The Leader News
BREAKING
ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●
Top Ad
Opinion

ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න

මොකක් හරි කන්ට්‍රවර්ෂල් (ගොඩක් වෙලාවට “සෙක්ෂුවල්”) දෙයක් සම්බන්ධ නිවුස් එකක් වයිරල් ගිය කාලෙට තමයි තේරෙන්නෙ ලංකාවෙ (අඩු තරමේ ෆේස්බුක් එකේ) ඉන්න තරමක් ඉන්නෙ නීතිඥයෝ කියලා.

Pasan

Pasan

November 16, 2026 • 8:45 PM

ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිඥයො කීවට මුං එසේ මෙසේ නීතිඥයොත් නෙවෙයි; කතාවෙන් තේරෙන විදිය නම් මුං මුළු ජීවිතේ ම, පැය විසිහතර ම, කන බොන කක්කුස්සි යන එක පවා කරන්නෙ නීතිමය තර්කනය සහ නීතිමය සත්‍යය මත ම පදනම් වෙලා ද කොහෙද.
  • මේ කෝඩ් එකට පටහැනි නොවන විදියට ඒක ඇතුළෙ තමන්ට අවශ්‍ය දේ කරන්නෙ කොහොමද කියන එකත්, කවුරු හරි ඒ කෝඩ් එක කඩනව වගේ දැනෙනව නම්, ඒ කරන දෙයින් කෝඩ් එක උල්ලංඝනය වෙනව කියල පෙන්නන්නෙ කොහොමද කියන එකත් උඩ උසාවිවල සිද්ධ වෙන ලීගල් සර්කස් එකක් විදියට තමයි මේක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නෙ.
  • කෝඩ් එක නිශ්චිත ව ලියල තියෙන නිසා, මොකක් හරි දෙයක් “කෙස් ගහකින්” කෝඩ් එකට පටහැනි වෙලා තියෙනව කියල හෝ “කෙස් ගහකින්” කෝඩ් එකේ සීමාව ඇතුළෙ වෙලා තියෙනව කියල නීතිඥයාට ඔප්පු කරගන්න පුළුවන් නම් වැඩේ ගොඩ.
  • මොකද අපි මිනිස්සු නිසා අපි කාටවත් “පරම සත්‍ය” කියල දෙයක් තේරුම්ගන්න බෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිඥයො කීවට මුං එසේ මෙසේ නීතිඥයොත් නෙවෙයි; කතාවෙන් තේරෙන විදිය නම් මුං මුළු ජීවිතේ ම, පැය විසිහතර ම, කන බොන කක්කුස්සි යන එක පවා කරන්නෙ නීතිමය තර්කනය සහ නීතිමය සත්‍යය මත ම පදනම් වෙලා ද කොහෙද.

රෝමන් නීති ක්‍රමය සහ බයිනරි තර්කනය

දැන් ලෝකෙ ම වගේ ක්‍රියාත්මක වෙන්නෙ රෝමන් කාරයො හදපු නීති ක්‍රමය නෙ. රෝමන් අධිරාජ්‍යය මුළු ලෝකෙට ම පැතිරිලා උන්ගෙ නීතියට, උන්ගෙ කැලැන්ඩරේට ලෝකෙම වැඩකරන කාලෙ ඉපදීම ගැන මගෙ නම් අකැමැත්තක් නෑ. රෝමන් අධිරාජ්‍යය ඔච්චර බලවත් වෙන්නත් උන්ගෙ නීති ක්‍රමය සෑහෙන උදව් වුණා වෙන්න පුළුවන්. මොකද නිශ්චිත ලිඛිත ලීගල් කෝඩ් එකක් සහ ඒ ලීගල් කෝඩ් එක උඩ බයිනරි තර්කනයක් උඩ ක්‍රියාත්මක වෙන සිස්ටම් එකක් තියෙන පාර්ශ්ව එක්ක බිස්නස් කරන්න මිනිස්සු කැමතියි, රජාට අනුව හෝ රජාගෙ මූඩ් එක අනුව නීතිය වෙනස්වෙන රටක් එක්ක ගනුදෙනු කරනවට වඩා. ඉතිං මූණ බලල හිස ගසාදාන රටවලට වඩා රෝමන් කාරයන්ගෙ බිස්නස් දියුණු වුණු එක පුදුමයක් නෑ.

රෝමන් කාරයාගෙ නීති ක්‍රමයේ දි ඕන ම දෙයක් සම්බන්ධ කලින් හදපු නීති හෝ මූලධර්ම කෝඩ් එකක් තියෙනවා. මේ කෝඩ් එකට පටහැනි නොවන විදියට ඒක ඇතුළෙ තමන්ට අවශ්‍ය දේ කරන්නෙ කොහොමද කියන එකත්, කවුරු හරි ඒ කෝඩ් එක කඩනව වගේ දැනෙනව නම්, ඒ කරන දෙයින් කෝඩ් එක උල්ලංඝනය වෙනව කියල පෙන්නන්නෙ කොහොමද කියන එකත් උඩ උසාවිවල සිද්ධ වෙන ලීගල් සර්කස් එකක් විදියට තමයි මේක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නෙ.

