2024 වසරේ පැරිසියේදී ස්ත්‍රී - පුරුෂ බවේ තියුණු වාදයකට මැදිවෙමින් ඔලිම්පික් රන් පදක්කම දිනා ගත් තායිවානයේ බොක්සිං ශූරිය ලින් යූ-ටිං (Lin Yu-ting) ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගෙන තිබෙනවා.
30 හැවිරිදි ලින් කාන්තා කිලෝග්‍රෑම් 60 (රාත්තල් 132) අංශයේ අවසාන තරගයේදී චීනයේ යැං චෙන්ගියු 5-0කින් පරදවමින් ආසියානු ක්‍රීඩා බොක්සිං වළල්ලේ ඇගේ දෙවැනි රන් පදක්කම හිමිකර ගත්තා. මීට තෙවසරකට පෙර චීනයේ හැංසෝ නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ද රන් දිනා ගැනීමට මේ ක්‍රීඩිකාව සමත් වූ අතර එහිදී ඇය ජයග්‍රහණය කළේ කිලෝග්‍රෑම් 57 (රාත්තල් 126) අංශය යි.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගැනීමට තමා කල්පනා කළත් තමාගේ සුදුසුකම පිළිබඳව ප්‍රශ්න කළ අයට අභියෝග කිරීම සඳහා බොක්සිං සටනේ දිගටම නිරත වීමට තමාට උවමනා වූ බවත් ලින් ආසියානු ක්‍රීඩා උළෙලට පෙර කියා තිබුණා.
IBA තහනම සහ පැරිස් ඔලිම්පික් අර්බුදය
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන් ලෙසින් හංවඩු ගසා තිබූ ලින් සහ ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් ට 2023 ලෝක ශූරතාවලිය තහනම් කිරීමට ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA) පියවර ගෙන තිබුණා. මේ දෙදෙන අනිර්දිෂ්ට ලිංගභේද සුදුසුකම් පරීක්ෂණ අසමත් වූ බැවින් ඔවුන් එම ශූරතාවලියට සහභාගි වීමට නුසුදුසු බවට IBA කියා තිබුණා.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලින් හා කලීෆ් ට පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට අවස්ථාව ලබා දුන්නේ ඒ දෙදෙන අපකීර්තියට පත් IBA හි “හදිසි හා හිතුවක්කාර තීරණයක” ගොදුරු බවට පත්ව ඇතැයි පවසමින්. එහිදී ලින් හා කලීෆ් දෙදෙනා දිගටම තරග වදිමින් අවසානයේදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.
එහෙත් ලින් හා කලීෆ් පැරිස් තරග බිමේ සිටීම පිළිබඳව බොක්සිං ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ඔවුන්ගේ විරෝධය දක්වා තිබූ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් හා ජනප්‍රිය කතුවරියක වන ජේ.කේ.රෝලිං (හැරී පොටර්) ද ඊට එක්ව සිටියා.
(සටහන | වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු




