වරණීය හවුල්කාරිත්වයන් (selective partnerships) මත වැඩිවන යැපීම මගින් ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ පොදු මූලධර්මවලට හානියක් නොවන බවට වගබලා ගැනීම අද දවසේ ඇති ප්‍රධානතම අභියෝගය බව මිලින්ද මොරගොඩ පවසයි.
ශ්‍රී ලංකාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම උපායමාර්ගික කටයුතු පිළිබඳ බුද්ධි මණ්ඩලයක් වන පාත්ෆයින්ඩර් පදනමේ (Pathfinder Foundation) නිර්මාතෘවරයා ද වන මිලින්ද මොරගොඩ ඒ බව සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ Hindustan Times පුවත්පතට විශේෂ ලිපියක් සම්පාදනය කරමිනි.
ඔහුගේ පෞද්ගලික අදහස් ඇතුළත් එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය මතු පළවේ.

1994 දී හෙන්රි කිසිංගර් (Henry Kissinger) සිය Diplomacy කෘතිය ප්‍රකාශයට පත් කරන විට සීතල යුද්ධය අවසන් වී තිබූ අතර, අභියෝගයකට ලක් නොවූ ගෝලීය බලවතා ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉස්මතු වී සිටියේය. ලිබරල් ප්රජාතන්ත්රවාදය, ජාත්‍යන්තර ආයතන සහ නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙළක් අනාගතය නිර්වචනය කරනු ඇතැයි යන්න පිළිබඳව එකල සැලකිය යුතු සුබවාදී බලාපොරොත්තුවක් පැවතුණි. නමුත් කිසිංගර් ඒ පිළිබඳව එතරම් ඒත්තු ගැන්වී නොසිටියේය.
සියවස් ගණනාවක යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රික කලාව පදනම් කර ගනිමින් ඔහු තර්ක කළේ, ජාත්‍යන්තර ස්ථාවරත්වය රඳා පවතින්නේ කිසියම් නිශ්චිත මතවාදයක ජයග්‍රහණය මත නොව, තරගකාරී ජාතික අවශ්‍යතා ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම මත බවයි. රාජ්‍ය තාන්ත්‍රිකභාවයට බලය සහ නීත්‍යානුකූලභාවය එකිනෙකට ගැළපීම මෙන්ම, කිසිදු තනි රාජ්‍යයක් අනෙක් රාජ්‍යයන් මත පාලනයකින් තොර ආධිපත්‍යයක් අත්පත් කර ගැනීම වැළැක්වීම අවශ්‍ය විය.
දශක තුනකට පසුවත් ඔහුගේ එම තර්කයන් නැවතත් අවධානයට ලක්විය යුතුය.
යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ 1945න් පසු ලෝක රටාව
රිචලියු (Richelieu), මෙටර්නිච් (Metternich) සහ බිස්මාර්ක් (Bismarck) නියෝජනය කළ යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රික සම්ප්රදාය, විල්සෝනියානු විඥානවාදයේ (Wilsonian idealism) ඇමරිකානු සම්ප්රදාය සමඟ කිසිංගර් සංසන්දනය කළේය. පළමුවැන්න තරගකාරී ජාතික අවශ්‍යතා කල්පවතින යථාර්ථයක් ලෙස පිළිගත් අතර, දෙවැන්න විශ්වීය මූලධර්ම, ප්රජාතන්ත්රවාදී වටිනාකම් සහ සාමූහික ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය.
මේ සම්ප්‍රදායන් දෙකම වටිනාකමකින් තොර නොවේ. පොදු නීති මගින් පාලනය වන ලෝකයක් ගොඩනැගීමේ අභිලාෂය තවමත් යුක්තිසහගතය. එහෙත්, බලය බෙදී යාම පිළිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වා පොදු වටිනාකම් වටා ජාත්‍යන්තර සබඳතා සංවිධානය කළ හැකිය යන උපකල්පනය නැවත නැවතත් යථාර්ථය හමුවේ අභියෝගයට ලක්ව ඇත.

