(සිටගෙන වමේ සිට): කෙවින් බණ්ඩාර - ශ්‍රී ලයන්ස් ඔ්මාන් කමිටු සාමාජික හා රග්බි නායක, මිරාජූඩ් කැසීරී - කමිටු සාමාජික, ඉන්ෂාෆ් සලාහුඩීන් - කමිටු සාමාජික, රියෙන්සි මැතිව්ස් - භාණ්ඩාගාරික
ලෝකය පුරා විහිදෙමින් සිටින ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර (Sri Lions International) ක්‍රීඩා සමාජය ඔවුන්ගේ ඕමාන ශාඛාව මස්කට් අගනුවර අල් ෆලාජ් හෝටලයේදී පසුගිය සිකුරාදා මහත් උත්සවාකාරයෙන් විවෘත කළා.
සම්භාවනීය අමුත්තන් හා ප්‍රජා ප්‍රධානීන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූ බව වාර්තා වනවා.
මේ උත්සවයෙන් සංකේතවත් කෙරුනේ ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රජාවන් පදනම් කරගත් ක්‍රීඩා හා සමාජ සංවිධානයක වැදගත් සන්ධිස්ථානයක්. “අපි අපේ ලාංජනය ඕමානයෙන් ආරම්භ කරන නිසා මෙය අපට ඇත්තෙන්ම වැදගත් මොහොතක්” යැයි ශ්‍රී ලයනස් ජාත්‍යන්තර සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා එහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලයන්ස් ඕමාන් ආරම්භක සභාපති ලෙස පත්ව සිටින්නේ උද්යෝගිමත් ක්‍රීඩා පුද්ගලයෙකු වන හම්සා හිඩායතුල්ලා.
ශ්‍රී ලයන්ස් සංවිධානයේ ජයග්‍රාහී ක්‍රියාවන් පිටුපස තිබෙන සාමුහික උත්සාහයන් පිළිබඳව ආචාර්ය කැළුම් සුජිත් මෙහිදී පෙන්වා දුන්නා.
“කෙටි කාලයක් තුළ අප අත්කර ගත් සාර්ථකත්වයන් ශ්‍රී ලයන්ස් ට සම්බන්ධ සියලු දෙනාගේ කැපවීම හා දැඩි උද්යෝගයේ ප්‍රතිඵලයක්. අපි එක්ව, අලුත් ප්‍රමිතියක් ස්ථාපිත කර තියෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව හා බහරේනය ට පසුව ඕමානය දැන් අපේ හය වැනි ශාඛාව බවට පත්වීමත් සමග අපේ අනාගතය තවත් ශක්තිමත් වනු ඇති බව මට විශ්වාසයි” යනුවෙන් ආචාර්ය කැළුම් සුජිත් වැඩිදුරටත් පැවසුවා.
ඩුබායි හි කොන්සල් ජෙනරාල්ගේ කාර්යාලය සහ උතුරු එමිරේට්ස් විසින් පිළිගෙන තිබෙන ශ්‍රී ලයන්ස් සංවිධානය රග්බි, ක්‍රිකට් සහ නෙට්බේල් ඇතුළු ක්‍රීඩා හා සමාජ ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලාංකේය ප්‍රජාව ඔසවා තැබීම පිණිස කරන ශක්තිමත් කැපවීම ප්‍රකට කරුණක් බවට පත්ව තිබෙනවා.

උත්සවයට පැමිණි සම්භාවනීය අමුත්තන් අතර සිටි ඕමානයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපතිනී අනෝද්‍යා චිරාස්රී ශ්‍රී ලයන්ස් සංවිධානයෙන් ගෝලීය වේදිකාවට තිබෙන බලපෑම විස්තර කළා:
“එමිරේට්ස් ඩුබායි සෙවන්ස් තරගාවලියේ ජාත්‍යන්තර සෙවන්ස් පිරිමි විවෘත අංශයේ තරග කරන එකම ශ්‍රී ලාංකික රග්බි කණ්ඩායම ශ්‍රී ලයන්ස්. 2019 ගල්‌ෆ් ශූරයන් හා 2024 ජාත්‍යන්තර සෙවන්ස් ශූරයන් ලෙස ලබා ගත් ජයග්‍රහණ ඔවුන්ගේ විශිෂ්ට සාර්ථකත්වයන්.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක වන ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය වර්තමානයේ රග්බි, නෙට්බෝල්, ක්‍රිකට්, ගොල්ෆ්, පිහිනුම්, බැඩ්මින්ටන්, වොලිබෝල් හා පාපන්දු ඇතුළු විවිධ ක්‍රීඩාවන්හි තරග කරනවා. රග්බි හා වොලිබෝල් ක්‍රීඩාවලින් ඔ්මාන ශාඛාව ආරම්භ වන්නේ ලබන වසරේදී අනෙකුත් ක්‍රීඩාවන්ට ද ව්‍යාප්ත වීමේ සැලසුම් ඇතිව.
ඕමානයේ රග්බි ක්ෂ්‍රේතයේ නව වැනි ලියාපදිංචි කණ්ඩායම ලෙසින් ඕමාන් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය, ඕමාන රග්බි සංගමයේ සභාපති නබ්ස් අල් බුසේඩ් විසින් මෙහිදී සාදරයෙන් පිළිගනු ලැබුවා.
ඕමානයේ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය දියත් කෙරුනු උත්සවයේ විවිධ අවස්ථා...

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




