එහිදී නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා නියෝග කළේය.
අධිකරණයට ඉදිරිපත් වූයේ ඇයි?
පසුගිය නොවැම්බර් 11 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කස්සප හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඒ හේතුවෙන් උන්වහන්සේව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබුණි.
එම වරෙන්තු නියෝගයට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් කස්සප හිමියන් අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.
ඇප කොන්දේසි උල්ලංඝනය වූයේ කෙසේද?
නඩුව ආරම්භයේදී කස්සප හිමියන්ට ඇප ලබා දීමේදී අධිකරණය විසින් ප්‍රධාන කොන්දේසි දෙකක් පනවා තිබූ බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නීතිඥ සංගමය නියෝජනය කළ නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.
* පළමු කොන්දේසිය: නඩුව කැඳවන සෑම දිනයකම අධිකරණය හමුවේ පෙනී සිටීම.
* දෙවන කොන්දේසිය: නඩු කටයුත්ත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කිසිදු අදහසක් පළ නොකිරීම.
කස්සප හිමියන් පසුගිය දිනෙක අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව නීතිඥවරු තිදෙනා එහිදී චෝදනා කළහ.
මේ හරහා උන්වහන්සේ අධිකරණය පැනවූ ඇප කොන්දේසි දෙකම කඩ කර ඇති බවට ඔවුහු කරුණු ඉදිරිපත් කළහ.
පොලිසියේ ස්ථාවරය සහ මහේස්ත්‍රාත් නියෝගය
නඩුව මෙහෙයවන ත්‍රිකුණාමලය වරාය පොලිසියේ ස්ථානාධිපතිවරයා ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර හිමිනමට යළි ඇප ලබා දීමට දැඩි විරෝධය පළ කළේය.
දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ නීතිමය කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා, ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිය තීරණය හෙට (17) ප්‍රකාශයට පත් කිරීමට නියම කළේය.
ඒ අනුව, අදාළ නියෝගය ලබා දෙන තෙක් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට අධිකරණය නියෝග කර තිබේ.



