The Leader News
BREAKING
නොපෙනෙන මිනිස් ජීවිතවල ගුප්ත ගංගාව●සාෆ් පාපන්දු ශූරතාවලියට අද සිට VAR ක්‍රමවේදය!●බහුපාර්ශ්විකවාදයෙන් ඔබ්බට ගෝලීය බලයේ නව නීති සහ ඉන්දියාවේ අභියෝග | මිලින්ද මොරගොඩ●‘කස්තුරි සුවඳ’ පිටුපස සැඟවුණ දුගඳ කතාවක්●අතීතයේ අපේ වගකීම පක්ෂය වුණාට දැන් අපේ වගකීම රටේ ජනතාවයි - ජනාධිපති අනුර කුමාර දිසානායක●70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය●බෙහෙත් කර්මාන්තශාලා හැදුවට ඩොලර් ඉතිරි වෙයිද? සැබෑ ආර්ථික කතාව මෙන්න●ආයෝජකයින් දිනාගැනීමට නම් 'නම' වෙනුවට 'ක්‍රමය' වෙනස් විය යුතුයි●ශ්‍රී ලාංකිකයන් පිරිසක් කැනඩා සිහිනයෙන් රැවටූ ජාවාරම්කරුවෙකු ඉන්දියාවේදී කොටුවෙයි●අයවැයෙන් වෙන් කළ ට්‍රිලියන 2 ජනතාව අතට යාවිද?●
Top Ad
සාහිත්‍ය - කලා

නොපෙනෙන මිනිස් ජීවිතවල ගුප්ත ගංගාව

Nethmini

Nethmini

November 14, 2026 • 2:32 PM

නොපෙනෙන මිනිස් ජීවිතවල ගුප්ත ගංගාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාහිත්‍ය කෘතියක් යනු හුදෙක් මිනිසුන්ගේ ජීවිත කතා එකතුවක් නොවේ.
  • එවැනි සාහිත්‍යමය හැකියාවක් විවිධ පරම්පරාවල ඔඩියා ලේඛකයින් ගේ නිර්මාණ තිහක් එකට ගොනු කරමින් සිංහල පාඨකයා වෙත ගෙන එන කෘතියක් ලෙස ‘ ගුප්ත ගංගාව සහ තවත් ඔඩියා කෙටිකතා’ හැඳින්විය හැකිය.
  • මනු දාෂ් විසින් සංස්කරණය කරන ලද The Big Book of Odia Literature කෘතියේ කෙටිකතා අංශයෙන් තෝරාගත් නිර්මාණ තිහක සිංහල පරිවර්තනයක් ලෙස මෙම කෘතිය සකස් වී තිබේ.
  • හොරගල විමලතිස්ස හිමි, අසිත්අංජන සෙනෙවිරත්න සහ මොහාන් ධර්මරත්න යන පරිවර්තකයින් ගේ දායකත්වයෙන් එය 2026 වසරේ පළ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සාහිත්‍ය කෘතියක් යනු හුදෙක් මිනිසුන්ගේ ජීවිත කතා එකතුවක් නොවේ. එය එක්තරා සමාජයක ජීවන අත්දැකීම්, සංස්කෘතික මතක, අභ්‍යන්තර ගැටුම්, විශ්වාස, අවිශ්වාස, ආශා සහ වේදනා පිළිබඳ නිර්මාණාත්මක සාක්ෂියකි. විශේෂයෙන් කෙටිකතාව බඳු සංක්ෂිප්ත සාහිත්‍ය ආකෘතියක් තුළ මිනිස් ජීවිතයක විශාල පරාසයක් කුඩා සිදුවීමක්, චරිතයක් හෝ සංකේතයක් මඟින් නිරූපණය කළ හැකි ය. එවැනි සාහිත්‍යමය හැකියාවක් විවිධ පරම්පරාවල ඔඩියා ලේඛකයින් ගේ නිර්මාණ තිහක් එකට ගොනු කරමින් සිංහල පාඨකයා වෙත ගෙන එන කෘතියක් ලෙස ‘ගුප්ත ගංගාව සහ තවත් ඔඩියා කෙටිකතා’ හැඳින්විය හැකිය.

මනු දාෂ් විසින් සංස්කරණය කරන ලද The Big Book of Odia Literature කෘතියේ කෙටිකතා අංශයෙන් තෝරාගත් නිර්මාණ තිහක සිංහල පරිවර්තනයක් ලෙස මෙම කෘතිය සකස් වී තිබේ. හොරගල විමලතිස්ස හිමි, අසිත්අංජන සෙනෙවිරත්න සහ මොහාන් ධර්මරත්න යන පරිවර්තකයින් ගේ දායකත්වයෙන් එය 2026 වසරේ පළ කර ඇත.

සාහිත්‍යය වෙනස්වන ස්වරූප පිළිබඳ පුළුල් දෘෂ්ටියක්

සැබැවින් ම මෙය කෙටිකතා එකතුවක් පමණක් නොව, ඉන්දියාවේ ඔඩියා සාහිත්‍ය සම්ප්‍රදාය සහ සිංහල පාඨක සමාජය අතර සංස්කෘතික හා සාහිත්‍යමය සම්බන්ධතාවක් ගොඩනගන ප්‍රයත්නයක් ලෙස ද හැඳින්විය හැකි ය.

මෙම කෘතිය කියවීමේ දී පළමුවෙන්ම අවධානයට ලක්වන්නේ එහි අන්තර්ගත කතා තිහ එකම කාලයකට, එකම සමාජ පසුබිමකට හෝ එකම සාහිත්‍යමය ශෛලියකට සීමා නොවීම ය. විවිධ පරම්පරාවලට අයත් ලේඛකයින් ගේ නිර්මාණ මෙහි අන්තර්ගත බැවින් ඔඩියා සමාජයේ සහ සාහිත්‍යයේ වෙනස්වන ස්වරූප පිළිබඳ පුළුල් දෘෂ්ටියක් පාඨකයාට ලැබේ.

ගැමි ජීවිතය, කෘෂිකාර්මික ශ්‍රමය, දරිද්‍රතාව, නාගරික පරිසරය, ආගමික විශ්වාස, දේශපාලන බලය, රාජ්‍ය ආයතන සහ පුද්ගල මනෝභාව යන විවිධ ක්ෂේත්‍ර මෙම කතා තුළින් නිරූපණය වේ. එම විවිධත්වය කෘතියේ දුර්වලතාවක් නොව, එහි ප්‍රධාන සාහිත්‍යමය ශක්තියක් ලෙස ගත යුතු ය.

බැහැර කළ මිනිසුන් ගේ ජීවිත පිළිබඳ අවධානය

කෙසේ වෙතත්, මෙම නිර්මාණ එකිනෙකින් වෙන්ව පවතින ස්වාධීන කතා වුව ද, ඒවායේ අභ්‍යන්තරයෙන් දිවෙන පොදු මානුෂීය සංවේදනයක් හඳුනාගත හැකි ය. එය වන්නේ සමාජය විසින් නොසලකා හරින ලද, අඩු වටිනාකමක් ලබා දෙන ලද හෝ බලවත් සමාජ කණ්ඩායම්වල අවධානයෙන් බැහැර කළ මිනිසුන් ගේ ජීවිත පිළිබඳ අවධානය යි.

සමාජයේ පහළ ස්ථරවල ජීවත් වන පුද්ගලයින්, දරිද්‍රතාවෙන් පීඩිත මිනිසුන්, කුල සහ පංති භේද හේතුවෙන් අසාධාරණයට ලක්වූවන් සහ ආර්ථික හෝ සමාජ බලයක් නොමැති පුද්ගලයන් මෙහි දී හුදෙක් පසුබිම් චරිත බවට පත් නොවේ. ඔවුන් ගේ ජීවිත, වේදනා සහ අභ්‍යන්තර ලෝකය කතාවේ කේන්ද්‍රය බවට පත්වේ. මෙහි වැදගත්කම වන්නේ දුප්පත්කම හෝ සමාජ අසාධාරණය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පමණක් ලේඛකයින් සෑහීමකට පත් නොවීම ය. ඔවහු එම තත්ත්ව තුළ ජීවත් වන මිනිසා ගේ මනුෂ්‍යත්වය, ආත්මගරුත්වය සහ ජීවිතය පිළිබඳ අපේක්ෂා ද විමසා බලති.

කෘතියෙහි ප්‍රබල සාහිත්‍යමය කාර්යය

ඇතැම් චරිත සමාජයට අත්‍යවශ්‍ය සේවාවක් සපයන නමුත් එම සමාජය තුළ ම අවමානයට සහ කොන්කිරීමට ලක්වෙයි. තවත් චරිත තමන්ගේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා දෛනික අරගලයක නිරත වෙති. එබඳු චරිත නිරූපණය තුළින් කතුවරුන් මතු කරන්නේ එක් පුද්ගලයකු ගේ දුක්ඛිත ඉරණම පමණක් නොවේ; එම ඉරණම නිර්මාණය කරන සමාජ ව්‍යුහය පිළිබඳ ප්‍රශ්නය යි. මෙම සමාජ විමර්ශනය තුළ කුල හා පංති භේද පිළිබඳ අවධානය විශේෂයෙන් කැපී පෙනේ. මිනිසකු ගේ වටිනාකම ඔහු ගේ ශ්‍රමය, ගුණය හෝ මානුෂීය හැකියාව මත නොව, උපත, වෘත්තිය, ආර්ථික තත්ත්වය සහ සමාජ පිළිගැනීම මත තීරණය කරන ආකාරය මෙම නිර්මාණ කිහිපයකින්ම විවිධ මට්ටම්වලින් විමසා බැලේ. මෙහි දී සාහිත්‍යය සමාජයේ පවතින අසාධාරණය පිළිබඳ සෘජු විරෝධයක් පමණක් නොව, පාඨකයාගේ සිත තුළ ප්‍රශ්න කිරීමක් ඇති කරන මාධ්‍යයක් බවට පත්වේ. තමන් සාමාන්‍යයෙන් නොදකින හෝ දැකීමට අකමැති මිනිස් ජීවිත දෙස නැවත හැරී බැලීමට පාඨකයාට බල කිරීම එහි ප්‍රබල සාහිත්‍යමය කාර්යයකි.

ආගම භාවිත කරන මිනිසා ගේ අරමුණ සහ හැසිරීම

ස්ත්‍රිය සහ ඇගේ සමාජ පැවැත්ම පිළිබඳ නිරූපණය ද මෙම කෘතියේ තවත් වැදගත් තේමාත්මක පරාසයකි. පුරුෂාධිපත්‍යය, විවාහය, ලිංගිකත්වය, සමාජ සම්මත, පවුල් සම්බන්ධතා සහ ස්ත්‍රිය කෙරෙහි සමාජය පනවන සීමා යන කරුණු විවිධ කතා තුළින් මතු වේ. ඇතැම් අවස්ථාවල ස්ත්‍රිය ගේ ශරීරය සහ හැසිරීම සමාජ විනිශ්චයට ලක්වන ආකාරය නිරූපණය වන අතර, තවත් අවස්ථාවල ඇගේ අභ්‍යන්තර ආශා, තීරණ සහ නිදහස පිළිබඳ ගැටලු ඉස්මතු වේ. මේ අනුව ස්ත්‍රී චරිත හුදෙක් පුරුෂ චරිතවල ජීවිතයට අනුබද්ධ අංග ලෙස පමණක් නොව, තමන්ටම ආවේණික වූ අත්දැකීම් සහ ගැටුම් සහිත පුද්ගලයින් ලෙස ද කියවිය හැකි ය.

ආගම සහ ආගමික විශ්වාස සම්බන්ධයෙන් ද මෙම කතා එකම ආකාරයක විනිශ්චයකට සීමා නොවේ. ආගමික චාරිත්‍ර, පූජකයින්, ආධ්‍යාත්මික නායකත්වය සහ ජන විශ්වාස මිනිස් ජීවිතයට බලපාන ආකාරය ඒවා තුළින් නිරූපණය කරයි. එහෙත් එම නිරූපණය සරල ආගමික විරෝධයක් ලෙස කියවීම සුදුසු නොවේ.ඇතැම් විට විශ්වාසය මිනිසාට සැනසීමක් සහ අර්ථයක් ලබා දෙයි. තවත් විටෙක එම විශ්වාසය ම බලය, වංචාව හෝ සමාජ පාලනය සඳහා භාවිත වෙයි. මෙහි දී ලේඛකයින් ප්‍රශ්න කරන්නේ ආගමික අදහසක පවතින වටිනාකම පමණක් නොව, එය භාවිත කරන මිනිසා ගේ අරමුණ සහ හැසිරීම ද වේ.

 බලය, මිනිසා ගේ ජිවිතය පාලනය කරන ආකාරය

ධර්මය දේශනා කරන සමාජය තුළම ධර්මයට පටහැනි ක්‍රියා සිදුවිය හැකි බව මෙම නිර්මාණ මගින් මතු කරන විවේචනාත්මක අදහසකි. දේශපාලන බලය සහ රාජ්‍ය ආයතන පිළිබඳ නිරූපණය ද කෘතියට තවත් සමාජ විවේචනාත්මක මානයක් එක් කරයි. නීතිය, පරිපාලනය, බදු කාර්යාලය, රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නායකයින් සහ මහජන උත්සව යනාදි ආයතනික පසුබිම් තුළින් බලය ක්‍රියාත්මක වන ආකාරය කතා කිහිපයකින් ම විමසා බැලේ. විශේෂයෙන් රාජ්‍ය ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය, නිලධාරීන් ගේ වගකීම් විරහිතභාවය, උත්සව සංවිධානය සහ මහජන ප්‍රතිරූපය පවත්වා ගැනීම අතර ඇති පරස්පරතාව උපහාසාත්මක ලෙස නිරූපණය වන අවස්ථා දක්නට ලැබේ. එබඳු කතා තුළින් පෙනී යන්නේ බලය යනු ඉහළ තනතුරකින් පමණක් නොව, දෛනික පරිපාලන ක්‍රියාවලිය තුළින් ද මිනිසා ගේ ජීවිතය පාලනය කරන බලවේගයක් බවයි. මෙහිදී උපහාසය වැදගත් සාහිත්‍ය උපක්‍රමයක් බවට පත්වේ.

කෘෂිකාර්මික ජීවිතය සහ ශ්‍රමය පිළිබඳ සංවේදනය

සමාජයේ පවතින විකෘතිතා, වංචා සහ අර්ථ විරහිත ආයතනික චර්යා සෘජුව හෙළා දැකීම වෙනුවට ඒවායේ ම අභ්‍යන්තර විහිළුව පාඨකයාට පෙන්වීමෙන් ලේඛකයින් සිය විවේචනය වඩාත් තියුණු කරයි. එහෙත් කෘතිය උපහාසයට පමණක් සීමා නොවේ. මිනිස් ජීවිතයේ වේදනාත්මක සහ සංවේදී අවස්ථා නිරූපණය කිරීමේ දී එය ගැඹුරු මානුෂීය ස්වරයක් ද අත්කර ගනී.

කතා කිහිපයකම ස්වභාවධර්මය, ගංගාව, ගස්වැල්, කෙත්වතු, සතුන් සහ දෛනික ජීවිතයේ හමුවන සාමාන්‍ය වස්තු සංකේතාත්මක අර්ථ ලබා ගනී. ඒවා හුදෙක් පරිසරය විස්තර කරන අංග නොවේ. ඇතැම් විට මිනිසා ගේ මතකය, අහිමිවීම, බලාපොරොත්තුව හෝ ජීවිතයේ අනියතභාවය ඒවා තුළින් නිරූපණය වේ.

‘ගොයම් කාව්‍ය’ බඳු නිර්මාණයක් තුළ කෘෂිකාර්මික ජීවිතය සහ ශ්‍රමය පිළිබඳ සංවේදනය ඉස්මතු වන අතර, ගංගාව බඳු සංකේතයක් වෙනත් අවස්ථාවල සමාජයේ සැඟවී පවතින සත්‍යයන් වෙත පාඨකයා යොමු කරයි. එමගින් ස්වභාවධර්මය සහ මිනිස් සමාජය අතර ඇති සම්බන්ධය ද කෘතියේ අර්ථ පරාසයට එක් වේ.

කතාවල අවසානය පාඨකයාට සම්පූර්ණ පිළිතුරක් ලබා නොදීම

කලාත්මක වශයෙන් මෙම කතා එකම ආඛ්‍යාන රටාවකට සීමා නොවීම ද විශේෂත්වයකි. යථාර්ථවාදී නිරූපණය, උපහාසය, සංකේත භාවිතය, මනෝවිද්‍යාත්මක විවරණය සහ ඇතැම් විට උපමාත්මක හෝ ප්‍රහේලිකාමය ආඛ්‍යාන ක්‍රම මෙහි දක්නට ලැබේ. ඇතැම් කතාවක සිදුවීමක් කේන්ද්‍ර කරගනිමින් සමාජ විවේචනයක් ගොඩනැගෙන අතර, තවත් කතාවක චරිතයක අභ්‍යන්තර සිතුවිලි සහ මතකය කතාවේ ප්‍රධාන බලවේගය බවට පත්වේ. තවත් නිර්මාණයක දී සරල සිදුවීමක් අවසානයේ දී විශාල සමාජ හෝ දාර්ශනික ප්‍රශ්නයක් බවට පරිවර්තනය වේ. විශේෂයෙන් ඇතැම් කතාවල අවසානය පාඨකයාට සම්පූර්ණ පිළිතුරක් ලබා නොදේ. ඒ වෙනුවට ප්‍රශ්නයක්, සැකයක් හෝ සදාචාරාත්මක අපහසුතාවක් ඉතිරි කරයි. එවැනි අවසානයක් කතාවේ අර්ථය අවසන් කිරීමක් නොව, එය පාඨකයා ගේ සිත තුළ තවදුරටත් ක්‍රියාත්මක වීමට ඉඩ හැරීමකි.

මිනිස් ජීවිතයක අභ්‍යන්තර වේදනා, රහස්, ආශා සහ අහිමිවීම්  

සාහිත්‍ය කෘතියක සාර්ථකත්වය මැනිය හැක්කේ එය කියවා අවසන් කළ පසු පාඨකයාට මතකයේ ඉතිරි වන සිදුවීම් ප්‍රමාණයෙන් පමණක් නොවේ. එම නිර්මාණය ඔහු තුළ ඇති කරන ප්‍රශ්න සහ නැවත සිතීමට පොළඹවන අත්දැකීම් ද එයට අයත් වේ. කෘතියේ නාමය වන ‘ගුප්ත ගංගාව’ ද මෙවැනි සංකේතාත්මක කියවීමකට ඉඩ සලසයි. ගංගාවක් මතුපිටින් පෙනෙන ජල ප්‍රවාහයට වඩා ගැඹුරු අභ්‍යන්තරයක් සහිත ය. එහි පතුලේ සැඟවී ඇති දේ මතුපිටින් දැකිය නොහැකි ය; එලෙස ම මිනිස් ජීවිතයක ද බාහිර හැසිරීමෙන් පමණක් හඳුනාගත නොහැකි අභ්‍යන්තර වේදනා, රහස්, ආශා සහ අහිමිවීම් පවතී.

