The Leader News
BREAKING
ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●
Top Ad
විශේෂාංග

අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය

Pasan

Pasan

November 16, 2026 • 9:15 PM

අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටක අනාගතය තීරණය වන්නේ දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත ය.
  • ඒ අනුසාරයෙන් 2027 අයවැයෙන් අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.9%ක් වෙන් කිරීම පිළිබඳව මේ වන විට පුළුල් සංවාදයක් සහ විවේචනයක් ඇති වී තිබේ.
  • රජය පෙන්වා දෙන්නේ මෙය මෙරට ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන් කළ විශාලම ප්‍රතිපාදනය බවය.
  • හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කරන පරිදි රජය රුපියල් බිලියන 749ක් වෙන් කර ඇති අතර, 2023ට සාපේක්ෂව 2027 වන විට අධ්‍යාපන වියදම් 48.6%කින් ඉහළ ගොස් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

රටක අනාගතය තීරණය වන්නේ දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත ය. එබැවින් අධ්‍යාපනය යනු අයවැයේ තවත් වැය ශීර්ෂයක් නොව, මානව සම්පත, ආර්ථික ශක්තිය සහ සමාජ සාධාරණත්වය තීරණය කරන දිගුකාලීන ආයෝජනයකි. ඒ අනුසාරයෙන් 2027 අයවැයෙන් අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.9%ක් වෙන් කිරීම පිළිබඳව මේ වන විට පුළුල් සංවාදයක් සහ විවේචනයක් ඇති වී තිබේ.

රජය පෙන්වා දෙන්නේ මෙය මෙරට ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන් කළ විශාලම ප්‍රතිපාදනය බවය. හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කරන පරිදි රජය රුපියල් බිලියන 749ක් වෙන් කර ඇති අතර, 2023ට සාපේක්ෂව 2027 වන විට අධ්‍යාපන වියදම් 48.6%කින් ඉහළ ගොස් තිබේ. ඔහු පවසන අන්දමට අධ්‍යාපනය යනු දරුවන්ට අනාගතය ජය ගැනීමට දෙන අත්තටු ය.

එහෙත් විශාල මුදලක් වෙන් කිරීම සහ එමගින් ගුණාත්මක වෙනසක් ඇති කිරීම යනු කරුණු දෙකකි. අවධානය යොමු කළ යුත්තේ බිලියන 749 යන සංඛ්‍යාවට පමණක් නොව, වියදම් ව්‍යුහය, බෙදාහැරීම, ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ කෙරෙහි ය.

බිලියන 749 සහ 6% ඉලක්කය අතර පරතරය

Sri Lanka: PM Amarasuriya Caught Doubling Down on 6% Education Budget  Denial – Sri Lanka Guardian

via slguardian.org

මෙහිදී සංඛ්‍යා ගණනය කරන පදනම් පිළිබඳ පැහැදිලි බවක් අවශ්‍ය ය. අගමැතිනි හා අධ්‍යාපන ඇමතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇති අන්දමට සමස්ත අධ්‍යාපනයට රුපියල් බිලියන 749ක්, එනම් සමස්ත රාජ්‍ය වියදමෙන් 12.12%ක් වෙන් කර ඇති අතර, ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 104කි. එහෙත් අයවැය ලේඛනයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ දැක්වෙන්නේ බිලියන 328ක් පමණි. එබැවින් බිලියන 749 සහ බිලියන 328 එකම පදනමකින් ගණනය වූ සංඛ්‍යා ලෙස සැලකිය නොහැක. ඒ සඳහා අධ්‍යාපනයට අදාළ වෙනත් ආයතනවල වියදම් ඇතුළත් වන්නේද යන්න රජය පැහැදිලි කළ යුතු ය.

අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු ය යන ඉල්ලීම 2012 විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයේ සිට පැවත එන්නකි. එවක එම සටනේ මුල් පෙළේම සිටි වත්මන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ද එය දනී. යුනෙස්කෝ මාර්ගෝපදේශ අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% – 6%ක් හෝ රාජ්‍ය වියදමෙන් 15% – 20%ක් අධ්‍යාපනයට වෙන් කිරීම ජාත්‍යන්තර ඉලක්කයයි. එම පදනමින් 1.9% ප්‍රමාණවත් නැති බවට ඇති තර්කය සාධාරණ ය. එහෙත් එය එකවර ළඟා විය යුතු නීතිමය අවශ්‍යතාවක් නොව, ආර්ථික තත්ත්වය මත රඳා පවතින ඉලක්කයකි.

එබැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ යෝජනා කරන්නේ එකවර 6%ක් නොව, වසර 6-7ක් තුළ 3%, 4% ලෙස ක්‍රමානුකූලව එම ඉලක්කය කරා යන පැහැදිලි මූල්‍ය සැලැස්මක් අවශ්‍ය බවය. අධ්‍යාපන ආයෝජනය හදිසි දේශපාලන තීරණයක් නොව දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් විය යුතු ය.