කෝඩ් එක නිශ්චිත ව ලියල තියෙන නිසා, මොකක් හරි දෙයක් “කෙස් ගහකින්” කෝඩ් එකට පටහැනි වෙලා තියෙනව කියල හෝ “කෙස් ගහකින්” කෝඩ් එකේ සීමාව ඇතුළෙ වෙලා තියෙනව කියල නීතිඥයාට ඔප්පු කරගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. මේකෙ අවුට්කම් එක හැම වෙලාවෙ ම වගේ බයිනරි එකක්. එක්කො වැරදිකරු, නැත්තං නිවැරදිකරු; දෙක අතර මැද එකක් නෑ.

Legal Truth යනු “පරම සත්‍යය” නොවේ

මේකට කියන්නෙ legal truth කියලා. ඒ කියන්නෙ යම් කිසි සිද්ධියකට ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන legal code එක ඇප්ලයි කළා ම එන outcome එක. හරියට කම්පියුටර් ප්‍රොග්‍රෑම්වල දි මොකක් හරි බයිනරි ලොජික් එකකට ඩේටා සෙට් එකක් දුන්න ම එන අවුට්කම් එක වගේ. ඉන්පුට් එකේ සලකා බලන වේරියබල් සමාන නම් අවුට්පුට් එකත් සමානයි.

හැබැයි legal truth එක කියන්නෙ “පරම සත්‍ය” නෙවෙයි. ලෝකේ කියන්නෙ කිසිම ලීගල් කෝඩ් එකකට වඩා සෑහෙන සංකීර්ණ තැනක්. Scientific truth කියල එකක් තියෙනවා; religious truth කියල එකක් තියෙනවා. තව moral/ethical truth, aesthetic truth, philosophical truth, journalistic truth වගේ සංකීර්ණ සංකලනයක තමයි ලෝකෙ දුවන්නෙ.

සාමාන්‍යයෙන් ගෙදරක ළමයෙක් හරි කවුරු හරි වැරැද්දක් කළාම, නැත්තං කපල් එකක් අතර ප්‍රශ්නෙක දි, නැත්තං පාරෙ මොකක් හරි ආරවුලක දි මිනිස්සු දේවල් තීරණය කරන්නෙ legal truth එක උඩ නෙවෙයි; ඒ වෙලාවෙ ඒ කන්ටෙක්ස්ට් එකට අදාළ ඒ ඒ පාර්ශ්ව විශ්වාස කරන truths ගාණක සංකීර්ණ කලවමක් හැටියට. එහෙම කරලා එන විසඳුමත් “පරම නිවැරදි” නොවෙන්න පුළුවන්. මොකද අපි මිනිස්සු නිසා අපි කාටවත් “පරම සත්‍ය” කියල දෙයක් තේරුම්ගන්න බෑ.

සමාජ සංවාදයේ සැබෑ අරමුණ කුමක්ද?

පවුල් ඇතුළෙ, නැදෑයෝ අතර, ගමේ අඳුරන මිනිස්සු අතර ගනුදෙනු ඔය වගේ සංකීර්ණ කාරණා උඩ විසඳගන්න පුළුවන් වුණාට සමාජයක් විශාල වෙන්න වෙන්න ඕක අමාරුයි. ඔය ප්‍රශ්නෙට රෝමන් කාරයෝ (සහ ඒ කාලෙ තිබුණු තවත් ලොකු අධිරාජ්‍ය) හොයාගත්ත perfect නොවන, ඒත් වැඩේට ප්‍රමාණවත් විසඳුමක් තමයි ඔය අනිත් සංකීර්ණ කාරණා ටික හලලා, කලින් හදාගත්ත කෝඩ් එකකට අනුව කළු/ සුදු ක්‍රමයට නඩු අහන එක. එකිනෙකා නොහඳුනන බිලියන ගණං මිනිස්සු ඉන්න සමාජවල මහා පරිමාණෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් මීට වඩා හොඳ ක්‍රමයක් දැනට අපි දන්නෙ නැති නිසා සහ ලෝකෙ සංකීර්ණ පද්ධති දුවන්නෙ ඔය රෝමන් කාරයන්ගෙ ක්‍රමයට නිසා අපට දැනට ඒකෙන් ගැලවෙන්න බෑ.

හැබැයි නිශ්චිත කෝඩ් එකකට අනුව උසාවියක් ඇතුළෙ තර්ක කරලා වැරදිකරු/ නිවැරදිකරු තීරණය කරලා social order එක maintain කරන, සහ කවුරු කැමති වුණත් අකැමති වුණත් ඒ තීරණය ක්‍රියාත්මක කරන්න බලය තියෙන දෙයක් ගැන social commentary එකක දෙපැත්තට බෙදිලා වාදකරගන්න එක තේරුමක් තියෙන වැඩක් කියල මට හිතෙන්නෙ නෑ. දැනට තියෙන නීති පද්ධතියට පටහැනි දෙයක් උඹ කරලා අහුවුණොත් කොහොමත් උඹව කුදලං ගිහින් හිරේ දානවා. ඒක තමයි legal truth එක. මුළු ෆේස්බුක් එක ම උඹ නිවැරදිකරු කියල තර්ක කළත් වැඩක් නෑ.

