The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

වසර 17කට පසු ඉන්දියාව දෙවන T20 ලෝක කුසලානය ජයගනී

T

The Leader Desk

June 30, 2024 • 4:28 AM

වසර 17කට පසු ඉන්දියාව දෙවන T20 ලෝක කුසලානය ජයගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම (ජුනි 29 වැනිදා) සමත් විය. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 7 කින් පරාජයට පත් කරමිනි.
  • 2007 වසරේ දී ලෝක ශුරයින් වූ ඉන්දීය කණ්ඩායම 2014 වසරේදී අනුශුරයින් බවට පත්විය.
  • විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයක් සඳහා ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලද තෙවන අවස්ථාව මෙය වේ.
  •   2024 T20 ලෝක ශුරතාවය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම (ජුනි 29 වැනිදා) සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට සමත් වුයේ වසර 17 කට පසුවය. 2007 වසරේ දී ලෝක ශුරයින් වූ ඉන්දීය කණ්ඩායම 2014 වසරේදී අනුශුරයින් බවට පත්විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය විය.

විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයක් සඳහා ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලද තෙවන අවස්ථාව මෙය වේ.

කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා කෙන්සිංටන් ඕවල් පිටියේ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

 

2024 T20 ලෝක ශුරතාවය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම (ජුනි 29 වැනිදා) සමත් විය. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 7 කින් පරාජයට පත් කරමිනි

 

කඩා වැටුණු ඉන්දීය මුල් පෙළ

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉන්දීය ආරම්භක පිතිකරුවන් පළමු පන්දු 09ක් තුළදී ලකුණු 23ක් රැස් කළේ හතරේ පහරවල් 05ක් එල්ල කරමිනි.

දෙවන පන්දු වාරයේ සිව්වන පන්දුවේදී ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා, කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 9ක් රැස් කරගෙන සිටියදීය.

දෙවන පන්දු වාරයේදීම නැවතත් ක්‍රියාත්මක වූ කේෂව් මහරාජ් ගේ පන්දුවක් හමුවේ රිෂාබ් පාන්ට් ලකුණු නොලබා දැවි ගියේය.

ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව දිස් වුයේ පන්දු වාර දෙකක් අවසානයේ දී කඩුලු දෙකක් දැවී ලකුණු 23ක් ලෙසය.

රිෂාබ් පාන්ට් ගේ දැවී යාමෙන් පසූ පිටියට පැමිණි සුර්යකුමාර් යාදෙව්, විරාට් කෝලි සමග එක්වෙමින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 11ක් එක් කළේය.

ඉන්දීය ඉනිමේ පස්වන පන්දු වාරය යැවූ කගීසෝ රාබාඩා ගේ පන්දුවක් හමුවේ සුර්යකුමාර් යාදෙව් ලකුණු 03 කට දැවී යන විට ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 34 කට කඩුලු 03ක් ලෙසය.

ඉන්දියාවට සහනයක් ගෙනා පිතිකරුවන්

මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙකු ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් තිබියදී විරාට් කෝලි සමග පිටියට එක්වූ අක්සාර් පටෙල් ඉන්දීය කණ්ඩායම ස්ථාවර මට්ටමකට ගෙන ඒමට උත්සාහ කළේය.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ගෙන් එල්ලවී තිබු පීඩනයට සාර්ථකව මුහුණ දෙමින් අක්සාර් පටෙල් පන්දු 31 කදී ලකුණු 47ක් රැස් කිරීමට සමත් විය.

අක්සාර් පටෙල් ගේ ඉනිමට හයේ පහරවල් 04ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් විය.

විරාට් කෝලි සමග එක්වී අක්සාර් පටෙල් ඉන්දීය ඉනිමේ සිව්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක් එක් කළේය.