ග්‍රාමීය පාසල් හිඟය සහ ගුරු පුරප්පාඩු අර්බුදය

අධ්‍යාපන ප්‍රජාවගේ ප්‍රධාන විවේචනයක් වන්නේ ග්‍රාමීය හා කුඩා පාසල්වල මූලික පහසුකම් හිඟයයි. ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ කුඩා ග්‍රාමීය පාසල් සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙළක් අයවැයෙන් ප්‍රමාණවත් ලෙස හඳුනාගත නොහැකි බව ය. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර පාසල්වල භෞතික හා මානව සම්පත් සකස් කළ යුතු බව ය.

නගරයේ ප්‍රධාන පාසලක දරුවාට පරිගණක, විද්‍යාගාර, පුස්තකාල ලැබුණ ද, ඇතැම් දුෂ්කර පාසල්වල පන්ති කාමරයක්, විෂය භාර ගුරුවරයකු හෝ පානීය ජලය, වැසිකිළි පහසුකම් පවා නැත. 2027 දී ස්මාර්ට් පන්ති කාමර 300ක් ස්ථාපිත කිරීමට සැලසුම් කළ ද, 1-6 ශ්‍රේණි සඳහා පමණක් පන්ති කාමර 10,000කට වැඩි ය. එබැවින් ස්මාර්ට් පන්ති කාමර කිහිපයක් පමණක් ඩිජිටල් පරතරය පියවීමට ප්‍රමාණවත් නැත. රජය පාසල් 4,570කට ස්මාර්ට් පුවරු සහ පාසල් 6,000කට අන්තර්ජාලය ලබාදෙන බව ප්‍රකාශ කළ ද, ඒවායේ ප්‍රතිඵල තීරණය වන්නේ ගුරු පුහුණුව, අඛණ්ඩ විදුලිය, අන්තර්ජාලය සහ ඉගෙනුම් ක්‍රියාවලියට ඒවා සම්බන්ධ කරන ආකාරය මත ය.

Access and Empowerment: Literacy and Development in Rural Sri Lanka

via slycantrust.org

තවත් බරපතළ ගැටලුවක් වන්නේ ගුරු හිඟයයි. දැනට ගුරු පුරප්පාඩු 46,000ක් පමණ ඇති අතර එය 56,000ක් දක්වා ඉහළ යා හැක. 2027 දී ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට යෝජනා වුව ද එය සමස්ත හිඟය පියවීමට ප්‍රමාණවත් නැත. ගුරු හිඟය දරුවන්ගේ ඉගෙනුම් අයිතියට සෘජුවම බලපායි. එබැවින් රජය නව විෂය නිර්දේශ හඳුන්වා දීමට පෙර පුරප්පාඩු පිරවීම, ගුරුවරුන් සාධාරණව බෙදාහැරීම සහ පුහුණුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යය. එසේ නොමැති නම් එය ආහාර නොමැතිව හිස් පිඟන් බෙදීමක් වනු ඇත.

විශ්වවිද්‍යාල පද්ධතියේ බුද්ධි ගලනය සහ ප්‍රතිපාදන ගැටලු

උසස් අධ්‍යාපනයේ ද තත්ත්වය බරපතළ ය. 2015 දී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සිසුන් 25,000ක් පමණ වූ අතර, දැන් එය 45,000ක් පමණ වේ. එහෙත් ආචාර්යවරුන් සංඛ්‍යාව ඊට සමානුපාතිකව වැඩි වී නැත. 2015 දී 5,800ක් වූ ආචාර්යවරුන් සංඛ්‍යාව 2022 දී 6,000ක් වුවද, විදේශගතවීම් නිසා දැන් 5,200ක් පමණ දක්වා අඩු වී තිබේ. වර්තමාන සිසුන් සංඛ්‍යාවට ගුණාත්මක අධ්‍යාපනයක් දීමට අවම වශයෙන් ආචාර්යවරුන් 12,000ක් අවශ්‍ය බව සම්මේලනය පෙන්වා දෙයි. විදේශගතවීමට හේතුව වැටුප් පමණක් නොව, පර්යේෂණ පහසුකම් හිඟය, අධ්‍යයන නිදහස, වෘත්තීය දියුණුව සහ ජීවන වියදම ද වේ.