1815 වියානා සම්මේලනය (Congress of Vienna) සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ විශිෂ්ට උදාහරණයක් ලෙස කිසිංගර් සැලකුවේය. නැපෝලියන් යුද්ධවලින් පසුව, යුරෝපයේ ප්‍රධාන බලවතුන් බල තුලනය සහ දේශපාලන නීත්‍යානුකූලභාවය ඒකාබද්ධ කරමින් එකඟතාවක් ගොඩනැගීය. එහි කල්පැවැත්ම රඳා පැවතියේ එදිරිවාදිකම් තුරන් කිරීම මත නොව, ස්ථාවරත්වය සඳහා සංයමය සහ අන්‍යෝන්‍ය අනුගත වීම අවශ්‍ය බව හඳුනා ගැනීම මතය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ස්ථාපිත වූ ජාත්‍යන්තර පිළිවෙළ මීට වෙනස් හැඩගැස්මක් පිළිබිඹු කළේය. ඇමරිකානු ආර්ථික හා මිලිටරි ප්‍රමුඛතාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රෙටන් වුඩ්ස් (Bretton Woods) ආයතන සහ සන්ධාන ජාලයක් සීතල යුද්ධයෙන් නොනැසී පැවති පද්ධතියකට අඩිතාලම දැමීය. එහෙත් මෙම පිළිවෙළ කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම විශ්වීය වූයේ හෝ බල දේශපාලනයෙන් තොර වූයේ නැත. එහි ආයතන බොහෝ දුරට පිළිබිඹු කළේ 1945 ජයග්‍රාහී බලවතුන්ගේ තත්ත්වයන් සහ අවශ්‍යතාය.
වෙනස් වන ගෝලීය බල ව්‍යුහය සහ කුඩා සන්ධානවල නැගීම
අද වන විට එම තත්ත්වයන් වෙනස් වී ඇත. චීනයේ නැගී සිටීම, ඉන්දියාවේ වර්ධනය වන බලපෑම, රුසියාවේ යළි පණ ගැන්වුණු භූ-දේශපාලනික ස්ථාවරය සහ මධ්‍යම බලවතුන්ගේ (middle powers) ව්‍යාප්ත වන බර ජාත්‍යන්තර භූ දර්ශනය පරිවර්තනය කරමින් සිටී. ස්ථාපිත බහුපාර්ශ්වික ආයතන තරගකාරී අවශ්‍යතා සමථයකට පත් කිරීමටත් සාමූහික විසඳුම් ලබා දීමටත් වැඩි වැඩියෙන් අරගල කරයි. නමුත් මෙම පරිවර්තනය බලය නැවත බෙදා හැරීමකින් ඔබ්බට යන්නකි. අප දකිමින් සිටින්නේ ජාත්‍යන්තර බලය ක්‍රියාත්මක වන ව්‍යුහයේ මූලික වෙනසකි.
සාම්ප්‍රදායික ජාත්‍යන්තර සංවිධානවලට සමගාමීව කුඩා උපායමාර්ගික හවුල්කාරිත්වයන්, කුඩා බහුපාර්ශ්වික කණ්ඩායම් (minilateral groupings), ආරක්ෂක සංවාද, ආර්ථික කොරිඩෝ සහ යටිතල පහසුකම් මුලපිරීම් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. AUKUS, Quad සහ I2U2 උපායමාර්ගික සහයෝගීතාවයේ විවිධ ස්වරූප විදහා දක්වයි. ඉන්දියා-මැදපෙරදිග-යුරෝපා ආර්ථික කොරිඩෝව (IMEC) සහ චීනයේ එක් තීරයක් එක් මාවතක් (Belt and Road Initiative) සම්බන්ධතාවය සහ ආර්ථික බලපෑම සඳහා වන ප්‍රතිවිරුද්ධ ප්රවේශයන් නියෝජනය කරයි. BRICS සහ ෂැංහයි සහයෝගීතා සංවිධානය (SCO) දේශපාලනික හා ආර්ථික සම්බන්ධීකරණය සඳහා වේදිකා සපයන අතර, ඉන්දු-පැසිෆික් කලාපය උපායමාර්ගික මැදිහත්වීම් සඳහා වන සංවිධානාත්මක රාමුවක් බවට පත්ව ඇත.
