2027 අයවැය, ජනතාවට සිතන්නට බොහෝ දේ ඉතිරි කළ අයවැයක් වෙලා. ඊට ප්‍රධානම සාධකය තමයි ජනාධිපති අනුරගේ ආර්ථික දැක්ම සහ විපක්ෂ නායක සජිත්ගේ ආර්ථික දැක්ම අතර ඇති වෙනසේ පිළිබිඹුව.
ජනාධිපති අනුර පැය 5 තිස්සේ කළ අයවැය කතාව ඇතුළේ ඇත්තටම මොකක්ද තිබුණේ?
2027 අවුරුද්ද වෙනුවෙන් ආණ්ඩුව අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 6,180ක්. ජනාධිපති අනුරගේ අයවැය කතාවට අනුව නම් රජයේ මූලික වියදම රුපියල් බිලියන 7,673ක්. ඒත් ඒකට දිට්වා ආපදා ප්‍රතිසංස්කරණවලට යෝජනා කරපු අමතර රුපියල් බිලියන 260ත් එකතු කළාම, රටේ මුළු වියදම රුපියල් බිලියන 7,933ක් වෙනවා. ඒ කියන්නේ අයවැය හිඟය රුපියල් බිලියන 1,753ක්.
සරලව කිව්වොත් රජය රුපියල් 100ක ආදායමක් උපයද්දී, රුපියල් 128කට ආසන්න මුදලක් වියදම් කරන්න ආණ්ඩුව සැලසුම් කරලා. මේකට රජය උත්තර හොයන්නත් ඕන, මිනිස්සුන්ට ජීවත්වෙන්න පුළුවන් රටක් හදන්නත් ඕන. ඒත් ජනාධිපති අනුර, දුප්පත් මිනිස්සු සහ මධ්‍යම පාන්තිකයා තමන්ගේ අයවැයේදී නොසලකා හැරලා.
බදු බරින් මිරිකෙන සාමාන්‍ය ජනතාව
රජය භාණ්ඩ හා සේවා මත අයකර ගන්න හදන බදුවල වටිනාකම රුපියල් බිලියන 3,592ක්. ඒක සමස්ත ආදායමෙන් 58%කට ළඟයි. මේකෙන් පේන්නේ රජයේ ආදායමෙන් විශාල කොටසක් භාණ්ඩ හා සේවා මත පනවන බදුවලින් ලබාගන්න රජය අපේක්ෂා කරනවා කියන එක. ඒ කියන්නේ ජනතාවට සීනි, පරිප්පු, තෙල්, ගෑස්, කිරිපිටි වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා හැම අවස්ථාවකම තමන්ගේ මුදල් පසුම්බියෙන් ලොකු කොටසක් රජයට බදු විදිහට ගෙවන්න සිද්ධ වෙලා.

2024 අනුර රට භාර ගනිද්දී, සෘජු බදු 25%ක් සහ වක්‍ර බදු 75%ක් විදිහට තමයි බදු අයකර ගැනීමේ සංයුතිය හැදිලා තිබුණේ. අනුර ජනාධිපතිවරණ වේදිකාවල කිව්වේ:
“බලන්න මේ පොඩි මිනිහා තලලා, පෙළලා පරිප්පු ඇටෙන්, සීනි ඇටෙන්, තෙල් ලීටරෙන් අසාධාරණ විදිහට බදු අයකරනවා, දුප්පත් මිනිහගෙන් අරන් පොහොසත් මිනිහට දෙන ආර්ථිකය අපි කණපිට හරවනවා, අපිට බලය දෙන්න අපි සෘජු බදු 40% වක්‍ර බදු 60% අතර බදු ප්‍රතිශත වෙනස් කරනවා” කියලා.
ඒත් 2027 තමන්ගේ අයවැයෙන් සෘජු බදු 23%කට අඩු කරපු අනුර වක්‍ර බදු 77% කළා. ඒ කියන්නේ අනුර කළේ සුපිරි ධනපති පන්තියෙන් භාණ්ඩාගාරය පුරව ගන්නවා වෙනුවට, එදාවේල හම්බකරන මනුස්සයාගේ ඉඳලා ඉහළ මධ්‍යම පන්තියට පහළින් ඉන්න 79%කගේ පඩි පතට විදලා, තමන් භාණ්ඩාගාරය පුරවනවා කියලා හුරේ දාන එකයි. ඒත් මේ විදිහට මහා භාණ්ඩාගාරය පිරෙව්වත්, රටේ සමස්ත ආදායමෙන් අඩකට වඩා භුක්ති විඳින්නේ ශ්‍රී ලංකාවේ ධනවත්ම 21%ක පිරිස කියන එක තමයි සත්‍යය.