ඔඩියා සමාජය පිළිබඳ විවිධාකාර දෘෂ්ටිකෝණ

මෙම කෘතියේ කතා තිහම එකම සංකේතයකට සීමා කළ නොහැකි වුවද, ඒවා අතරින් ගලා යන පොදු මානුෂීය සංවේදනය ‘ගුප්ත ගංගාව’ යන නාමය සමඟ අර්ථවත් සම්බන්ධතාවක් ගොඩනගයි. සමාජය නොදකින මිනිසා, බලය විසින් වසන් කරන සත්‍යය සහ පුද්ගලයා ගේ අභ්‍යන්තර ලෝකය යන සියල්ල එම සංකේතය තුළින් කියවීමට හැකි ය. කෘතියේ තවත් වැදගත් අගයක් වන්නේ ඔඩියා සමාජය පිළිබඳ විවිධාකාර දෘෂ්ටිකෝණ පාඨකයා වෙත ඉදිරිපත් කිරීමයි. ඔඩිෂා ප්‍රදේශයේ ඉතිහාසය, සංස්කෘතිය සහ භාෂා සම්ප්‍රදාය පිළිබඳ හැඳින්වීමක් ද කෘතියේ ආරම්භක කොටසට ඇතුළත් කර තිබීම නිසා පාඨකයාට කතා කියවීමට අවශ්‍ය සංස්කෘතික පසුබිමක් ලැබේ. එය විශේෂයෙන් වැදගත් වන්නේ වෙනත් භාෂාවකින් සහ වෙනත් සමාජ පරිසරයකින් බිහි වූ සාහිත්‍ය කෘති කියවීමේ දී ඒවායේ සංස්කෘතික සන්දර්භය ද අවබෝධ කරගැනීම අවශ්‍ය වන බැවිනි. එසේ වුවද, මෙම කතා තුළ නිරූපණය වන මිනිස් අත්දැකීම් ඔඩියා සමාජයට පමණක් සීමා නොවේ. දරිද්‍රතාව, අසාධාරණය, බලය, ආදරය, අහිමිවීම, මරණය සහ මනුෂ්‍යත්වය පිළිබඳ ගැටලු ඕනෑම සමාජයක පාඨකයකුට හඳුනාගත හැකි පොදු අත්දැකීම් වේ.

කෘතියේ පරිවර්තකයින් බාරගත අභියෝගය

පරිවර්තන කෘතියක් ලෙස මෙහි වටිනාකම තක්සේරු කිරීමේ දී ද එම සංස්කෘතික පාලම පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. වෙනත් භාෂාවකින් බිහි වූ නිර්මාණයක් සිංහලයට ගෙන ඒම යනු වචනවලට සමාන වචන සෙවීම පමණක් නොවේ. මුල් කෘතියේ සංස්කෘතික පසුබිම, භාෂා රිද්මය, චරිතවල කථන ස්වභාවය සහ අර්ථයේ සියුම් වෙනස්කම් ද නව භාෂාව තුළ ප්‍රතිනිර්මාණය කළ යුතු ය. එම අභියෝගය මෙම කෘතියේ පරිවර්තකයන් භාරගෙන ඇති බව පැහැදිලි ය. විශේෂයෙන් පරිවර්තකයින් කිහිපදෙනකු ගේ දායකත්වය නිසා විවිධ ලේඛකයින් ගේ නිර්මාණ සිංහල පාඨකයා වෙත ගෙන ඒමට හැකි වී තිබේ.

කෙසේ වෙතත්, පරිවර්තනයේ නිරවද්‍යතාව, මුල් ඔඩියා භාෂාවේ රසය සහ සිංහල භාෂාවට සිදුකර ඇති නිර්මාණාත්මක පරිවර්තනය පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නම් මුල් ඔඩියා කෘති සමඟ සසඳා බැලීම අවශ්‍ය වේ. එබැවින් මෙහි දී කළ හැක්කේ සිංහල පාඨකයාට ලැබෙන සාහිත්‍යමය අත්දැකීම සහ කෘතියේ සමස්ත සංස්කරණමය අගය පිළිබඳ විමසීමකි. එම සීමාව හඳුනාගැනීම විචාරයේ විශ්වසනීයත්වයට ද වැදගත් වේ.