Pax Silica සහ සාම මණ්ඩලය (Board of Peace) ඇතුළු නව මුලපිරීම් තාක්ෂණය සහ සැපයුම් දාම ආරක්ෂාවේ සිට ගැටුම් කළමනාකරණය දක්වා විහිදෙන නැගී එන විධිවිධානවල විවිධත්වය තවදුරටත් පැහැදිලි කරයි. සමහරක් කල්පවතින ආයතන බවට වර්ධනය විය හැකි අතර අනෙක්වා තාවකාලික, පර්යේෂණාත්මක හෝ තත්ත්වයන් වෙනස් වන විට ගම්‍යතාව නැති වී යන ඒවා විය හැකිය. ඒවා එකිනෙක මත අතිච්ඡාදනය වීමට, තරග කිරීමට හෝ එකිනෙකට අනුපූරක වීමට ඉඩ ඇත. මේවායේ ව්‍යාප්තිය වැදගත් යථාර්ථයක් හෙළි කරයි: එනම්, තම උපායමාර්ගික අවශ්‍යතා ඉටු කරන විධිවිධාන අනුගමනය කිරීමට පෙර විශ්වීය එකඟතාවක් ඇති වන තෙක් බලා සිටීමට රටවල් සූදානම් නැති බවයි.
තාක්ෂණික විප්ලවය සහ සාම්ප්‍රදායික ව්‍යුහයන්ගේ අනාගතය
මෙහිදී ඇති අභියෝගය වන්නේ, වරණීය හවුල්කාරිත්වයන් මත වැඩිවන යැපීම මගින් ස්වෛරීභාවය, ජාත්‍යන්තර නීතිය සහ කුඩා රාජ්‍යයන්ගේ යුක්තිසහගත අවශ්‍යතා පිළිබඳ පොදු මූලධර්මවලට හානියක් නොවන බවට වගබලා ගැනීමයි. පෙර නොවූ විරූ තාක්ෂණික වෙනස්කම් මගින් මෙම පරිවර්තනය වේගවත් වෙමින් පවතී. කෘත්‍රිම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය, අර්ධ සන්නායක (semiconductors), ක්වොන්ටම් පරිගණකකරණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ උසස් සන්නිවේදන තාක්ෂණයන් ආර්ථික තරගකාරිත්වය සහ ජාතික ආරක්ෂාව ප්‍රතිනිර්මාණය කරමින් සිටී. ජාතික බලය අත්පත් කර ගන්නා, සංවිධානය කරන සහ ප්රක්ෂේපණය කරන ආකාරය තාක්ෂණය විසින් වැඩි වැඩියෙන් තීරණය කරනු ලබයි.
වෙනත් යුගයක් සඳහා නිර්මාණය කරන ලද සාම්ප්‍රදායික ව්‍යුහයන් පරිණාමය වීමට සිදුවනු ඇත. විශේෂිත තාක්ෂණයන්, සැපයුම් දාම සහ ආරක්ෂක අභියෝග වටා නව හවුල්කාරිත්වයන් බිහිවනු ඇති අතර, අදාළව පැවතීමට නම් ස්ථාපිත විධිවිධාන ඊට අනුගත විය යුතුය. ජාත්‍යන්තර සබඳතා ව්‍යුහය පරම්පරා ගණනාවකට ස්ථාවරව තබා ගත හැකිය යන උපකල්පනයම දැන් යල් පැන ගොස් තිබිය හැකිය.
අභියෝගය වන්නේ බහුපාර්ශ්විකවාදය වෙනුවට කුඩා සන්ධාන (minilateralism) හෝ ස්ථාපිත ආයතන වෙනුවට නව කණ්ඩායම් ආදේශ කිරීම පමණක් නොවේ. එය විවිධ විධිවිධානවලට සහජීවනයෙන් පැවතීමට සහ පරිණාමය වීමට හැකි අනුවර්තනය විය හැකි ජාත්‍යන්තර ව්‍යුහයක් සංවර්ධනය කිරීමයි. විශ්වීය ආයතන සහ ජාත්‍යන්තර නීතිය අත්‍යවශ්‍ය වුවද, ඒවායේ සඵලතාව අවසානයේ රඳා පවතින්නේ දේශපාලනික හා උපායමාර්ගික යථාර්ථයන්ට ඉඩ සැලසීම මතය.
නව ලෝක රටාවේ නිර්මාතෘවරයෙකු වීමට ඉන්දියාවට ඇති අවස්ථාව

ඉන්දියාවට මෙය අවස්ථාවක් මෙන්ම වගකීමක් ද ඉදිරිපත් කරයි. වර්ධනය වන ජාත්‍යන්තර බලපෑමක් ඇති ප්‍රධාන ආර්ථික හා මිලිටරි බලවතෙකු ලෙස, මෙම නැගී එන ව්‍යුහය හැඩගැස්වීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව හොඳ ස්ථානයක සිටී. Quad, BRICS සහ SCO යන සංවිධානවල ඉන්දියාවේ සහභාගීත්වය, තනි උපායමාර්ගික කඳවුරකට සීමා නොවී විවිධ භූ-දේශපාලනික රාමු හරහා කටයුතු කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරයි.
