බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 220ක් රැස්කර ගෙන සිටියා.
ෂඩ්මාන් ඉස්ලාම් වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 46ක් වාර්තා කළා.
ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා වෙමින් මංගල ටෙස්ට් වරම් ලැබූ සොනාල් දිනූෂ ඔ්වර 9ක් යවමින් ලකුණු 22කට කඩුලු 2ක් ලබා ගත්තේ නොඉඳුල් ඕවර 3ක් ද සටහන් කරමින්. අසිත ප්‍රනාන්දු ලකුණු 43කට කඩුලු 2ක් ද, විශ්ව ප්‍රනාන්දු ලකුණු 35කට කඩුලු 2ක් ද ලබා ගත්තා.

දෙවැනි ටෙස්ට් ගැටුම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබුනා. ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට සොනාල් දිනූෂ කැඳවා තිබූ අතර තුවාල ලබා සිටින වේග පන්දු යවන මිලාන් රත්නායක වෙනුවට විශ්ව ප්‍රනාන්දු නම් කර තිබුනා. තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ අද මංගල ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබූ අතර ඔහු සිය ශ්‍රී ලංකා ටෙස්ට් කැප් තොප්පිය ලබා ගත්තේ කුසල් මෙන්ඩිස් අතින්.
වේග හා දඟ පන්දු යවන්නන් දෙදෙනා බැගින් වන සංයෝජනයකින් යුතුව මේ තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.
බංග්ලාදේශය ද මේ තරගය වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදු කරමින් ජකර් අලි වෙනුවට මෙහෙඩි හසන් ද, ආබාධයට ලක්ව සිටින හසන් මහමුඩ් වෙනුවට එබාඩොට් හොසේන් ද කණ්ඩායමට ඇතුළත් කර තිබුනා.
කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල පස්වැනි ඔ්වරයේ මුළු ලකුණු 5දී බිඳ වැටෙමින් අනාමුල් හක් (0) දැවී ගියා. ඔහු දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුව පිත්තේ අග වැදී කඩුල්ලේ ගැටීමෙන්. අනාමුල් ඊට පෙර දෙවතාවක්ම දැවී යාමෙන් ගැලවුනා. අසිත එවූ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට අනාමුල්ගේ පිත්තේ අග වැදී පළමු ස්ලිප් වෙත ආ උඩ පන්දුව රැක ගැනීමට කඩුලු රකින කුසල් මෙන්ඩිස් දැරූ උත්සාහය ව්‍යර්ථ වූ අතර ඊළඟ පන්දුවේදී ඔහුගේ පිත්තේ අගින් නික්ම ආ උඩ පන්දුව දෙවැනි ස්ලිප් ඉදිරියේ බිම පතිත වුණා.
නායක ධනංජය ද සිල්වා ඔහුගේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගැනීමට සමත් වුනා. ඒ, මොමිනුල් හක්ගේ කඩුල්ල. හතරේ පහර 3ක් සමග පන්දු 39කින් ලකුණු 21ක් රැස්කර ගෙන සිටි මොමිනුල් හක් ‘කවර්ස්’ හි පන්දු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක පවන් රත්නායක වෙත උඩ පන්දුවක් දෙමින් මුළු ලකුණු 43දී දැවී ගිය අතර ඒ වන විට ආරම්භ වී තිබුනේ තරගයේ 17 වැනි ඕවරය.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 71ක් (ඕවර 26) රැස්කර ගෙන සිටියා.
දිවා ආහාරයෙන් පසුව යැවුනු දෙවැනි හා තෙවැනි ඔ්වරවලදී තවත් කඩුලු දෙකක් බිඳ වැටෙමින් පිළිවෙලින් නජ්මුල් හොසේන් ෂැන්ටෝ සහ ෂඩ්මන් ඉස්ලාම් දැවී ගියා. ෂැන්ටෝ මුළු ලකුණු 74දී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවට කඩූ රකින කුසල් මෙන්ඩිස් ට උඩ පන්දුවක් දෙමින් දැවී ගිය අතර මේ අනුව පළමු ටෙස්ට් තරගයේ ශතක දෙකක් වාර්තා කළ බංග්ලාදේශ නායකයාට මෙවර ලබා ගත හැකිවූයේ ලකුණු 8ක් පමණයි.
