The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ 2025 අයවැය පිළිබඳ දැක්මක් | ලයනල් බෝපගේ

T

The Leader Desk

March 1, 2025 • 3:48 PM

ශ්‍රී ලංකාවේ 2025 අයවැය පිළිබඳ දැක්මක් | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ 2025 අයවැය, උග්‍ර මූල්‍ය අර්බුදයකින් පසුව රටේ ආර්ථිකය ප්‍රකෘතිමත්
  • අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.7% ක ඌණතාවයක් ඉලක්ක කරන අතර ඒ ඌණතාවය 2025 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කැමැත්ත වූ 5.2% ක ඌණතාවය ට වඩා මඳක් ඉහළ අගයකි.
  • 2025 අයවැය පුද්ගලයන්ට මෙන්ම ව්‍යාපාරවලට ද සැලකිය යුතු සමාජ-ආර්ථික හා දේශපාලන බලපෑම් ගෙන එයි.
  • ශ්‍රී ලාංකීය සමාජයේ පවතින කෙටි කාලීන සහ දිගු කාලීන අවශ්‍යතා ආමන්ත්‍රණය කරමින් එය, වාර්ෂික මූල්‍ය සැලසුම් පිටපතක් ලෙස සේවය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීමටත්, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තහවුරු කිරීමටත් අදහස් කරයි.

අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.7% ක ඌණතාවයක් ඉලක්ක කරන අතර ඒ ඌණතාවය 2025 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කැමැත්ත වූ 5.2% ක ඌණතාවය ට වඩා මඳක් ඉහළ අගයකි.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, සිගරැට්, මත්පැන් සහ සූදු ව්‍යාපාරවලට පනවා ඇති ආයතනික ආදායම් බදු අනුපාතය 40% සිට 45% දක්වා ඉහළ දැමීම සහ අපනයන සේවාවන්ට ලබා දී ඇති බදු නිදහස් කිරීම් ඉවත් කොට ඒ වෙනුවට 15% බද්දක් අය කිරීම වැනි පියවර ගැනීම මගින්, 2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.4% වූ ආදායම 15.1% දක්වා වැඩි කර ගන්නට ආණ්ඩුව සැලසුම් කරයි.

අයවැය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සීමා මායිම් පිළිගන්නා අතරම සාධාරණ අන්දමින් ආර්ථික ප්‍රතිලාභ බෙදා හැරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ දේශීය කර්මාන්තවලට අතහිත ලබා දීම ද අවධාරණය කරයි.

2025 අයවැය පුද්ගලයන්ට මෙන්ම ව්‍යාපාරවලට ද සැලකිය යුතු සමාජ-ආර්ථික හා දේශපාලන බලපෑම් ගෙන එයි. ශ්‍රී ලාංකීය සමාජයේ පවතින කෙටි කාලීන සහ දිගු කාලීන අවශ්‍යතා ආමන්ත්‍රණය කරමින් එය, වාර්ෂික මූල්‍ය සැලසුම් පිටපතක් ලෙස සේවය කරයි. කෙසේ වෙතත්, මෙම අයවැය ක්ෂණික හාස්කම් ගෙන එනු ඇතැයි හෝ මූලික ආර්ථික පරිවර්තනයක් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කලේ ස්වල්ප දෙනෙක් පමණි.

පවතින දේශීය හා ගෝලීය තත්ත්වයන් එවැනි විප්ලවවාදී පියවරවලට අනුබලය ලබා දෙන්නේ නැත; එවැනි පියවර හා කැටුව එන දුෂ්කරතාවයන් විඳ දරා ගන්නට කැමැත්තෙන් ඉහළ අන්දමින් කැප වුන සහ ආත්ම පරිත්‍යාගශීලි ලෙස කටයුතු කරන් ජනතාවක් ඒ සඳහා අවශ්‍ය වෙයි.