අන් අය විසින් නිර්මාණය කරන ලද විධිවිධානවල හුදු සහභාගිවන්නෙකු වීමට වඩා නැගී එන ලෝක පිළිවෙළේ නිර්මාතෘවරයෙකු (architect) වීමට ඉන්දියාව අපේක්ෂා කළ යුතුය. මේ සඳහා හවුල්කාරිත්වයන් ආරම්භ කිරීම, සන්ධාන ගොඩනැගීම, කලාපීය ස්ථාවරත්වයට දායක වීම සහ තාක්ෂණික හා ආර්ථික තරගකාරිත්වය පාලනය කරන නීති සම්පාදනය කිරීමට උපකාර කිරීම අවශ්‍ය වේ. අනෙකුත් නැගී එන බලවතුන් ද වැඩි නියෝජනයක් ඉල්ලා සිටීමෙන් ඔබ්බට ගොස් වැඩි වගකීමක් භාර ගැනීම දෙසට ගමන් කළ යුතුය.
බහුධ්‍රැවීයතාව (Multipolarity) ඉබේම ස්ථාවරත්වය ඇති නොකරයි. සංයමය, අන්‍යෝන්‍ය අනුගත වීම සහ යුක්තිසහගත තරගකාරී අවශ්‍යතා හඳුනා ගැනීමකින් තොරව, එය බෙදීම් සහ ගැටුම් ඇති කළ හැකිය. අභියෝගය වන්නේ තරගකාරිත්වය ගැටුමක් බවට පත්වීමට ඉඩ නොදී කළමනාකරණය කරන වගකිවයුතු බහුධ්රැවීයතාවක් වර්ධනය කිරීමයි.
අතීතය රැකීම නොව අනාගතය ගොඩනැගීම
කිසිංගර්ගේ උරුමය තවමත් විවාදාත්මක වන අතර, සදාචාරය හෝ ජාත්‍යන්තර නීතිය නොසලකා හරිමින් අනුගමනය කරන යථාර්ථවාදය (realism) දුර්වලයා මත බලවතා ආධිපත්‍යය පැතිරවීමට නිදහසට කරුණක් විය හැකිය. එහෙත් යථාර්ථවාදය ප්‍රතික්ෂේප කිරීමෙන් එය විස්තර කරන යථාර්ථයන් අතුරුදහන් නොවේ.
අද දවසේ රාජ්‍ය නායකයින් හමුවේ ඇති කාර්යය වන්නේ නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙළක් පිළිබඳ අභිලාෂය අත්හැරීම නොව, බලයට අනුගත වීමකින් තොරව එවැනි පිළිවෙළක් පවත්වා ගත නොහැකි බව හඳුනා ගැනීමයි.
හෙන්රි කිසිංගර්
ජාත්‍යන්තර ස්ථාවරත්වය පරිපූර්ණ එකඟතාවකින් කලාතුරකින් මතුවන බව කිසිංගර් වටහා ගත්තේය. එය බොහෝ විට තම අභිලාෂයන්ගේ සීමාවන් හඳුනා ගන්නා රාජ්‍යයන් අතර ඇතිවන අසම්පූර්ණ සම්මුතීන්ගේ ප්රතිඵලයකි. බලය සහ එය ක්‍රියාත්මක වන ව්‍යුහයන් යන දෙකම නිරන්තරයෙන් වෙනස් වන ලෝකයක, සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකභාවය රඳා පවතින්නේ ඊයේ පැවති ව්‍යුහය ආරක්ෂා කිරීම මත නොව, හෙට දවසේ ව්‍යුහය ගොඩනඟන්නේ කෙසේද යන්න දැන ගැනීම මත බව සමහරවිට වඩාත්ම කල්පවතින පාඩම විය හැකිය.
වැඩිදුර තොරතුරු සහ මූලාශ්‍ර සබැඳි:
මුල් ලිපිය (Hindustan Times):
පාත්ෆයින්ඩර් පදනම (Pathfinder Foundation):



