යුක්රේන ආක්‍රමණය : රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල 10 කින් ලංකාණ්ඩුවට ඉල්ලීමක්
රුසියානු ආක්‍රමණයට විරුද්ධව යුක්රේනයට සහයෝගය දක්වන ලෙස රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල 10 ක ප්‍රධානීන් ලංකාණ්ඩුවෙන් ඊයේ (18) ඉල්ලීමක් කර තිබේ.
ඔවුන් එම ඉල්ලීම කර ඇත්තේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම අනුමත කළ නොහැක්කක් බව අවධාරණය කරමිනි.
'යුක්‍රේනයට ජාත්‍යන්තර සහයෝගය ලබා දීම සහ රුසියානු ආක්‍රමණය හෙළා දැකීම' යන ශීර්ෂයෙන් යුතුව සිදුකර ඇති ඉල්ලීමේ මෙසේ සඳහන් වේ.
ස්වෛරී සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන යුක්‍රේනය ආක්‍රමණය කරමින් රුසියාව ඇරඹූ අනවශ්‍ය, අසාධාරණ, නීති විරෝධී යුද්ධය අපි හෙලා දකින්නෙමු. මෙම සාහසික ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතිය දැඩි සේ උල්ලංඝනය කිරීමකි.
රුසියාව යුක්‍රේනයේ ඇති කරන ලද මානුෂීය අර්බුදය මුළු ලොවම කළඹවන්නක් විය.
සිවිල් වැසියන් වෙසෙන ප්‍රදේශ සහ යටිතල පහසුකම්වලට දිනපතා ම එල්ල කරන රුසියානු ප්‍රහාර වැඩි වෙමින් පවතින අතර, සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකට හානි සිදු වෙමින් පවතී.
මිලියන සංඛ්‍යාත සිවිල් වැසියන්ට, විශේෂයෙන්ම කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන්, තම වාසස්ථාන අතහැර සරණාගතයින් ලෙස අසල්වැසි රටවලට පලා යාමට සිදුව ඇති අතර එය ගෙවුණු වසර 70 තුළ සිදුවූ වේගවත්ම සරණාගත අර්බුදය බවට පත්ව ඇත.
රුසියාව සාමකාමීව සිටින යුක්‍රේනය ආක්‍රමණය කිරීම නීති විරෝධී ක්‍රියාවකි. රුසියාව මේ හරහා ලොව සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ මූලික මූලධර්මවලට අභියෝග කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුත්රස්ගේ ප්‍රකාශයට අපි අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නෙමු.
“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අතීතයේ දී අභියෝගයට ලක් වූ නමුත් එය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, යුක්තිය, ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් වෙනුවෙන් දැඩිව පෙනී සිටියා. එම සාරධර්ම යුක්‍රේනයේ සහ සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා බල පැවැත්වෙන පරිදි කටයුතු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව හැකි සෑම දෙයක්ම කළ යුතුයි.”
යුක්‍රේනයට ලැබෙන දැඩි සහයෝගය හමුවේ රුසියාව හුදකලා වී ඇත.
රුසියානු රජය යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරය අපි එකමුතුව හෙළා දකින්නෙමු. මාර්තු 2 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී රටවල් 141 ක් එනම්, අතිමහත් බහුතරයක් රුසියානු ආක්‍රමණය හෙළා දකිමින් ඡන්දය ප්‍රකාශ කර තිබේ. මින් පෙනී යන්නේ රුසියාව ජාත්‍යන්තර ප්‍රජාව අතර හුදකලා වී ඇති බව යි.
යුක්‍රේනයට සහය දක්වන රටවල් රුසියාවට පෙර නොවූ විරූ ඉලක්ක කරගත් සම්බාධක පනවා ඇත. මෙම සම්බාධකවල අරමුණ යුක්‍රේනයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට රුසියාවට ඇති හැකියාව අඩු කිරීම, සහ යුද්ධය නැවැත්වීමට රුසියාවට බලපෑම් කිරීම යි.
බැංකු වල සිට තෙල් සමාගම් මෙන්ම පාපන්දු ලීග පවා පුටින්ට සහ ඔහුගේ බල අධිකාරියට තවදුරටත් ජාත්‍යන්තර ප්‍රජාවේ කොටස්කරුවන් විය නොහැකි බව පවසමින් ආක්‍රමණය හෙළා දැක තිබේ. තවද මෙයින් පෙන්වන්නේ පුටින්ගේ ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ඇති බවයි.