ඓතිහාසික පෙල ගැසීම් සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා

ඓතිහාසික අත්දැකීම් වටිනා ආදර්ශයන් ලබා දෙයි. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදය පනවා තිබෙන ආර්ථික සීමා කිරීම් සහ සම්බාධක දශක හයකට වැඩි කාලයක් විඳ දරා ගෙන තිබෙන කියුබාව, එවැනි තත්වයන් හමුවේ රටක් මුහුණ දෙන සංකීර්ණ අභියෝග විදහා දක්වා ඇත. 

 ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලන මතවාදය අතින් කියුබාව සමඟ ශ්‍රී ලංකාව සංසන්දනය කළ නොහැකි වුවද, භූ-දේශපාලන යථාර්ථයන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාවට සමීපව පිහිටා තිබීම සහ චීනය සමඟ ශ්‍රී ලංකාවේ ඇති උපාය මාර්ගික සම්බන්ධතා සැලකිල්ලට ගත යුතු වේ.

එක්සත් ජනපද ආර්ථිකය සහ ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් මත අපැහැදිලි ව දිස් වන අවිනිශ්චිතතා හමුවේ ඇති විය හැකි ආර්ථික කම්පන අවම කර ලීම සඳහා ශ්‍රී ලංකාව, සිය මූල්‍ය මාවතේ සැලකිලිමත් ලෙස ගමන් කල යුතුය.


අයවැය සීමාවන් සහ කප්පාදු කිරීමේ පියවර
 
dty57g
NPP යට ලැබුන ඉතා ප්‍රබල මැතිවරණ ජනවරම ඡන්දදායකයන් සතු උසස් බලාපොරොත්තු පිළිබිඹු කිරීමක් විය. හරය අනුව, අයවැයක් යනු ආණ්ඩුවේ ආර්ථික දැක්මට අනුකූලව අමාත්‍යාංශ සඳහා සම්පත් වෙන් කර දීමයි. 
 
කෙසේ වෙතත්, පෙර පැවති පරිපාලනය විසින් පනවා තිබෙන, IMF අනුග්‍රහය ලද නය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවය සමඟ බැඳී පවතින කප්පාදු කිරීමේ පියවර හේතුවෙන් අයවැය හසුරුවන්නට ඇති ඉඩකඩ සීමිත ව පවතියි. ඒ හේතුවෙන්, ආදායම් යළි  බෙදාහැරීම අභියෝගයක් ව පවතී.

මෙම සීමාවන් තිබුනේ වුවද, එකඟ වී ඇති ණය තිරසාර රාමුව එසේම පවත්වා ගෙන යන අතර IMF එකඟතාවයේ ඇතැම් අංග යළි සාකච්ඡාවට බඳුන් කරන්නට ආණ්ඩුව කැමැත්තක් දක්වා ඇත. එසේ වෙතත්, ආණ්ඩුවේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පෙර පැවති පරිපාලනයන් විසින් පිහිටුවන ලද, බොහොමයක් අකාර්යක්ෂම බවට සනාථ වී ඇති යාන්ත්‍රණ මත තවමත් විශ්වාසය තබා ඇත.

දේශපාලන මට්ටමෙන් දූෂණය හා නාස්තියේ අඩු වීමක් දකින්නට තිබෙන නමුත්, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා වගකිව යුතු වන නිලධර ව්‍යුහයන් සහ සම්බන්ධතා ජාලයන් සම්බන්ධයෙන් තවම එසේ කිව නොහැකිය. මෙම අකාර්යක්ෂමතා ආමන්ත්‍රණය කිරීමත්, පාලන යාන්ත්‍රණ ප්‍රතිනිර්මාණය කිරීමත් ආර්ථික හා සමාජ සාධාරණත්වය සහතික කිරීමේ ලා තීරණාත්මක කාර්ය භාරයන් ලෙස ශේෂව පවතී.