තම අන්තයේ කඩුල්ල ආරක්ෂා කර ගනිමින් සෙමින් ලකුණු රැස් කරමින් සිටි විරාට් කෝලි සිය අර්ධ ශතකය පන්දු 48 කදී වාර්තා කළේ හතරේ පහරවල් 04ක් පමණක් එල්ල කරමිනි.

 

ind 3

තම අන්තයේ කඩුල්ල ආරක්ෂා කර ගනිමින් සෙමින් ලකුණු රැස් කරමින් සිටි විරාට් කෝලි සිය අර්ධ ශතකය පන්දු 48 කදී වාර්තා කළේ හතරේ පහරවල් 04ක් පමණක් එල්ල කරමිනි

 

ඉන්දීය ඉනිමේ 14 වන පන්දු වාරයේදී පන්දු යවන්නාගේ අන්තයේ රැඳී සිටි අක්සාර් පටෙල්ව කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ගේ අනර්ඝ පන්දු රැකීම හමුවේ දුවද්දී දවා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

අක්සාර් පටෙල් ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි ෂිවම් ඩුබේ සමග එක්වූ විරාට් කෝලි ක්‍රමයෙන් ඉන්දීය කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම වේගවත් කිරීමට සමත් වුණි.

තම අන්තයේ කඩුල්ල ආරක්ෂා කර ගනිමින් සෙමින් ලකුණු රැස් කරමින් සිටි විරාට් කෝලි සිය අර්ධ ශතකය පන්දු 48 කදී වාර්තා කළේ හතරේ පහරවල් 04ක් පමණක් එල්ල කරමිනි.

සිය අර්ධ ශතකය වාර්තා කිරිමෙන් පසුව විරාට් කෝලි පන්දු 11කදී තවත් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුයේ ඊට හතරේ පහරවල් සහ හයේ පහරවල් දෙක බැගින් එල්ල කරමින්ය.

ඉන්දීය ලකුණු පුවරුව පන්දු වාර 18.5කට ලකුණු 163ක් ලෙස සටහන්ව තිබියදී විරාට් කෝලි ලකුණු 76 කට දැවී ගියේ මාර්කෝ ජැන්සෙන් ගේ පන්දුවක් හමුවේය.

විරාට් කෝලි සහ ෂිවම් ඩුබේ ඉන්දීය කණ්ඩායමේ 05 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

පන්දු 16 කදී ලකුණු 27ක් රැස් කිරීමට ෂිවම් ඩුබේ සමත් විය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකාවේ ලකුණු හඹා යෑම

ලකුණු 177ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ කුවින්ටන් ඩී කොක් සහ රීසා හෙන්ඩ්‍රීක්‌ පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කළේ ලකුණු 07ක් පමණි.

ජස්ප්‍රීට් බුම්රා විසින් ඉනිමේ දෙවන පන්දු වාරයේදී ලකුණු 04ක් රැස් කරමින් සිටි රීසා හෙන්ඩ්‍රික් ගේ කඩුල්ල දවා ගනු ලැබීය.

දකුණු අප්‍රිකානු ඉනිමට තවත් ලකුණු 05ක් එක්වීමෙන් පසු දෙවන කඩුල්ල ලෙස නායක ඒඩ්ඩ්‍රන් මාක්ක්‍රම් ලකුණු 04 කට දවා ගැනීමට අර්ශදීප් සිං සමත් වුණි.

ඉක්මන් කඩුලු දෙකක් දැවී ගිය දකුණු අප්‍රිකානු ඉනිමට සහනයක් ගෙන දීමට ක්‍රිස්ටීන් ස්ටබ්ස් සහ කුවින්ටන් ඩීකොක් සමත් වුණි.

ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකානු ඉනිමේ තෙවන කඩුල්ල සඳහා ලකුණු 58ක් එක් කිරීමට සමත් විය.

