ඉන්දියාව ඔවුන්ගේ දහ වැනි කිරුළත්, පාකිස්තානය ඔවුන්ගේ පළමු ශූරතාවත් දිනා ගැනීමේ අදිටනින් යුතුව 2026 සාෆ් කුසලාන පාපන්දු අවසාන මහා තරගය සඳහා හෙට රාත්‍රියේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ජාතික ක්‍රීඩාංගණයට පිවිසෙනවා.
මේ කණ්ඩායම් දෙක ම අවසාන තරගයට සුදුසුකම් ලැබූවේ අවසන් පූර්ව වටයේදී ඔවුන්ට එල්ල වූ ප්‍රබල අභියෝගයන් ජය ගනිමින්. ඉන්දියාව ගෝල 2-1කින් භූතානය පැරදවූ අතර සත්කාරක බංග්ලාදේශය ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් පාකිස්තානය හමුවේ ගෝල 1-0ක පරාජයක් ලැබුවා.

සිය සාෆ් පාපන්දු කිරුළ ආරක්ෂා කර ගැනීමේ උත්සාහයේදී ඉන්දියා කණ්ඩායම භූතානය ට එරෙහිව ඉදිරි පියවරකින් තරගය ආරම්භ කරමින් නව වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගත්තා. ඉන්පසුව ගෝල ලබා ගැනීමට උදාවූ අවස්ථාවන් කිහිපයක් ම නාස්ති කර ගැනීමෙන් පසුව අවසානයේදී 27 වැනි මිනිත්තුවේදී ඉන්දියාව ඔවුන්ගේ වාසිය දෙගුණ කර ගත්තා.
දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු තුනක් ගත වන විට භූතානය ලබා ගත් ගෝලය අහෝසි කෙරුන ද, VAR නිරීක්ෂණයෙන් පසුව එය ගෝලයක් බවට අනුමත වුණා.
65 වැනි මිනිත්තුවේදී ඉන්දියාව ට පෙනල්ටියක් පිරිනැමුන ද VAR විසින් එය නිෂ්ප්‍රභ කරනු ලැබුවා. එහෙත් භූතානයේ සටන්කාමී ක්‍රීඩාව හමුවේ සිය පෙරමුණ රැක ගත් ඉන්දියාව අවසාන තරගයට පිවිසියා.

දෙවැනි අවසන් පූර්ව තරගය මීට වඩා තියුණු මුහුණුවරක් ගත්තේ බංග්ලාදේශය හා පාකිස්තානය යන කණ්ඩායම් දෙක ට ම ගෝල ලබා ගැනීමට මඟ විවර කර ගැනීමට නොහැකි වූ බැවින්.
කෙසේ වෙතත්, 86 වැනි මිනිත්තුවේදී එම තත්ත්වය වෙනස් වෙමින් පාකිස්තානය ඔවුන්ගේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ ප්‍රථම වතාවට සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියක අවසන් තරගයට පිවිසෙමින්.
මෙවර තරගාවලිය සමාරම්භයේදී ඉන්දියාව ගෝල 3-2කින් පාකිස්තානය පැරදවීමෙන් පසුව මේ පරම ප්‍රතිවාදීන්ගෙන් ම ඉන්දු-පාකිස්තාන සමාප්තියේ ගැටුමක් නිර්මාණය වීම විශේෂත්වයක්.