සංක්‍රාන්තිමය ආර්ථිකයක්
අයවැය දැඩි අපේක්ෂා සහගත එකක් බව පෙනුනත් බොහෝ පාර්ශ්ව කරුවන් තුල පැවතුන බලාපොරොත්තු ඒ අයුරින් ම අයවැයෙන් ඉටු වී නැති බව ඔවුන්ට හැඟී යන්නට පුළුවන. දේශපාලනඥයෝත්, නිලධාරීනුත්, වෘත්තීය සමිතිත් වැටුප් වැඩි වීම් ප්‍රමාණවත් නොවන බව සලකති. NPP ය බලයට ගෙන එන්නට සහාය දුන් අය පවා වඩා වැඩි සහන ඉල්ලා සිටිති. වඩා වමට බරව දේශපාලන හඬ නඟන අය ක්‍රමයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරන ලෙස ඉල්ලා සිටිති.

කෘෂිකාර්මික, නිෂ්පාදන සහ සේවා අංශවල කාර්යක්ෂමතා ඉහළ නංවන අතරම මූල්‍යමය ස්ථාවරත්වය පිළිබඳව අවධානය යොමු කරන මෙම අයවැය, ශ්‍රී ලංකාව සංක්‍රාන්තිමය මාවතක ස්ථානගත කරයි. දූෂණය, නාස්තිය සහ සම්පත් අවභාවිතය මැඩ ලන්නට ද එය අදහස් කරයි.

ප්‍රභූ පැලැන්තියට අනුග්‍රහය දක්වන IMF අරමුදල විසින් මෙහෙයවනු ලබන අයවැයක් ලෙස විරුද්ධ පක්ෂ විසින් අයවැය විවේචනයට ලක් කරනු ලබන අතර අනෙක් අය සමාජ සුබසාධනය සහ යටිතල පහසුකම් වෙත අයවැය දක්වා තිබෙන සැලකිය යුතු අවධාරණය පිළි ගනිති. 
 
ආදායම සහ වියදම අතර පවතින පරතරය පියවීමට අදහස් කරන්නේ කෙසේද යන්නත්, ඩිජිටල් සහ තාක්ෂණ වේදය මත පදනම් වූ ආර්ථික පරිවර්තනය සමඟ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (SMEs) ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්නත් ආණ්ඩුව පැහැදිලි කර දිය යුතුය.

වැඩි කර ඇති සමාජ වියදම්, ඉහළ නැංවූ රාජ්‍ය අංශයේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමාජ පිළිසරණ වැඩසටහන් අවධාරණයට ලක් කරන පරිපාලනය, අයවැය ප්‍රගතිශීලී එකක් වශයෙන් ආරක්ෂා කරයි. මාර්ග ජාල, ජල ව්‍යාපෘති සහ නාගරික සංවර්ධනය ආවරණය කරන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද අයවැයෙහි ප්‍රමුඛත්වය ලබයි. වාහන ආනයනය, ඩිජිටල් සේවාවන් සහ ආයතන අංශය මත පනවන බදු වැඩි කිරීමෙන් මෙම වියදම් පියවා ගන්නට ආණ්ඩුව අදහස් කරයි.

ආර්ථික සහ හමුදා වියදම්: ප්‍රමුඛතා හා අභියෝග
 
xcfye56f
අයවැයෙන් දක්වන්නේ වාණිජ බදුවලින් ලැබෙන ආදායම 36.5% කින් ඉහළ නැංවීමක් හා ආදායම් බදුවලින් ලැබෙන ආදායම 13.1% කින් වැඩි කිරීමක් අරමුණු කරන මධ්‍ය කාලීන මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ උපාය මාර්ගය කි. විදේශ විනිමය සංචිත කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි වුවද වාහන ආනයනය කිරීම මෙම වර්ධනයට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ ගිවිසුම් (FTAs) ජාලාව පුළුල් කරමින් අපනයනයට නැඹුරු වූ ආයෝජන සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන අතර, ආදායම් වර්ධනය දිගටම පවත්වා ගැනීම සඳහා ආණ්ඩුව අතිරේක ප්‍රතිපත්ති රාමු ගවේෂණය කරමින් සිටී.