එසේම විශ්වවිද්‍යාල ගොඩනැඟිලි හා විද්‍යාගාර සංවර්ධනයට වෙන් කර ඇති රුපියල් මිලියන 2,250ක් මූලික වශයෙන් ඇගයීම් හා සැලසුම් සඳහා බවත්, ඉදිකිරීම් 2028 දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් විවේචනයට ලක්ව තිබේ. දැනටමත් පහසුකම් හිඟයෙන් පීඩා විඳින පද්ධතියක සංවර්ධනය තවත් වසරකින් කල් දැමීම ගැටලුකාරී ය.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ මාසික දීමනාව රුපියල් 10,500 සිට 20,000 දක්වා ඉහළ නැංවීම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව රුපියල් 25,000කින් වැඩි කිරීම, බාහිර කථිකාචාර්යවරුන්ගේ පැයක ගෙවීම රුපියල් 1,500 සිට 4,500 දක්වා ඉහළ නැංවීම සහ පාසල් ඩිජිටල්කරණය, ගුරු පුහුණුව හා යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කිරීම මෙවර අයවැයේ වැදගත් පියවර වේ. එහෙත් ඒවා නියමිත කාලයට ක්‍රියාත්මක කිරීම, මුදල් නිසි ලෙස වැය කිරීම සහ ප්‍රතිඵල ඇගයීම අත්‍යවශ්‍ය ය.

වෙන් කළ මුදල් වැය කිරීමේ කාර්යක්ෂමතාව

අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීම පමණක් නොව වැය කිරීම ද ප්‍රශ්නයකි. 2024 දී අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව රුපියල් බිලියන 351කට වැඩි ප්‍රතිපාදන වැය නොවී ඉතිරි වූ බවට විගණන තොරතුරු පෙන්වා දෙයි. 2025 සහ 2026 වර්ෂවල ද ප්‍රතිපාදන වැය කිරීම අපේක්ෂිත මට්ටමේ නොතිබූ බව ගුරු සංගමය පෙන්වා දෙයි. එබැවින් බිලියන 749න් කොපමණ ප්‍රමාණයක් නියමිත කාලයට පාසල් හා විශ්වවිද්‍යාලවලට ලැබේද යන්න රජය වාර්ෂිකව ජනතාවට වාර්තා කළ යුතු අතර, ඒ සඳහා විවෘත තොරතුරු පද්ධතියක් අවශ්‍ය ය.

ආර්ථික අර්බුදය මැද 6% ඉලක්කය ගැන කතා කිරීමේදී රටේ සමස්ත තත්ත්වය ද නොසලකා හැරිය නොහැක. 2027 දී රජයේ ආදායම හා ප්‍රදාන බිලියන 6,180ක්, සමස්ත වියදම බිලියන 7,673ක් සහ ණය පොලී ගෙවීම් පමණක් බිලියන 2,643ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එබැවින් මධ්‍යකාලීන මූල්‍ය සැලැස්මක් අවශ්‍ය ය. එහෙත් ආර්ථික දුෂ්කරතා පෙන්වා අධ්‍යාපන ආයෝජනය අවම මට්ටමක තබා ගැනීම සාධාරණ නැත. අධ්‍යාපනය දුර්වල වුවහොත් එය හෙට දින ආර්ථිකයට ද සෘජුවම බලපායි.

"කොළඹට කිරි අපිට කැකිරි" පරතරය පියවීම

නිදහස් අධ්‍යාපනයේ අරමුණ වන්නේ දරුවාගේ පවුලේ ආර්ථිකය, ප්‍රදේශය හෝ සමාජ පසුබිම කුමක් වුවත් සෑම දරුවකුටම සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම ය. එහෙත් අදත් කොළඹ ප්‍රධාන පාසලක සහ දුෂ්කර ග්‍රාමීය, වතුකර, උතුරු-නැගෙනහිර පාසලක පහසුකම් අතර විශාල වෙනසක් ඇත. නගරයේ පාසල්වලට ආදි ශිෂ්‍ය හා දෙමාපිය සහාය ලැබුණ ද දුෂ්කර පාසල්වලට එය නැත. එබැවින් සෑම පාසලකටම සමාන ප්‍රමාණයක් දීම පමණක් නොව, වැඩි අවශ්‍යතා ඇති පාසල්වලට වැඩි ප්‍රතිපාදන දෙන සාධාරණ ක්‍රමවේදයක් අවශ්‍යය. විභාග පීඩනය, උපකාරක පන්ති මත යැපීම, පාසල් හැර යෑම සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පහසුකම් හිඟය ද අවධානයට ගත යුතුය. නැතිනම් “කොළඹට කිරි අපිට කැකිරි” යන අධ්‍යාපනික විෂමතාව පිළිබඳ පිරුළ අදට මෙන්ම හෙට දිනයට ද වලංගු වනු ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු විෂය නිර්දේශ වෙනස් කිරීම හෝ උපකරණ ලබාදීම පමණක් නොව, සමස්ත ක්‍රියාවලියේම වෙනසකි. ඒ සඳහා ගුරුවරුන්, විදුහල්පතිවරුන්, දෙමාපියන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශේෂඥයන්ගේ අදහස් ලබාගත යුතු අතර, ගුරුවරුන්ට ප්‍රමාණවත් පුහුණුව, පෙළපොත්, ගුරු මාර්ගෝපදේශ සහ තක්සේරු ක්‍රම නියමිත වේලාවට ලබාදිය යුතුය. එසේ නොමැතිව හුදෙක් “පැය අටේ” පරිපාලන තීරණ මත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් දරුවන් හා ගුරුවරුන් තවත් අසීරුතාවට පත්වේ.