එහෙත් දකුණු අප්‍රිකානු ඉනිමේ 9 වන පන්දු වාරයේදී අක්සාර් පටෙල්ගේ පන්දුවක් හමුවේ ලකුණු 31ක් රැස් කර ගෙන සිටි ක්‍රිස්ටීන් ස්ටබ්ස් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

ස්ටබ්ස් ගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි හෙන්රි ක්ලාසන් සහ කුවින්ටන් ඩිකොක් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ 04 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක් එක් කිරීමට සමත් වුණි.

ලකුණු 39ක් රැස් කර ගනිමින් සිටි කුවින්ටන් ඩී කොක් දකුණු අප්‍රිකානු ඉනිමේ 13 වන පන්දු වාරයේදී හර්ශදීප් සිං ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු පුවරුව දිස් වුයේ කඩුලු 04 කට ලකුණු 106ක් ලෙසය.

තරගය කණපිට හැරවූ පන්දු ඕවරය

දකුණු අප්‍රිකානු ඉනිමේ 15 වන පන්දු ඕවරයේදී ලකුණු 24ක් රැස් කිරීමට හෙන්රි ක්ලාසන් සමත් විය.

ඒ සමග ඉන්දියාවට තිබු තරගයේ වාසිය දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙසට නැඹුරු විය.

විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට හෙන්රි ක්ලාසන් සමත් වූ අතර ඔහුට ඒ සඳහා වැය වුයේ පන්දු 23ක් පමණි.

කෙසේ වුවත් දකුණු අප්‍රිකානු ඉනිමේ 17 වන පන්දු වාරයේ පළමු පන්දුවේදීම හර්දික් පාන්ඩ්යා ගේ පන්දුවක් හමුවේ ලකුණු 52ක් රැස් කර ගෙන සිටි හෙන්රි ක්ලාසන් දැවී ගියේය.

ඔහුගේ ඉනිමට හයේ පහරවල් 05ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුළත් වීය.

සිය අවසන් පන්දු වාරය යැවීමට කැඳවීම ලැබූ ජස්ප්‍රිට් බුම්රා දකුණු අප්‍රිකානු ඉනිමේ 18 වන පන්දු වාරයේදී මාර්කෝ ජැන්සන් ලකුණු 02 කට දවා ගැනීමට සමත් විය.

ඒ වන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 156 කට කඩුලු 06ක් ලෙසය.

 

ind 4

විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට හෙන්රි ක්ලාසන් සමත් වූ අතර ඔහුට ඒ සඳහා වැය වුයේ පන්දු 23ක් පමණි

 

අවසන් පන්දු වාරයේදී සිදුවු දේ

අවසන් පන්දු වාරයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් ලබා ගැනීමට නියමිතව තිබිණි.

හර්දික් පාන්ඩ්යා විසින් යවන ලද දකුණු අප්‍රිකානු ඉනිමේ 20 වන පන්දු ඕවරයේ පළමු පන්දුවේදී ඩේවිඩ් මීලර් එල්ල කළ පහර හතරේ සීමාව ආසන්නයේදී සුර්ය කුමාර් යාදෙව් දක්‍ෂ ලෙස රැක ගන්නා ලදී.

නැවත වරක් ක්‍රියාත්මක වූ හර්දික් පාන්ඩ්යා කගිසෝ රාබාඩා ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණි.

ඒ අනුව සිය පන්දු වාර 20 අවසානයේදී දකුණු අප්‍රිකාවට රැසකර ගැනීමට හැකිවුයේ කඩුලු 08ක් දැවී ලකුණු 169ක් පමණි.

 

ind 5

දකුණු අප්‍රිකානු කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය විය

 

පන්දු යැවීමේදී හර්දික් පාන්ඩ්යා ලකුණු 20 කට කඩුලු 03ක් දවා ගත් අතර ජස්ප්‍රිට් බුම්රා සහ අර්ශදීප් සිං කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

තරගයේ විරයා ලෙස සම්මාන දිනු විරාට් කෝලි පවසා සිටියේ ඉන්දිය කණ්ඩායම නියෝජනය කරමින් තමන් ක්‍රීඩා කළ අවසන් විස්සයි 20 තරගය මෙය බවය.