මුළු ලකුණු 76දී තරිඳු රත්නායකගේ පන්දුවට ‘ස්ලිප්’ ක්‍රීඩක ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගිය ආරම්භක පිතිකරු ෂඩ්මන් ඉස්ලාම් පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමග ලකුණු 46ක් වාර්තා කළා.
ලකුණු තත්ත්වය කඩුලු 4 ට ලකුණු 90ක්ව තිබියදී පස්වරු 1.18 ට ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් තරගය ඇනහිටුනු අතර ඒ වන විට ඔ්වර 33යි පන්දු 2ක් යවා තිබුණා. තරගය නැවත ආරම්භ වූයේ පස්වරු 2.55 ට.
මුෂ්ෆිකුර් රහිම් සහ ලිටන් ඩාස් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 113ක් තුළ ලකුණු 67ක සබඳතාවක් ගොඩනැගුවා. එම සබඳතාව සිය මංගල ටෙස්ට් කඩුල්ල ලබා ගනිමින් බිඳ දැමුවේ සොනාල් දිනූෂ. එම නොඉඳුල් ඕවරයේ ඔහුගේ පන්දුවට ඩාස් දුන් උඩ පන්දුව කඩුලු රකින මෙන්ඩිස් ඔහුගේ දෙවැනි උත්සාහයෙන් රැක ගැනීමත් සමග මුළු ලකුණු 143දී බංග්ලාදේශ පස්වැනි කඩුල්ල බිඳ වැටුනා. පන්දු 56කට මුහුණ දුන් ඩාස් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග ලකුණු 34ක් ලබා ගත්තා. ඕවරය 47.5.
ඊට පෙර ඕවරයේදී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවට ඩාස් දුන් උඩ පන්දුව අල්ලා ගැනීමට ජයසූරිය තමන්ගේ පිටුපසට දිව ගිය ද එය අසාර්ථක උත්සාහයක් වුනා. සවස තේ පානය සඳහා තරගය නතර කරන විට බංග්ලාදේශය කඩුලු 5කට ලකුණු 144ක් වාර්තා කර තිබුනේ ඕවර 49කින්.
පළපුරුදු පිතිකරු මුෂ්‌ෆිකුර් රහිම් ට ලබා ගත හැකිවූයේ ලකුණු 35ක් පමණයි. ඔහු දිනූෂගේ පන්දුවට දුන් උඩ පන්දුව ‘ඩීප් ස්කුවෙයාර් ලෙග්’ ස්ථානයේදී විශ්ව ප්‍රනාන්දු රැක ගැනීමත් සමග රහිම්ගේ පන්දු 75යි, හතරේ පහර 5ක ඉනිම අවසන් වුනා. බංග්ලාදේශය කඩුලු 6 ට ලකුණු 160 යි. ඕවර 54ක් සම්පූර්ණයි.
මෙහෙඩි හසන් මිරාස් හා නයීම් හසන් මුළු ලකුණු සංඛ්‍යාව 197 දක්වා ඉහළ නංවමින් සිටියදී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවට ‘ස්ලිප්’ ස්ථානයේ කමිඳු මෙන්ඩිස් දර්ශනීය අයුරින් රැක ගත් උඩ පන්දුවෙන් මිරාස් 64 වැනි ඕවරයේදී දැවී ගියා. පන්දු 42කින් ලකුණු 31ක් ලබා ගත් ඔහු හතරේ පහර 3ක් එල්ල කර තිබුණා.
මුළු ලකුණු 214දී අටවැනි කඩුල්ල බංග්ලාදේශය ට අහිමි වෙමින් නයීම් හසන්, අසිත ප්‍රනාන්දුගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් දැවී ගියා. පන්දු 51කට මුහුණ දුන් ඔහු හතරේ පහර 2ක් සමග ලකුණු 25ක් රැස්කර ගෙන 70 වැනි ඕවරයේ දැවී ගියා.
ආලෝකය මඳ වීම හේතුවෙන් තරගය නතර කරන විට බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 220ක් රැස්කර ගෙන සිටි අතර ටයිජුල් ඉස්ලාම් හා එබාඩොට් හොසේන් පිළිවෙලින් නොදැවී ලකුණු 9ක් හා 5ක් ලබා ගෙන සිටියා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com