යුක්‍රේනයට හිතවාදී රටවල් සැලකිය යුතු මට්ටමේ ආර්ථික සහ මානුෂීය ආධාර ලබා දී ඇති අතර බොහෝ රටවල් යුද්ධයෙන් පලා යන යුක්රේන පවුල් සඳහා තම දේශසීමා විවෘත කරමින් තිබේ.
රුසියාව තම ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට ව්‍යාජ ප්‍රකාශ කරයි
රුසියාව තම ප්‍රහාරය සාධාරණීකරණය කිරීමේ අරමුණින් යුක්‍රේනයට එරෙහිව සාවද්‍ය තොරතුරු ව්‍යාපාරයක් ගෙන ගොස් ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී අසල්වැසි රටක් යටත් කිරීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක්කකි. ආරක්ෂක සන්ධානයක් වන නේටෝව, රටවල් ප්‍රකෝප කරන බවට රුසියාව බොරු චෝදනා එල්ල කරන නමුත්, නේටෝවට රුසියාවට විරුද්ධව කිසිවක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.
යුක්‍රේනය සහ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකාවට ඇරයුම්
ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස, යුක්‍රේනයේ සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම නගා සිටුවීම සඳහා ප්‍රසිද්ධ සහයෝගය දැක්වීමට අප හා එක්වන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මේ ඇරයුම සිය එදිරිවාදිකම් වහා අවසන් කරන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටීමට අප හා එක්වීම සඳහා යි.
යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා අපි ලොව පුරා සිටින අපගේ මිත්‍ර රටවල් සමඟ එක්ව කටයුතු කරන්නෙමු. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්වෛරීභාවය වෙනුවෙන් අපි යුක්‍රේනය වෙනුවෙන් පෙනී සිටින්නෙමු.
මෙම ප්‍රකාශයට පහත සඳහන් තානාපතිවරුන් තානාපතිනියන් සහ සහ මහකොමසාරිස්වරුන් අත්සන් තබා ඇත. (ආකාරාදී පිලිවෙලට)
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි මහතා,
කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැකින්නන් මහතා,
යුරෝපා සංගමයේ නියෝජිත ප්‍රධානී අතිගරු ඩෙනිස් චයිබි මහතා,
ප්‍රංශ තානාපති අතිගරු එරික් ලැවර්ටු මහතා,
ජර්මන් තානාපති අතිගරු හොල්ගර් සියුබර් මහතා
ඉතාලි තානාපති අතිගරු ජුලියානා මැන්නෙල්ලා මහත්මිය
නෙදර්ලන්ත තානාපති අතිගරු ටන්ජා ගොන්ග්‍රිජ්ප් මහත්මිය
නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මහතා
නෝර්වේ තානාපති අතිගරු ට්‍රීන් ජොරන්ලි එස්කඩෙල් මහත්මිය
ජපාන් තානාපති අතිගරු හිඩෙයාකි මිසුකෝෂි මහතා
රුමේනියානු තානාපති අතිගරු වික්ටර් චියුජ්ඩෙයා මහතා
ස්විට්සර්ලන්ත තානාපති අතිගරු ආචාර්ය ඩොමිනික් ෆර්ග්ලර් මහතා
එක්සත් රාජධානියේ මහ කොමසාරිස් අතිගරු සාරා හල්ටන් මහත්මිය
ඇමරිකා එක්සත් ජනපද තානාපති අතිගරු ජූලි ජේ.චුන්ග් මහත්මිය
යුක්රේන ආක්‍රමණය : රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල 10 කින් ලංකාණ්ඩුවට ඉල්ලීමක්
T
The Leader Desk
March 19, 2022 • 10:01 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රුසියානු බෝම්බ ප්‍රහාරයන්ගෙන් මිය ගිය දරුවන් සංකේතවත් කරමින් යුක්රේන අගනුවර කිව් චතුරශරයේ තබා ඇති හිස් ළමා Strollers.
- ඔවුන් එම ඉල්ලීම කර ඇත්තේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම අනුමත කළ නොහැක්කක් බව අවධාරණය කරමිනි.
- 'යුක්‍රේනයට ජාත්‍යන්තර සහයෝගය ලබා දීම සහ රුසියානු ආක්‍රමණය හෙළා දැකීම' යන ශීර්ෂයෙන් යුතුව සිදුකර ඇති ඉල්ලීමේ මෙසේ සඳහන් වේ.
- මෙම සාහසික ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතිය දැඩි සේ උල්ලංඝනය කිරීමකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader TV අද වීඩියෝ
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