අයවැයේ කැපී පෙනෙන අංගයක් වන්නේ එය හමුදා වියදම් කෙරෙහි නොකඩවා දක්වන අවධාරණය කිරීම යි. 2024 පටන් රුපියල් බිලියන 12 ක වැඩි වීමක් පෙන්නුම කරමින්, 2025 දී ආරක්‍ෂාව වෙනුවෙන් රුපියල් බිලියන 437ක් වෙන් කර තිබෙන ශ්‍රී ලංකාව, ඒක පුද්ගල වශයෙන් සැලකූ විට වඩාත්ම හමුදා කරණයට ලක් වූ රටක් ව පවතී. උතුරු, නැඟෙනහිර සහ මලයියහ ප්‍රදේශ ද ඇතුලත්ව ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉක්මවා යමින් හමුදා නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් 27% ත් 33% ත් අතර පරාසයක පවතී.

උතුරු පළාත ඌන සංවර්ධිත ව පවතින අතර, යාපනය පුස්තකාලය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක්, ප්‍රාදේශීය පුස්තකාල සඳහා රුපියල් මිලියන 200 ක්, ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 5 ක්, මුලතිව් වට්ටුවාකල් පාලම ඉදි කිරීම සඳහා රුපියල් බිලියන 1 ක්, යළි පදිංචි කිරීම් සහ නිවාස සඳහා රුපියල් බිලියන 1.5 ක් මෙම අයවැය තුල ඇතුළත් වේ. ඊට අමතරව, යටිතල පහසුකම්, නිවාස, වෘත්තීය පුහුණුව සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින් මලයියහ ප්‍රජාව වෙනුවෙන් රුපියල් බිලියන 7.58ක් වෙන් කර ඇත.


IMF අනුකූලතාවය සහ මූල්‍යමය සලකා බැලීම්
 
imf
 
2.3% ක ප්‍රාථමික ගිණුම් අතිරික්තයක් සාක්ෂාත් කර ගැනීම ද ඇතුලත්ව IMF අරමුදල සකස් කර තිබෙන ඉලක්ක සමඟ අයවැය බොහෝ දුරට ගැලපෙයි. ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%ක් ලෙස ප්‍රක්ෂේපණය කර ඇති අතර වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 21.8%ක් ලෙස පවතී. IMF අරමුදල නිර්දේශ කර ඇති 5.2% සුළුවෙන් ඉක්මවා යන අයවැය හිඟය 6.7% ක් ඉලක්ක කර ගනී. මෙම අපගමනයෙන් පිළිබිඹු වන්නේ වැඩි කරන ලද රාජ්‍ය ප්‍රාග්ධන වියදම්, වැටුප් සැකසීම් සහ සමාජ සුබසාධන වැඩසටහන් ය.

මූඩි ගේ ශ්‍රේණිගත කිරීම් පෙන්වා දෙන්නේ පටු ආදායම් පදනමකින් සමන්විත ශ්‍රී ලංකාව, ණය බර දැරීමට ඇති හැකියාව අතින් දුර්වල මට්ටමක පවතින බවයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ප්‍රධාන ආර්ථික අංශ වෙත ලබා දෙන ප්‍රමාණවත් අන්දමේ සහයෝගය මත ප්‍රක්ෂේපනය කරන ලද 5% වාර්ෂික ආර්ථික වර්ධන වේගය රඳා පවතී.

කෙසේ වෙතත්, අඩු ප්‍රාග්ධන වියදම් හේතුවෙන් දිගු කාලීන වර්ධනයට බාධා පැමිණවිය හැකි අතර, ගෝලීය ආර්ථික කැලඹීම් හමුවේ, ආමන්ත්‍රණය නොකරන ලද ණය අඩු කිරීම ගැන සැලකිල්ලට භාජනය කිරීම් විසින් රටේ ණය මාදිරිය (profile) සහ ණය ගැනීමේ හැකියාව කෙරෙහි බල පෑම් ඇති කරනු ලැබිය හැකිය.


