(Oleksandr Usyk) ඊයේ රාත්‍රියේ වෙම්බ්ලි බොක්සිං වළල්ලේ පැවති තරගයේ පස්වැනි වටයේදී එංගලන්තයේ ඩැනියල් ඩූබ්වා (Daniel Dubois) බිම හෙළමින් දෙවැනි වතාවටත් ලොව අවිවාදිත හෙවිවේට් ශූරයා බවට පත්වුණා.
අනූ දහසක ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ පැවති තරගයේදී අතිවිශිෂ්ට සටනක නියැලුනු ඌසික්, ලෝක හෙවිවේට් බොක්සිං කිරුළු හතරක් තිබෙන වර්තමාන යුගයේ එම ශූරතා හතර ම ඒකාබද්ධ කළ පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා බවට පත්වීමේ ඩුබ්වාගේ සිහිනය විනාශ කර දැමුවා.
38 හැවිරිදි ඌසික් තරගයේ පස්වැනි වටයේදී ඩූබ්වා දෙවතවාක් බිම වැටෙන්නට පහර දුන් අතර දෙවැනි වතාවේදී නියමිත කාලයට පෙර නැවත නැගී සිටීමට ඩූබ්වා අසමත් වුණා.
2023 වසරේ ද ඩූබ්වා පැරදවූ ඌසික් ඊයේ ජයග්‍රහණයෙන් පසුව වෘත්තීය බොක්සිං සටන්කරුවෙකු ලෙස ඔහුගේ අතිසාර්ථක වාර්තාව ජයග්‍රහණ 24ක් දක්වා දීර්ඝ කර ගත්තා.
“මට සමාවන්න ඩූබ්වා, මේක ක්‍රීඩාවයි. මගේ ජනතාවට මේ ජයග්‍රහණය අවශ්‍යව තිබුණා” යනුවෙන් ඌසික් තරගයෙන් පසුව පැවසුවේ රුසියානු ආක්‍රමණයට මුහුණ දී සිටින යුක්රේන වැසියන් සිහි කරමින්.
“ඊළඟ තරගයක් කියලා කිසිම දෙයක් නැහැ. දැන් ඇති. ඊළඟට මට ඕන විවේක ගන්නයි. මට දැන් මගේ පවුල, බිරිඳ හා මගේ දරුවන් සමග විවේක ගන්නයි අවශ්‍ය. මාස දෙක තුනක් යනකං මට ඕන ඔහේ විවේකීව ඉන්නයි” ඌසික් කියා සිටියා.
තමා සතු ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ (IBF) හෙවිවේට් කිරුළ රැක ගැනීම පිණිස පසුගිය සැප්තැම්බරයේ ඇන්තනි ජොෂුආ පරාජය කළ ඩූබ්වා, වෘත්තීය බොක්සි ක්‍රීඩකයෙකු ලෙස ඊයේ පරාජයේ නීරසය වින්දේ තරග 25කින් තෙවැනි වතාවට. ඒ සෑම පරාජයක් ම සිදුවූයේ නියමිත සම්පූර්ණ වට ප්‍රමාණයට අඩුවෙන්.
තමා සතුව තිබෙන ලෝක බොක්සි සංගමය (WBA - Super), ලෝක බොක්සිං සංවිධානය (WBO) හා ලෝක බොක්සිං කවුන්සලය (WBC) යන ශූරතාවන් සමග ඒකාබද්ධ කර සති කිහිපයකට පසුව ඔහුගෙන් උදුරා ගත් IBF කිරුළයි උෘසික් ඊයේ ජයග්‍රහණයෙන් නැවත හිමිකර ගත්තේ. මේ අනුව ඔහු මේ කිරුළු හතරම එක්සත් කළ දෙවැනි අවස්ථාව මෙය වනවා.
ඌසික් විසින් ඩූබ්වා පරාජය කරනු ඇති බව මේ තරගයට පෙර සිටම බොහෝ දෙනාගේ මතය වී තිබුණා. ඔහු නැවත වතාවක් අවිවාදිත ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වීමට බොහෝ හේතු තිබුණා.

මේ යුක්රේනුවා වෘත්තීය බොක්සිං සටන්කරුවෙකු ලෙස අපරාජිතයි. මීට වසර දෙකකට පෙර ඩූබ්වා නියමිත වට ප්‍රමාණය අවසන් වීමට පෙර පරාජය කිරීම ද මේ හේතුවලට ඇතුළත්. ඊටත්, ඌසික් පසුගිය වසර 16 තිස්සේ එකම තරගයකින් හෝ පරාජය වී නැහැ. බ්‍රිතාන්‍ය බොක්සිං සටන්කරුවන් පරදවා සතුටක් ලබන ඔහු 2021 වසරේදී ඇන්තනි ජොෂුආ පරාජය කළා. මීට අමතරව ඌසික් ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගෙන තිබෙනවා.
මීට පෙර බොක්සිං ක්‍රීඩාවේ සෑම ප්‍රධාන ශූරතාවක් ම දිනා ගත් බ්‍රිතාන්‍ය සටන්කරුවා වූයේ ලෙනොක්ස් ලුවිස්. ඔහු එම වික්‍රමය වාර්තා කළේ 1999 වසරේ.
(සටහන | වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




