ලොකුම පුරාවෘත්තය වූ හල්ක් හෝගන් (Hulk Hogan) මිය ගියා.
වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාව ජාතික ප්‍රධාන ධාරාවට ගෙන යමින් එහි ඉතිහාසයේ වැඩිම මුදලක් උපයන ආකර්ෂණීය තරුව බවට පත්ව සිටි හෝගන් හෘදයාබාධයකින් බ්‍රහස්පතින්දා මිය ගියේ 71 වැනි වියෙහි පසුවෙමින් සිටියදී.
හෝගන් නාට්‍යමය මල්ලවපොර කලාව අලුත් උසස් මට්මකට ගෙන ගියේ එය ඉතාමත් ජනප්‍රිය කරවමින්.
“පොප් මල්ලවපොර සංස්කෘතියේ එක් වඩාත්ම ජනප්‍රිය චරිතයක් වූ හෝගන් 1980 ගණන්වලදී WWEයට ගෝලීය පිළිගැනීම මුදුන්පත් කර ගැනීම සඳහා උපකාරයක් වුනා” යනුවෙන් WWE ආයතනය හෝගන්‌ගේ පවුල, මිතුරන්ට සහ ඔහුගේ ක්‍රීඩා ලෝලීන් වෙත ශෝකය පළ කරමින් X සමාජ මාධ්‍යයේ සටහනක් තැබුවා.
නියම නම ටෙරී බොලේආ (Terry Bollea) වන හෝගන් ඔහුගේ මල්ලවපොර තරග කාලයේ ඇතිවූ කොන්දේ අමාරුවක් ඇතුළු ප්‍රශ්න සහගත සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් මෑත වසරවල ලතැවෙමින් සිටියා. ඔහු 2012 වසරේ සිට මල්ලව පොරයේ යෙදී නැති වූවත් ඔහු නියම අමෙරිකානු නිදහස්ආර මල්ලවපොර (Real American Freestyle Wrestling) ප්‍රවර්ධනයේ නිර්මාතෘවරයෙක් හා නැගී එන නිව්යෝක් අවන්හලක හිමිකරුවෙකු ලෙස මෑත කාලයේ ප්‍රවෘත්තිවල සිටියා. මේ අවන්හල පිහිටා තිබෙන්නේ හෝගන්ගේ බොහෝ තරග පැවති මැඩිසන් ස්කුවෙයා ගාඩ්න් ට (MSG – Madison Square Garden) ප්‍රතිවිරුද්ධව.
1985 වසරේදී හෝගන් ප්‍රථම රෙස්ල්මේනියාවේ (WrestleMania) ප්‍රධාන සිරස්තලය බවට පත්වුනා. ඒ, Roddy Piper සහ Paul Orndorff සමග සටන් කිරීම පිණිස 1980 දශකයේ ජනප්‍රිය රූපවාහිනී තරුවක් වූ Mr. T සමග එක්වෙමින්. MSG හි පැවති පළමු රෙස්ල්මේනියා තරගාවලිය මිලියනයකට වැඩි රූපවාහිනී ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත් අතර එය විශේෂයෙන් එකල WWF ලෙස තිබූ (දැන් WWE) ආයතනය ජාතික තලයට රැගෙන ගියා.
තෙවැනි රෙස්ල්මේනියා තරගාවලියේ Andre the Giant ගෙන් පළිගැනීමේ හල්ක් හෝගන්ගේ තරගය මල්ලවපොර ව්‍යාපාරය සහ හෝගන්ගේ ක්‍රීඩා දිවිය නව උසස් තලයකට ගෙන ගියා. එම තරගය නැරඹීම පිණිස 80,000ක පමණ ජනතාවක් මිචිගන් හි පොන්ටිඇක් සිල්වඩෝම් තරග පිටියට පැමිණ සිටියා. මාස කිහිපයකට පසුව එම තරගය නැවත පැවති අවස්ථාවේ මිලියන 33ක් රූපවාහිනියෙන් එය නැරඹුවා.
රෙස්ල්මේනියා පළමු තරගාවලියන් අටේදී හෝගන් හත් වතාවක් ප්‍රධාන ඉසව්වේ සිටියා. මල්ලවපොර ලෝකයේ මුහුණත සහ වීරයා වූ හල්ක් හෝගන් ක්‍රීඩාවේ ප්‍රධාන ප්‍රවාහය සමග එක්වෙමින්, රූපවාහිනී සාකච්ඡා බොහොමයකට පෙනී සිටිමින් චිත්‍රපටවල ද රඟපෑවා. තුන්වැනි රොකී - Rocky 3 - චිත්‍රපටයේ ප්‍රධාන නළු සිල්වෙස්ට ස්ටැලෝන් සමග සටන් කළ හෝගන් 1990 දශකයේ Thunder in Paradise ඇතුළු රූපවාහිනී චිත්‍රපටවල ද රංගනයේ යෙදුනා. හෝගන් WWF ලෝක හෙවිවේට් ශූරතාවලිය හය වතාවක් දිනා ගත්තේ දින 1,474ක් එම තරග බිමේ රජයමින්. මීට වඩා වැඩි දින ගණනක් අඛණ්ඩව එම කිරුළ හිමි කරගෙන සිටියේ Bruno Sammartino සහ Bob Backlund පමණයි.

