ හොඳම යහලුවා. ඒ නිසාම ජීවිතේ හැම තීරණයක්ම එයා එක්ක අද වෙනකම් මම කතා කරනවා. කතා කරලා එයා කියන දෙ අහගෙන ඉඳලා, මට ඕන දේ කරලා බැණුම් අහන අවස්ථා තමයි වැඩිපුර තියෙන්නෙත්. නමුත්  මට  දෙමව්පියන් නැති තැනක ඒ ලැබෙන ආදරය ආරක්ෂාව මම අද වැඩිහිටි ගැහැනු කෙනෙක් වෙලාත් ජීවත් වෙන්න හයියක් වෙනවා. ඇත්තටම අපෙ ජීවිත මාමා නොහිටියා නම් මීට වඩා කොයිතරම්  වෙනස් වෙන්න තිබුණද කියන එක ගැන මම හිතන්නත් බයයි.

අපි දෙන්නා අතර ගැටුම් නැතිවමත් නෙමෙයි. විශේෂයෙන්ම පහුගිය කාලෙ දෙශපාලන වෙනස්ම්වී එක්ක මාලිමාව වෙනුවෙන් මාමා කතා කරද්දී අපි අතර නිතර වාද විවාද යනවා. ඒත් අපි හැමෝමටම දෙශපාලන මතයකට අයිතියක් තියෙනවා කියන එක මාමා පිළිගන්න දෙයක්.

ජීවිතයෙදිත්, දේශපාලනයෙදිත් තරහක් නැතිව ජීවත් වෙන්න කියලා දුන්නෙත් මාමා. මගේ අම්මා එක්ක මම සැහෙන්න කාලයක් කතා නොකර හිටිය කෙනෙක්, හැබැයි ඒ ජීවිත ගැන, සම්බන්ධතා ගැන වෙනස් විදියකට බලන්න, හිතන්න මට කියලා දුන්නේ මාමා. ජීවිතේ වෙනස් විදිහට හිතන්න, ජීවිතේ වෙනස් විදිහට දකින්න වගේම, ඇත්තටම ශක්තිමත්, නිදහස් ගැහැනු කෙනෙක් විදියට ජීවිතය භාරගන්න, ලෝකය දකින්න මට හැමදාම කියලා දුන්නෙත්, කියලා දෙන්නෙත් මාමා.

අද මටත්, සඳලිට වගේම අක්කාටත් දැනෙන සුරක්ෂිතකම අපිට නිර්මාණය කරලා දුන්නෙ මාමා. තාත්තාත්, අම්මාත් අහිමි වුණ ලෝකෙක ලේ නෑකම්වලින් එහා ගිය මනුෂ්‍ය පවුලක් අපිට හදලා දූන්නෙ මාමා. මාමාගෙ පවුලේ අය අපේ පවුලයි කියලා මට හැමදාම දැනෙන්නෙ ඒ නිසායි.

ලෝකයට ඇත්තටම අවශ්‍ය මාමා වගේ මිනිස්සුයි. මට මගේ ජීවිතේ හමුවුණ, අත්දුටු  එහෙම මිනිස්සුන් හරීම අඩුයි. ඒ නිසා මාමා අයිතිවෙන්නෙ දුර්ලභ මිනිස්සුන්ගෙ කුලකයකට.  තමන්ගේ ජීවිතය පරදුවට තියලා වෙනස් ලෝකයක් වෙනුවෙන් කැපවුණ, කොන්දේසි විරහිතව, නිර්ලෝභීව ලෝකයට ආදරය කරන මනුෂ්‍යයන් වර්ගයක් අපි අතරම ඉන්න එක ගැන මට විශ්වාසයක් ඇතිකළේ මාමාගේ ජීවිතයයි.

අපේ තාත්තා එක්ක තිබුණ ගැඹුරු යාලුකම වෙනුවෙන් පෙරළා කිසිදෙයක් බලාපොරොත්තු නොවී නන්දේගේ දරු දෙන්නාගේ බර තමන්ගෙ දෙවුර උඩට ගන්න මාමාට පුළුවන් වුණේ ඒ නිසායි. මම හිතන්නේ ගැඹුරුම මනුෂ්‍ය ආදරය තියෙන්නෙ මාමා වගේ මිනිස්සුන්ගේ හදවත් ඇතුළෙයි. කියන්නේ ඒකට. ම
මේ පොතෙ තියෙන්නෙ කතාවක් ලියන්න තරම් ජීවිතයක් තිබුණ පූර්ණ මනුෂ්‍යයෙකුගේ කතාවක්. ඒ ජීවිත කතාව ෆේස්බුක්වල ලියන්න හදාගත්ත ප්‍රබන්ධ ජීවිතයක් ගැන නෙවෙයි. ජය - පරාජයන්, දුක් - සොම්නස් සමව දරාගෙන පූර්ණ වශයෙන්ම ජීවත්වුණ, පරිපූර්ණ පෘතග්ජන මනුෂ්‍යයකුගේ ජීවිතය ගැන ඇත්ත කතාවක්.

අද වෙද්දී අක්කා මමත් දරු මල්ලො ඉන්න පරිණත ගැහැණුන් වුණත් මාමාගේ හෙවනැල්ල අපිව අදටත් ආරක්ෂා කරනවා.

මම අද වෙද්දී ගැඹුරින් ජීවිතය සහ ලෝකය ගැන හිතන්න - බලන්න පුලුවන් ගැහැනියක් වුනේ තාත්තගේ ජානත් - මමාගේ අභාෂයත් නිසා.

නමුත් මගේ විශාලම සතුට මේ කිසිම දෙයක් නෙවෙයි. මට විශාලම සතුට තියෙන හොඳම දෙය මගේ දුවට ලෝකයේ ඉන්න හොදම සීයා ලැබිලා තිබීමයි.

අවසාන වශයෙන් මම මෙහෙම කියලා නවතින්න ඕන. මම මේ කියපු හැමදේම පිටුපස්සේ මගේ ආදරණීය බබෂි ඇන්ටි ඉන්නවා. ස්වාධීනව, නිදහස්ව හිතන්න, ශක්තිමත්ව ජීවත්වෙන්න බබ්ෂි ඇන්ටිගෙන් ඉගෙනගත් තරම් මම කාගෙන්වත් ඉගෙනගෙන නැහැ. කන-බොන, අඳින-පළඳින වෙනස්කම් නොතකා වැළඳගත යුතු මනුෂ්‍ය සංස්කෘතියක් ලෝකයෙ තියෙන බව මට තමන්ගෙ ජීවිතයෙන්ම කියා දුන්නෙ බබ්ෂි ඇන්ටියි. මාමාට බොහෝ දේ කරන්න අවශ්‍ය ශක්තියත්, ආදරයත් අදටත් දෙන්නෙ බබ්ෂි ඇන්ටියි.

මාමාටත් බබ්ෂි ඇන්ටිටත් තව චිරාත් කාලයක් ජීවිතය විඳිමින් අපිටත් කියාදෙන්න පුළුවන් වෙලා, ඉක්මනින් වයසට නොයා ඉන්න නිදුක් නිරෝගී සම්පත්තියත්, ශක්තියත් මම ප්‍රාර්ථනා කරනවා.''

(උපුටා ගැනීම - Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 සැප්තැම්බර් 22

dty5t6745

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

"ත්‍රස්තවාදී" කැරලිකරුවෝ රහසිගත හමුවක | Saroj Pathirana | The Leader