එමෙන්ම තරගාවලියේ වීරයා ලෙස ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා සම්මානයට පාත්‍ර විය.

ind 6
සුවිශේෂී සිදුවීම් මොනවාද ?

2024 T20 ලෝක කුසලාන තරගාවලිය පසුගිය ජුනි මස 02 වැනිදා ආරම්භ විය.

මෙවර තරගාවලිය ඉතිහාසයට එක්වුයේ පළමු වතාවට කණ්ඩායම් 20ක් තරග වැදුණු පළමු ලෝක කුසලාන තරගාවලිය වීම හේතුවෙනි.

ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත්හි පැවති මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පළපුරුදු ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක්ම පළමු වටයේදීම තරගාවලියෙන් ඉවත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

තරගාවලියේ පෙරළිකාර ජයග්‍රහණයන්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පෙරළිකාර ජයග්‍රහණ ලැබූ කණ්ඩායම් කිහිපයක්ම දැක ගත හැකිවිය.

ඒ අතරින් කෝඩුකාර ඇමෙරිකානු කණ්ඩායම ප්‍රබල පකිස්ථානයට එරෙහිව ලද ජයග්‍රහණය ගැන බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුව තිබුණි.

එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම කඩුලු 07ක් දැවී රැස් කළ ලකුණු 159 ක් වූ අතර ඇමෙරිකාව කඩුලු 03ක් පමණක් දැවී එම ලකුණු සංඛ්‍යාව සම කරන ලදී.

සුපිරි පන්දු වාරයේ දී ඇමෙරිකාව ලකුණු 18ක් රැස් කළ අතර පකිස්ථානයට ලබා ගත හැකි වුයේ ලකුණු 13ක් පමණි.

ඒ අනුව ප්‍රබල පකිස්ථාන කණ්ඩායම පරාජය කරමින් තරගය ජයග්‍රහණය කිරීමට ඇමෙරිකාව සමත් විය.

මේ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රබල කණ්ඩායම් දෙකක් වන නවසීලන්ත කණ්ඩායම ලකුණු 84 කින්ද, ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 21කින් ද පරාජය කිරීමට සමත් විය.

එමෙන්ම බංගලාදේශ කණ්ඩායම විසින් පළමු වටයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු දෙකක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

ind 7

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රබල කණ්ඩායම් දෙකක් වන නවසීලන්ත කණ්ඩායම ලකුණු 84 කින්ද, ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 21කින් ද පරාජය කිරීමට සමත් විය

 

පළමු වටයෙන්ම ඉවත්වූ සුපිරි කණ්ඩායම් මොනවාද ?

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේදී කිසිවෙකු බලාපොරොත්තු නොවූ සිදුවීමක් වුයේ පළමු වටයෙන්ම නවසීලන්ත කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීමයි.

නවසීලන්ත කණ්ඩායම ICC T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 6 වන ස්ථානයේ පසුවේ.

මීට අමතරව පකිස්ථානය, ශ්‍රී ලංකාව යන කණ්ඩායම් සහ අයර්ලන්තය ද පළමු වටයෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් විය.

ඉනිමකදී වාර්තා කළ අඩුම ලකුණු

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තරග කිහිපයකම කණ්ඩායම් අඩු ලකුණු සංඛ්‍යාවලට සීමා වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 77 කට දැවී ගියේ ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

එමෙන්ම ඇෆ්ගනිස්ථානය හමුවේ නවසීලන්ත කණ්ඩායම ලකුණු 75 කට දැවී ගියේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ඇෆ්ගනිස්ථානය ලකුණු 56 කට දැවී යන ලදී.

අලුත් වූ තරග වාර්තා මොනවාද ?


විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක ඉනිමකදී පිතිකරුවෙකු විසින් එල්ල කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ලකළ තෙවන ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වීමට ඇමෙරිකානු කණ්ඩායමේ ඒරෝන් ජෝන්ස් සමත් විය.