වීරයෙකු ලෙසින් හෝගන් කෙරෙහි තිබූ උනන්දුව 1996 වසර වන විට අඩුවෙද්දී ඔහු දෙවැනි රඟපෑමක් වශයෙන් මල්ලවපොර ඉතිහාසයේ ලොකුම හැරවුමට පිවිසියා. WWE ආයතනයේ ප්‍රතිවාදී තරගකරුවා වූ ලෝක මල්ලවපොර ශූරතාවලිය (World Championship Wrestling) වෙනුවෙන් සේවය කිරීමට පටන් ගත් හෝගන් දුෂ්ටයා චරිතයට පිවිසෙමින් New World Order නමැති දුෂ්ට ආක්‍රමණිකයන් කණ්ඩායමකට නායකත්වය දුන්නා. මීට වසර 29කට පෙර සිදුවූ මේ හැරවුම මහජනයාගේ උනන්දුව ග්‍රහණය කර ගත්තේ පළමු රෙස්ල්මේනියාවෙන් පසුව මල්ලවපොර ක්‍රීඩාව නොදුටු විස්මිත ආකාරයකින්.
හෝගන් 2002 වසරේදී නැවත WWE වෙත පැමිණියේ ටොරොන්ටෝ හි පැවති 18 වැනි රෙස්ල්මේනියා තරගාවලියේ The Rock නමැති තරගකරුවාට මුහුණ දීමටයි. 2005 වසරේදී හෝගන්ව WWE Hall of Fame ගෞරවනීය සමාජයට ඇතුළත් කෙරුනා.
හල්ක් හෝගන්ගේ මරණයට ප්‍රතිචාර දැක්වූ කීර්තිමත් පුද්ගලයන් අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිටියා. ට්‍රම්ප්ගේ ජනාධිපති මෙහෙයුමට සහයෝගය පළ කිරීම පිණිස පසුගිය වසරේ ජූලි මාසයේ පැවති රිපබ්ලිකන් ජාතික සම්මේලනයේදී හෝගන්, ට්‍රම්ප් සතුටු කරවන කතාවක් පැවැත්වූවා.
සිය මල්ලවපොර දිවිය අවසන් වීමෙන් පසුව හෝගන් මතභේදයන්ට පැටලුනා. 2015 වසරේදී ඔහු කළු ජාතිකයන්ට වර්ගවාදී බස් කියමින් තමා එක්තරා මට්ටමකට ජාතිවාදී බව පවසන වීඩියෝ පටිගත කිරීමක් රහසේ සමාජයට පිටකෙරුනා. ඒ අවස්ථාවේදී WWE ඔහුගේ ලෙජන්ඩ්ස් කොන්ත්‍රාත්තුව අහෝසි කළ ද ඔවුන් ඊට තෙවසරකට පසුව හෝගන්ව කලාතුරකින් සිදුකරන රූපවාහිනී පෙනී සිටීම් සමග තානාපතිවරයෙකු ලෙස නැවත කැඳවා ගත්තා.
හෝගන් පෙනී සිටි ලිංගික පටිගත කිරීමක් Gawker නමැති වෙබ් අඩවිය විසින් 2015දී රහසේ පිට කළ අතර හෝගන් අපහාස කිරීම, පෞද්ගලිකත්වය නැති කිරීම හා චිත්තවේගාත්මක හිරිහැරය මත නඩු පැවරුවා. හෝගන් එම නඩුව ජය ගත් අතර ඔහුට ඩොලර් මිලියන 115ක් පිරිනැමුනා.
2025 ජූලි 24 වැනි දින සිදුවූ මරණයට පෙර ටෙරී “හල්ක් හෝගන්” බොලේආ (Terry “Hulk Hogan” Bollea) වෘත්තීය මල්ලවපොර ලෝකයේ පුරෝගාමියෙකුව සිටියා. හෝගන්ගේ වෘත්තීය මල්ලවපොර දිවිය වසර 1977 සිට 2012 දක්වා පැවතුනා.
හල්ක් හෝගන්ගේ උපත සිදුවුනේ 1953 වසරේ අගෝස්තු 11 වැනිදා. ජෝජියාවේ ඔ්ගස්ටා නුවර ඔහුගේ උපන් නගරයයි. හෝගන්ගේ උස අඩි 6 යි අඟල් 7ක්. බර රාත්තල් 300 යි. Hollywood, The Fabulous, The Incredible, Hulkster, The Immortal One, The Unstoppable යන අන්වර්ත නම්වලින් ඔහුව හඳුන්වනු ලැබුවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