නීති වෙනස් කිරීම සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය

මම හිතන විදියට Facebook වගේ තැන්වල ඔය වගේ දෙයක් ගැන කතාකරන එකේ ම පොයින්ට් එක වෙන එකක්:

Legal truth කියන්නෙ කවුරු හරි මිනිස්සු පිරිසක් ලියපු abstract එකක්. ඒක විද්‍යාඥයෝ භෞතික ලෝකෙ නිරීක්ෂණය කරලා, පරීක්ෂණ කරලා හොයාගත්ත විශ්වය සම්බන්ධ scientific truth එකක්වත්, දෙවියන් වහන්සේ එළිදරව් කරපු religious truth එකක්වත් නෙවෙයි. ඒක ඒ නීතිය ලියන වෙලාවෙ තිබුණ ඒ සමාජයේ තිබුණු සදාචාරය, සංස්කෘතිය, ආගම, දේශපාලනය, අයිඩියලොජි ඇතුළු මෙකී නොකී නහුතයක් දේවල්වල බල තුලනය ඇතුළෙ හැදුණු දෙයක්.

ඔය කියපු හැම කාරණයක් ම හැම තිස්සෙ ම වෙනස් වෙමින් පවතින නිසා ඒ අනුව නීතිත් අඩු ගානෙ කාලෙකට සැරයක්වත් වෙනස් කරන්න වෙනවා. ඒකට තමයි පාර්ලිමේන්තුවට 225ක් යවලා තියෙන්නෙ. නීති හදන එක තමයි පාර්ලිමේන්තුවෙ ප්‍රධාන කාර්යය; “හොරු අල්ලන” එකවත් “රට සංවර්ධනය කරන” එකවත් නෙවෙයි.
නීතියෙන් වරදක් කියල අඳුන්වන දෙයක් සම්බන්ධ සිද්ධියක දි, සමාජයේ ප්‍රබල විදියට බෙදුණු අදහසක් තියෙනව නම්, ඒකෙන් පේන්නෙ අපි මිනිස්සු විදියට විශ්වාස කරන truths සහ අපි දැනට සම්මත කරගෙන ඉන්න legal truth එක අතර මොකක් හරි නොගැලපීමක් තියෙනවා කියන එක වෙන්න පුළුවන්.

අපිට වඩාත් ඓන්ද්‍රීය නීතියක් ලියාගැනීම

එතන දි අපි එකිනෙකා මිනිස්සු විදියට මේ ගැන විශ්වාස කරන truths මොනව ද කියන කතාබහ ඇතුළෙ තමයි අපිට සමාජයක් විදියට වඩා හොඳට එකඟ වෙන්න පුළුවන් legal truth එකක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නෙ. රෝමන් කාරයන්ගෙ නීතිවල තියෙන “අන්ධ ස්වභාවය” (නීතියේ දෙවඟනගෙ ඇස් වහල නෙ තියෙන්නෙ), බයිනරි ස්වභාවය සහ අනිත් සීමා නිසා සහ මිනිස්සු විදියට අපේ තියෙන සීමා නිසා perfect legal truth එකක් කියල එකක් කවදාවත් හදන්න බෑ.

හැබැයි legal truth එකට වඩා අපට ඓන්ද්‍රීය අපේ අනිත් truths මත පදනම් වෙලා යන ඩයලොග් එකකින් සමහර විට පුළුවන් අපි පොදුවේ වඩා එකඟ වෙන legal truth එකක් ලියන්න. මේ වගේ සංවාදයක තේරුමක් තියෙනව නම් තියෙන්නෙත් එතන ම තමයි: ඔය කියපු Scientific truth, religious truth, moral/ethical truth ආදිය සහ ඒවා ගැන අපට තියෙන අනිත් කියවීම්, අදහස්, ඒ අදහස්වලට තියෙන දේශපාලන බලය වගේ එකතුවෙලා හැදෙන සලාදෙට ගැළපෙන විදියට legal truth එක ලියාගන්න එක.

ඒ වගේ එකක් මැදට පැනලා, “නෑ නෑ, දැනට තියෙන දණ්ඩ නීති සංග්‍රහයේ අහවල් වගන්තිය මෙහෙයි…” කියල වැළලෙන එක තේරුමක් නෑ. මොකද දැනට තියෙන දණ්ඩ නීති සංග්‍රහය ගැන කාට හරි දැනගන්න ඕන නම් ලේසියෙන් ම ඒකේ PDF එකක් හරි මොකක් හරි හොයාගන්න පුළුවන් නෙ.

(සටහන | චන්දන ප්‍රසන්න)
නිදහස් ලේඛක
#truepatriotlk

nidahasa@gmail.com

(Chandana Prasanna ගේ ෆේස්බුක් පිටුවෙන්....)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...