සැබෑ ජයග්‍රහණය මනින මිනුම්දණ්ඩ

Literacy & Girls' Education Nonprofit at Work in Sri Lanka - Room to Read

Malaka Mp via roomtoread.org

6% ඉලක්කය කරා යන කාලසටහනක් සහිත ජාතික ප්‍රතිපත්තියක්, ගුරු පුරප්පාඩු ඉක්මනින් පිරවීම සහ සාධාරණ බෙදාහැරීම, ග්‍රාමීය හා දුෂ්කර පාසල්වල යටිතල පහසුකම්වලට විශේෂ ප්‍රමුඛතාවක් ලබාදීම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රඳවා ගැනීම හා පර්යේෂණ දියුණු කිරීම, වෙන් කරන මුදල් කාර්යක්ෂමව වැය වන බවට විනිවිදභාවයෙන් යුත් අධීක්ෂණයක්, සහ ප්‍රතිසංස්කරණ තීරණවලදී අධ්‍යාපන ප්‍රජාවගේ අදහස්වලට සවන් දීම යන කරුණු මත පදනම් වන සාධනීය ක්‍රියාවලියකට අවතීර්ණ විය යුතු ය.

මේ සියල්ලේම අවසාන ඉලක්කය වනුයේ දරුවාට ලැබෙන අධ්‍යාපනයයි. බිලියන 749 ඉතිහාසයේ වැදගත් ප්‍රතිපාදනයක් වුවද එය සියලු ගැටලු විසඳා අවසන් කළ බවට සාක්ෂියක් නොවේ. 1.9% පිළිබඳ විවාදය හුදෙක් දේශපාලන අවියක් නොවිය යුතු අතර, එය ගණනය කළ පදනම, සැබෑ අවශ්‍යතා සමඟ ගැළපීම සහ ඉදිරියේදී එය වැඩි කරන ආකාරය පිළිබඳ සංවාදයක් විය යුතුය.

අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම මෙන්ම එය නිසි ලෙස වැය වන බව සහතික කිරීම ද රජයේ වගකීමකි. ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම අධ්‍යාපන ප්‍රජාවගේ අයිතියක් පමණක් නොව සමාජ වගකීමකි. ආයෝජනයේ සාර්ථකත්වය මැනිය යුත්තේ අයවැය ලේඛනයේ බිලියන ගණනින් නොව, ගුරු හිඟය අඩු වූයේද, දුෂ්කර පාසල්වල දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබුණාද, විශ්වවිද්‍යාල පර්යේෂණ දියුණු වූයේද, තාක්ෂණික දැනුමෙන් යුතු තරුණ පරපුරක් බිහි වූයේද යන්න පදනම් කරගනිමිනි.

එබැවින් 1.9% විවාදයේ සැබෑ අරුත 6% ලබාගැනීමේ සංඛ්‍යාත්මක සටන පමණක් නොවේ. සෑම දරුවකුටම තම හැකියාවන් උපරිමයෙන් වර්ධනය කරගත හැකි, සමාන අවස්ථා සහිත, ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීමේ ජාතික අභියෝගයයි. අධ්‍යාපනය දරුවන්ට අත්තටු දෙන්නේ නම්, ඒ අත්තටු කොළඹ දරුවාට පමණක් නොව, ගමේ, වතුකරයේ, දුෂ්කර ප්‍රදේශයේ දරුවාටත් ලැබිය යුතු ය. එවිට පමණක් බිලියන 749ක ආයෝජනය සැබෑ අර්ථයෙන්ම රටේ අනාගතය ජය ගැනීම සඳහා කළ ආයෝජනයක් වනු ඇත. නමුත් එම ඉලක්කය සපුරාලීම බොරුවෙන් ජය ගන්නවාට වඩා ඉතා අසීරු බව ද කිව යුතු ය.

(සටහන | රීටා ජෙනට් පෙරේරා)
නිදහස් මාධ්‍යවේදිනී
madampagereetajenet@gmail.com


උපුටා ගැනීම - vinivida.lk

රීටා ජෙනට් පෙරේරා

නිදහස් මාධ්‍යවේදිනී

madampagereetajenet@gmail.com

View all stories by රීටා ජෙනට් පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...