කෘෂිකර්මාන්තයට එල්ල වූ අයවැය කප්පාදුව
එහෙම නම් රටේ ජනතාවගේ ආදායම වැඩි කරන්න, ජීවන වියදම අඩු කරන්න, අලුත් රැකියා අවස්ථා නිර්මාණය කරන්න අයවැයකින් යෝජනා ඉදිරිපත් වෙන්න ඕන. ඒත් අනුර ප්රමුඛ ආණ්ඩුව මේ අයවැය ඇතුළේ එහෙම දේකට උත්සාහ කරලා නෑ. රටේ අහිංසක ජනතාවගෙන් බදු අය කරලා මහා භාණ්ඩාගාරය පිරවීම ආර්ථික කළමනාකරණය නෙමෙයි.
සරල උදාහරණයක් ගත්තොත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කියන අංශයට 2026 අයවැයෙන් රුපියල් බිලියන 224ක් වෙන් කරද්දී, 2027 අයවැයෙන් අනුර වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 218යි. ඒ කියන්නේ රුපියල් බිලියන 6ක් කපලා දාලා. අපේ රටේ කෘෂිකාර්මික අංශයේ සේවය කරන ප්‍රමාණය 23.4%ක්. ජනාධිපති අනුර කොහොමද ඒ මිනිස්සු ගැන මෙහෙම නොසලකා හැරියේ?
ඉදිරියේදී එල් නිනෝ වගේම ලා නීනා තත්ත්වයන්ට අපේ රටත් සූදානම් කරන්න ඕන. ඒකෙදී කෘෂිකාර්මික ප්‍රජාවට සිදුවිය හැකි බලපෑම අති විශාලයි. ඒත් අනුර ජනාධිපතිවරයාට ඒකේ වගේ වගක් නැති බව මේ අයවැයෙන් හොඳටම පේන්න තියෙනවා.
පොහොසත් රටකට පොහොසත් ජනතාවක්
විපක්ෂ නායක සජිත් පහුගිය සිකුරාදා අයවැය විවාදය ආරම්භ කරමින් කරපු කතාව මේ වෙද්දී රටම කතා කරන මාතෘකාවක් වෙලා. ඇත්තටම සජිත් ප්‍රායෝගිකව ලස්සන රටක් හදන හැටි කියලා දුන්නා. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාරලා කිව්වේ, නව ලිබරල්වාදය කුඩු කරලා දාලා සමාජවාදය රටේ පැළකරන ආර්ථිකයක් එයාලා ආවම හදනවා කියලා.
“අපි හිටියා නම් IMF යන්නේ නෑ, අපි ආවම IMF එකත් එක්ක ඇති කර ගත්ත DSA එක වෙනස් කරනවා, විදුලි බිල 33%කින් අඩු කරනවා, වරායේ ගොඩබාන මිලට තෙල් ටික දෙනවා, කෑම බීමවලින් බදු ඉවත් කරනවා, සහල් ඒකාධිකාරිය කඩලා දානවා” වගේ ජනතාව රවටපු පච කප්පරක් කියලා තමයි අනුර බලය ගත්තේ. ඒක නම් කරලා තිබුණෙත්, “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” කියලා.
ඒත් අනුරගේ 3 වෙනි අයවැය තනිකරම නව ලිබරල්වාදී රනිල්ගේ ආර්ථික ප්රතිපත්තිවලටත් එහා ගිය ධනපති පන්තිය ගොඩදාන අයවැයක් වුණා. සජිත්ට ලිබරල් ආර්ථික දැක්ම ගැන අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නෑ. ඒත් අනුරට නම් දැන් ලිබරල් ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනිමින් ඉන්න බව අපට පැහැදිලියි.
අමතක වූ සමාජවාදී පොරොන්දු
අනුර කුමාරගේ ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබුණු, අවුරුදු තිහක් තිස්සේ ජවිපෙ පාක්ෂිකයන්ගේ හිත්වල අමු අමුවේ වගා කරපු සමාජවාදී බලාපොරොත්තු 2027 වෙද්දී අනුරට අමතක වුණේ කොහොමද?
එදා ධනවාදය ගැන කිව්වේ මොනවද? පෞද්ගලික අංශය ගැන කිව්වේ මොනවද? ව්‍යාපාරිකයන් ගැන කිව්වේ මොනවද? ආයෝජකයන් ගැන කිව්වේ මොනවද? ඒවා ඔක්කොම දැන් අනුරට අමතක වෙලා. ඒක විතරක් නෙමෙයි, 2001 චන්ද්‍රිකා රජය සමඟ ආණ්ඩු කරපු කාලේ ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන්නත් අනුරලා කතා කළා. සූර සරදියෙල් අයවැයක් ගැන එදා අනුරලා කියපු කතා රටටම මතක් කළේ විපක්ෂ නායක සජිත්.

සිකුරාදා අයවැය විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායක සජිත්, අනුර ඇතුළු ආණ්ඩුවට රිදෙන්නම දුන්නා. සජිත් ප්‍රේමදාස අනුරගේ මෙවර අයවැය හැඳින්වූයේ 'මොහොමඩ් අලි අයවැයක්' කියලා. සජිත් ඒකට හේතුව විදිහට කිව්වේ ජනතාවගේ බඩට ගහන අයවැයක් නිසා කියලා. ඇත්ත, මේ අයවැයෙන් දුප්පත් මනුස්සයාටවත්, පහළ මධ්‍යම පාන්තිකයාටවත්, මධ්‍යම පාන්තිකයාටවත් කිසිම සෙතක් සලසලා නෑ.