කියවීමෙන් මතුවන පුළුල් සමාජ හා මානුෂීය චිත්‍රය හඳුනාගැනීම

කතා තිහක් එකම කෘතියකට ගොනු කිරීමේදී ඒවායේ කලාත්මක මට්ටම, ආඛ්‍යාන ශක්තිය සහ පාඨකයා වෙත ඇති කරන බලපෑම එක සමාන විය නොහැකි ය. ඇතැම් නිර්මාණ තම සංකේත භාවිතය හා අර්ථ ගැඹුර නිසා වඩාත් ප්‍රබලව මතකයේ රැඳෙන අතර, තවත් නිර්මාණ ඒවායේ සමාජ පසුබිම හෝ සංස්කෘතික විශේෂත්වය නිසා වැඩි අවධානයක් ඉල්ලා සිටිය හැකි ය. එය විවිධ ලේඛකයින් ගේ නිර්මාණ එකතුවක ස්වභාවික ලක්ෂණයකි. එබැවින් මෙම කෘතියේ වටිනාකම සෑම කතාවක් ම එකම මට්ටමේ විශිෂ්ටත්වයකින් යුක්ත බව කීමෙන් නොව, ඒවා එකට කියවීමෙන් මතුවන පුළුල් සමාජ හා මානුෂීය චිත්‍රය හඳුනාගැනීමෙන් තක්සේරු කළ යුතු ය.

සාහිත්‍යයේ සැබෑ කාර්ය කුමක් ද…?

අවසානයේ දී ‘ගුප්ත ගංගාව සහ තවත් ඔඩියා කෙටිකතා’ යනු වෙනත් භාෂාවක කෙටිකතා සිංහලයට පරිවර්තනය කර පළ කිරීමේ සීමිත කාර්යයකට වඩා පුළුල් අර්ථයක් සහිත සාහිත්‍යමය ප්‍රයත්නයකි.එය ඔඩියා සමාජයේ: විවිධ ජීවන පරිසර, මිනිස් සම්බන්ධතා සහ සමාජ ගැටුම් සිංහල පාඨකයාට සමීප කරයි. එසේ ම මිනිසා පිළිබඳ අප ගේ අවබෝධය පුළුල් කිරීමටත්, අප ගේ සමාජය තුළ ම පවතින නොපෙනෙන අසාධාරණතා සහ මානුෂීය අර්බුද නැවත විමසා බැලීමටත් අවස්ථාව සලසයි.

සාහිත්‍යයේ සැබෑ කාර්යය වන්නේ අප දන්නා ලෝකය නැවත නැවතත් විස්තර කිරීම පමණක් නොව, අප නොදන්නා හෝ නොදැකීමට පුරුදු වී ඇති ලෝකය වෙත අපගේ දෑස් විවර කිරීම ය. මේ කතා තිහ තුළින් හමුවන මිනිසුන් බොහෝ විට සමාජයේ ප්‍රධාන කතාබහට ඇතුළත් නොවන අය වෙති. එහෙත් ඔවුන්ගේ ජීවිතවල ද දුක, සතුට, ආශාව, ආදරය, අහිමිවීම සහ අරගලය පවතී. ඒ මිනිසුන්ගේ හඬට සාහිත්‍යමය අවකාශයක් ලබාදීම තුළින් මෙම කෘතිය තමන්ගේ වැදගත්කම තහවුරු කරයි. ගංගාවක මතුපිටින් ගලා යන ජලය පමණක් නොව, එහි ගැඹුරේ සැඟවී ඇති ප්‍රවාහය ද හඳුනාගැනීමට අපට හැකි විය යුතු ය. එලෙස ම මිනිස් ජීවිතයක බාහිර පෙනුමට ඔබ්බෙන් ඇති අභ්‍යන්තර සත්‍යය ද දැකීමට අප සාහිත්‍යයෙන් ඉගෙන ගත යුතුය.

ඒ අර්ථයෙන් බලන විට, මෙම කෘතියේ ‘ගුප්ත ගංගාව’ ගලා යන්නේ ඔඩිෂාවේ භූගෝලීය පරිසරය තුළ පමණක් නොවේ. එය මිනිස් හදවත් තුළ සැඟවී ඇති වේදනා, ආශා, අසාධාරණකම් සහ ආදරය හරහා ද ගලා යයි. එම ගංගාවේ හඬ සිංහල පාඨකයාට ඇසීමට සැලැස්වීම මෙම කෘතියේ මූලික සාහිත්‍යමය ජයග්‍රහණය ලෙස සැලකිය හැකි ය.

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...