නිගමනය: මූල්‍යමය වගකීම, ස්ථාවර බව සහ වර්ධනය තුලනය කිරීම
srt46gh
ශක්තිමත් ආර්ථිකයකට ඒකාධිකාරී ප්‍රවණතා නියාමනය කරමින් ව්‍යාපාරික කටයුතු දිරිමත් කර ලන ප්‍රතිපත්ති අවශ්‍ය වෙයි. සමාජ සුබසාධන වියදම් සඳහා ආධාර කිරීමට ආදායම එක් රැස් කර ගන්නේ කෙසේද යන්න ගැන 2025 අයවැය අපැහැදිලි තත්වයක පසු වෙයි. සැලකිය යුතු මූල්‍ය පරතරයක් පවත්වා ගනිමින්, ආර්ථීක වශයෙන් අවදානම් සහගත හැකියාවන් නරක තත්වයට පත් නොකොට, ආණ්ඩුවට වියදම් නොකඩවා කර ගෙන යන්නට හැකි වේද යන්න පිළිබඳ ප්‍රශ්න ඉතිරිව තිබේ.

ශ්‍රී ලංකාව 2028 වන විට ණය ආපසු ගෙවීම නැවත ආරම්භ කරනු ඇතැයි බලාපොරොත්තු වේ. නොනවත්වා පවත්වා ගන්නා මූල්‍ය ඒකාග්‍රතාවය ත්, ආදායම් උත්පාදනය කිරීම ත් මත මෙම කාල සටහනේ සාර්ථකත්වය රඳා පවතී. ණය ශ්‍රේණිගත කිරීම් වඩා යහපත් තත්වයට පත් කර ගැනීමත්, අනාගත ණය සුරක්ෂිත කර ගැනීමත් සඳහා IMF අරමුදලේ ඉලක්ක සපුරා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වය උදෙසා දියුණු තාක්ෂණවේදයන් යොදා ගැනීම, රාජ්‍ය අංශයේ වැඩිදියුණු කල කාර්යක්ෂමතාවය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අවශ්‍ය වෙනවා ඇත.

යෝජිත වැටුප් වැඩි කිරීම් විසින් ඇති කරනු ලබන මූල්‍ය පීඩනය සාධාරණය කරන්නට නම්, එසේ කරනු ලබන පඩි වැඩි කිරීම් වඩා හොඳ රාජ්‍ය සේවාවන් සපයා දෙන තත්වයකට පරිවර්තනය කල යුතුය. අවකළමනාකරණය කරනු ලැබුවහොත්, ඒ වැඩි කිරීම් ඵලදායිතා දිරිගැන්වීම් වෙනුවට දේශපාලන දීමනාවන් ලෙස වටහා ගැනීමේ අවදානමක් පවතී. එපමණක් නොව, අධ්‍යාපනය, සුව සේවා සහ යටිතල පහසුකම් වෙනුවෙන් කරන උපාය මාර්ගික ආයෝජන නොමැතිව, සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇත්තේ තිරසාර ආර්ථික විසඳුම් ලෙස නොව හුදෙක් තාවකාලික සහන ලෙස පමණකි.

අවසාන වශයෙන්, 2025 අයවැයේ සාර්ථකත්වය රඳා පවතින්නේ දිගු කාලීන වර්ධනය, නවෝත්පාදනය සහ මූල්‍යමය විනය පෝෂණය කරන අතර ආණ්ඩුවට ආර්ථික අභියෝග තරණය කරන්නට ඇති හැකියාව මත ය. සමෘද්ධිය හා ආර්ථික ස්ථාවරත්වය කරා ශ්‍රී ලංකාවේ වසන සියළු පුරවැසියන් පෙරට ගමන් කරන බවට සහතික කරන්නේ හොඳින් ක්‍රියාත්මක කරනු ලබන උපාය මාර්ගයකින් පමණකි.

lIONAL bOPAGE(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

lionel.bopage@gmail.com

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2025 මාර්තු 01 වන දා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...