එංගලන්ත වයස අවුරුදු 19න් පහළ සංචිතය හොඳින් දන්නා පවුල් සබඳතා තිබෙන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම සමන්විතව තිබීම විශේෂත්වයක්.

රොකී ෆ්ලින්ටොෆ් (Rocky Flintof), ලූක් බෙන්කන්ස්ටයින් (Luc Benkenstein), ෆර්හාන් අහමඩ් (Farhan Ahmed), හේඩ්න් මස්ටර්ඩ් (Haydon Mustard) සහ තෝමස් රූ (Thomas Rew) එම පවුල් සම්බන්ධතා තිබෙන ක්‍රීඩකයන්.
රොකී ෆ්ලින්ටොෆ් හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්ගේ පුතා. ඔහු තවමත් 16 හැවිරිදි වියේ පසුවූවත් ලැංකෂ ප්‍රාන්ත දෙවැනි කණ්ඩායම වෙනුවෙන් මේ ක්‍රීඩා වාරයේදී කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කර තිබෙනවා. දහසය වැනි උපන්දිනයට දින දෙකකට පසුව සිය මංගල තරගයට සහභාගි වූ රොකී අප්‍රේල් මාසයේ එජ්බැස්ටන්හිදී වොරික්ෂ ප්‍රාන්ත දෙවැනි කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ ප්‍රථම ශතකය වාර්තා කළා. රොකීගේ පියා ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන එංගලන්ත කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ කෙනෙකු ලෙස කටයුතු කරමින් මේ දිනවල සිටින්නේ කැරිබියන් දූපත්වල.
එංගලන්ත අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන ලූක් බෙන්කන්ස්ටයින් හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු සහ වර්තමාන ලැංකෂ ප්‍රධාන පුහුණුකරු ඩේල් බෙන්කන්ස්ටයින්ගේ පුත්‍රයෙක්. ලූක් එසෙක්ස් කණ්ඩායමේ සිටින තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. පා දඟ පන්දු යවන්නෙක්. ඔහු එසෙක්ස් වෙනුවෙන් මීට අවුරුදු තුනකට පෙර වයස අවුරුදු 16දී සිය මංගල ජ්‍යෙෂ්ඨ තරගයට ක්‍රීඩා කළේ ඔහුගේ පියාගේ කළින් කණ්ඩායම වූ ඩරම් ට එරෙහිව.
මේ සතියේදී තම පළමු වෘත්තීය කොන්ත්‍රාත්තුව නොටිංඑම්ෂ කණ්ඩායම සමග අත්සන් කළ 16 හැවිරිදි ෆර්හාන් අහමඩ් එංගලන්ත ජාත්‍යන්තර ක්‍රීඩක රෙහාන් අහමඩ්ගේ බාල සොහොයුරා යි. අයියා පා දඟ පන්දුවලින් දස්කම් දක්වද්දී මල්ලී යවන්නේ පිට දඟ පන්දු.
එංගලන්තය වෙනුවෙන් සීමිත ඔ්වර ක්‍රිකට් තරග 12ක් ක්‍රීඩා කළ ෆිල් මස්ටර්ඩ්ගේ පුතෙකි ඩරම් කණ්ඩායමේ කඩුලු රකින-පිතිකරු හේඩ්න් මස්ටර්ඩ්.
තවත් කඩුලු රකින-පිතිකරුවකු වන සමර්සෙට් කණ්ඩායමේ තෝමස් රූ එංගලන්ත අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රීඩකයෙකු වන ජේම්ස් රූගේ බාල සොයුරා යි.
ශ්‍රී ලංකාව සමග තරග වදින එංගලන්ත අවුරුදු 19න් පහළ දහසය දෙනාගේ සංචිතයේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ මේ වසර මුල දකුණු අප්‍රිකාාවේ පැවති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් නව දෙනෙකු ම ඊට ඇතුළත්ව සිටීම යි.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