කැනඩාව සමග පැවති තරගයේදී ඒරොන් ජෝන්ස් හයේ පහරවල් 10ක් එල්ල කිරීමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් ලෝක කුසලාන තරගාවලියකදී ඉනිමකදී වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවාගේ වාර්තාවට හිමිකම් කියනු ලබයි.

මේ අතර ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළු පන්දු යවන්නා ලෙස වනිදු හසරංග තබා තිබූ වාර්තාව බිඳ හෙලීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ෆාසල්හක් ෆාරුකී සමත් විය.

2021 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී වනිදු හසරංග කඩුලු 16ක් දවා ගැනීමට සමත වූ අතර මෙවර තරගාවලියේ දී ෆාසල්හක් ෆාරුකී කඩුලු 17ක් බිඳ හෙලීමට සමත් විය.

එමෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු ත්‍රිත්වයන් දවා ගැනීම් අවස්ථා තුනක් වාර්තා විය.

ඕස්ට්‍රේලියාවේ පැට් කමින්ස් අවස්ථා දෙකක දිත්, එංගලන්ත කණ්ඩායමේ ක්‍රිස් ජෝර්ඩන් ඇමෙරිකානු කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.


පිට පිට කඩුලු ත්‍රිත්වයන් සහ ශතක සබඳතාවයන්

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී පීට පිට තරග දෙකකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගනු ලැබූ ලොව පළමු පන්දු යවන්නා බවට පත් වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පැට් කමින්ස් සමත් වන ලදී.

පැට් කමින්ස් එම දක්ෂතාවය දැක්වුයේ බංගලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම්වලට එරෙහිවය.

මේ අතර T20 ලෝක කුසලාන ඉතිහාසයේ දී ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු පිට පිට තරග දෙකකදී ශතක සබඳතා පැවැත්වූ පළමු අවස්ථාව ද මෙවර දැක ගත හැකි විය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන රහමනුල්ලා ගුර්බාස් සහ ඊබ්‍රාහිම් සර්දාන් එම වාර්තාවට හිමිකම් කීමට සමත් විය.

ඔවුන් දෙදෙනා උගන්ඩාවට එරෙහි තරගයේ දී ලකුණු 154ක් පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කළ අතර ඉන් පසුව නවසීලන්තය සමග පැවති තරගයේදී ඔවුන් දෙදෙනා ලකුණු 101ක සබඳතාවයක් පැවැත්වීමට සමත් විය.

ලෝක කුසලානයත් සමග සමුගන්නා ප්‍රබල ක්‍රීඩකයින්

ක්‍රිකට් ලෝකයේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙම T20 ලෝක කුසලාන තරගාවලිය වනු ඇති බවට මත පළව තිබේ.

විශේෂයෙන් ඉන්දියාවේ රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි, ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්, බංගලාදේශයේ ෂකිබ් අල් හසන්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඇන්ඩ්‍රේ රසල් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය වීමට ඉඩ තිබේ.

එමෙන්ම මෙම තරගාවලියත් සමග ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදීම තවත් සුවිශේෂි සිදුවීමක් විය.

නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් තරගාවලියේදී සිය කණ්ඩායම ලද පරාජයත් සමග නායකත්වයට සමුදුන් අතර වේග පන්දු ක්‍රීඩක ට්‍රෙන්ට් බොල්ට් තමන් සහභාගිවන අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය බව නිල වශයෙන් නිවේදනය කළේය.

මීට අමතරව නැම්බියානු කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක ඩේවිඩ් වීසා, නෙදර්ලන්ත නෙදර්ලන්ත් සීබ්‍රාන්ඩ් එන්ගල්බ්‍රෑක්ට් සහ උගන්ඩා කණ්ඩායමේ නායක බ්‍රයන් මසාබා මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.

(BBC සිංහල සේවය)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...