සජිත්ගේ මානුෂීය ධනවාදයේ දැක්ම
සිකුරාදා (13) වෙනිදා සජිත් අයවැය විවාදය ආරම්භ කරමින් කරපු ඒ කතාවේ පෙනුණු වැදගත්ම කාරණය තමයි ඔහු ආර්ථිකය දිහා බලන විදිහ. ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති, නිදහස් වෙළෙඳපොළ, පෞද්ගලික ව්‍යවසායකත්වය සහ ආයෝජන අවස්ථා ගැන කතා කරන අතරම ඒ ආර්ථික වර්ධනයේ ප්රතිලාභ සාමාන්‍ය ජනතාවටත් ලැබිය යුතු බව සජිත් අවධාරණය කළා.
ආර්ථිකය වර්ධනය කරන්න නම් අලුත් ව්‍යාපාරිකයින්ට අවස්ථාව දෙන්න ඕන. ආයෝජකයින්ට විශ්වාසයක් ඇති කරන්න ඕන. රට ඇතුළේ රැකියා බිහි කරන්න ඕන. ඒ වගේම එයින් උත්පාදනය වෙන ධනය සමාජයේ පහළම ස්ථරයටත් ගලා යන ක්‍රමවේදයක් හදන්න ඕන. මේක තමයි සජිත් අවුරුදු 6ක් තිස්සේ කියමින් යන මානුෂීය ධනවාදයේ මූලික අදහස. ධනවාදය සහ සමාජ සාධාරණත්වය එකිනෙකට විරුද්ධ දේවල් නොවන බව සජිත් හැම තිස්සෙම කියන්නේ ඒකයි.
යථාර්ථයක් වූ සජිත්ගේ අනාවැකි
සජිත් හැමතිස්සෙම කියමින් යන දේවල් කාලයාගේ ඇවෑමෙන් කොයිම මොහොතක හරි මේ මහපොළොවේ යථාර්ථයක් වෙන එක දැන් අනිවාර්යයෙන්ම දකින්න තියෙන දෙයක්. ඇත්තටම ඒක මාරම සීන් එකක්... පෑඩ් මෑන් කියලා බනිද්දී සජිත් කියමින් ගියපු දේ අද රටේ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිලා. ආර්ථික අර්බුදය උග්‍ර වෙන්න ඉස්සෙල්ලා IMF යන්න කියපු දේ අද රටේ සත්‍ය වෙලා.

මැදපෙරදිග ගැටුම් අස්සේ බලශක්ති අර්බුදයට සූදානම් වෙන්න කියපු දේ අද ඇත්ත වෙලා. ලෝකය ජයගන්න දරුවන්ට ස්මාර්ට් අධ්‍යාපනය දෙන්න ඕන කියපු දේ අද විෂය නිර්දේශයට ඇවිල්ලා. සජිත් පහුගිය දවස්වල කිව්වේ එල් නිනෝ තත්ත්වයට රටම සූදානම් කරමු කියලා. දැන් වෙද්දී ටිකෙන් ටික ඒකේ බලපෑම අඩු වැඩි වශයෙන් අපිට දැනෙන්න පටන් ගනිමින් තියෙනවා.
විරුද්ධ පක්ෂයේ නායකයා වෙච්ච පමණින් හැමදේටම විරුද්ධව කකුල් මාට්ටු දාන මිනිහෙක්, රටට කෙළ වෙනකම් බලන් ඉන්න මිනිහෙක් අපිට සජිත්ගෙන් දකින්න නෑ. ඒ නිසා සජිත්ගේ අයවැය කතාව දිහා බලද්දිත් අපිට පේන්නේ හුදෙක් අයවැයට විරුද්ධව කතා කරන විපක්ෂ නායකයෙක් නෙවෙයි. රටේ ආර්ථිකය ගොඩනැඟිය යුතු ආකාරය ගැන වෙනම දැක්මක් ඉදිරිපත් කරන දේශපාලන නායකයෙක්.
1%කට ලැම්බෝගිනි පදින ආර්ථිකයක් ජනාධිපති අනුර හදද්දී, 99%කට විට්ස් කාර් පදින්න පුළුවන් ආර්ථිකයක් හදන්න තමයි විපක්ෂ නායක සජිත්ට ඕනවෙලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස ඒකයි තමන්ගේ ආර්ථික දැක්ම ගැන කිසිදු පැකිළීමක් නැතුව කතා කරන්නේ. එයාට ඕන පොහොසත් රටක් වගේම, පොහොසත් ජනතාවක්.
(සටහන | බංගලා හන්දියේ ලියුම්කරු)



