ඒ, ට්‍රම්ප් සමග එම සම්මේලනයට තිබෙන සමීප සබඳතාව තවත් සමීප කරවමින් ගෝලීය පාපන්දු පාලකයන් ඔවුන්ගේ නිව්යෝක් කාර්යාලය ට්‍රම්ප් කුළුණේ (Trump Tower) විවෘත කිරීම හේතුවෙන්.
FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ පසුගිය වසර ගතකළේ ට්‍රම්ප් සමග ශක්තිමත් සම්බන්ධකම් ක්‍රමයෙන් වර්ධනය කර ගනිමින්. ධවල මන්දිරයට හා ෆ්ලොරිඩා හි පිහිටි ජනාධිපතිවරයාගේ Mar-a-Lago සමාජ ශාලාවට යමින් මෙන්ම මැයි මාසයේ පැරගුවේ හි පැවති FIFA වාර්ෂික කොන්ග්‍රසයට වඩා මුල් තැන ට්‍රම්ප්ගේ ගල්ෆ් සංචාරයට ලබා දෙමින් පාපන්දු ප්‍රධානියා ට්‍රම්ප් සමග මැද පෙරදිග සංචාරයේ ගියා.
එම තීරණය යුරෝපීය පාපන්දු ලොක්කන්ගේ දැඩි විවේචනයට ලක්වුනා. කෙසේ වෙතත්, වර්තමානයේ පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලිය (Club World Cup) පැවැත්වෙන සහ ලබන වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග වැඩි ප්‍රමාණයක් පැවැත්වීමට නියමිත රටක නායකයා සමග හොඳ සබඳතාවක් තිබිය යුතු බවට 55 හැවිරිදි ඉන්ෆන්ටීනෝ විශ්වාස කරනවා.
මීට අමතරව, ලෝක කුසලානය සඳහා ඩොලර් මිලියන 625ක ආරක්ෂක අරමුදල ට්‍රම්ප්ගේ Big, Beautiful අයවැය පනතට ඇතුළත් කර තිබීම තමා ට්‍රම්ප් වෙත ළංවීම සාර්ථකව ක්‍රියාත්මක වන බවට සාක්ෂියක් බව ද ස්විස් ජාතික ඉන්ෆන්ටීනෝ පෙන්වා දෙනවා.
පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලානයේ දින පහක ප්‍රදර්ශනයක් විවෘත කිරීම නිමිත්තෙන් ට්‍රම්ප් කුළුණේදී සඳුදා පැවති උත්සවයකදීයි FIFA එම ස්ථානයට පැමිණෙනු ඇතැයි ඉන්ෆන්ටීනෝ නිවේදනය කළේ.
ට්‍රම්ප්ගේ පුතු එරික් ද පසෙකින් සිටියදී ඉන්ෆන්ටීනෝ මෙසේ කියා සිටියා: “FIFA යනු ගෝලීය සංවිධානයක්. ගෝලීය වීමට නම් ඔබ දේශීය විය යුතුයි. ඔබ සෑම තැනකම සිටිය යුතුයි.”
“අපි නිව්යෝක්වල සිටිය යුත්තේ මේ වසරේ FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලානයට හා ලබන අවුරුද්දේ FIFA ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පමණක් නෙවෙයි. අපේ කාර්යාල පිහිටුවා තිබෙන ස්ථාන ගැන සලකා බැලීමේදීත් අපි නිව්යෝක් නගරයේ සිටිය යුතුයි.”
“ඒ නිසා අද අපි අපේ කාර්යාලයක් නිව්යෝක් නගරයේ ට්‍රම්ප් කුළුණේ විවෘත කරනවා. ස්තූතියි එරික්, ස්තූතියි සියලු දෙනාටම. ඇත්ත වශයෙන්ම ජනාධිපති ට්‍රම්ප්ටත් ස්තූතියි. ඔහු පාපන්දු ක්‍රීඩාවේ සිටින ලොකුම ක්‍රීඩා ලෝලියෙක්.”
වසර 121ක FIFA ඉතිහාසයේ ඔවුන්ට අවශ්‍ය වූයේ සූරිච් නුවර එක් කාර්යාලයක් පමණයි. එහෙත් ඉන්ෆන්ටීනෝ දශකයක කාලයක් ඇතුළත ලොව වටා කාර්යාල විවෘත කරමින් සිටින අතර දැන් වසා දැමීමට සූදානම් වන පැරිසියේ මිල අධික කාර්යාලය ද ඊට ඇතුළත්.
ට්‍රම්ප් කුළුණේ ද තිබෙන්නේ අසතුටුදායක ආයතනික මතක සටහන්. ඉන්ෆන්ටීනෝ ට කලින් සභාපතිවරයාව සිටි සෙප් බ්ලැටර් (Sepp Blatter) මීට දශකයකට පෙර බලයෙන් පහකෙරෙමින් හා FIFA ආයතනය විනාශයේ අභියසටම ගෙන එමින් රජය වෙනුවෙන් සාක්ෂි දුන් අමෙරිකානු පාපන්දු පරිපාලකයෙකු වූ මිය ගිය චක් බ්ලේසර් (Chuck Blazer) ජීවත් වූයේ ද මේ ට්‍රම්ප් කුළුණේ.
මහල් 58කින් යුත් අහස සූරන ට්‍රම්ප් කුළුණේ බ්ලේසර් ට නිවාස දෙකක් තිබුණා. එකක ඔහු ජීවත් වූ අතර අනෙක ඔහුගේ පූසන් ට වෙන්කර තිබුණා. එම කුළුණේ ජීවත් වූ පැරණි FIFA පාලන තන්ත්‍රයේ නින්දාවට පත් එකම සාමාජිකයා ඔහු නොවූයේ බ්‍රසීල පාපන්දුවේ ප්‍රධානියා වූ හෝසේ මරියා (Jose Maria) ද එහි නිවාස අත්අඩංගුවේ සිටි බැවින්. ඒ, FIFA දූෂණ අපකීර්තියේ ඔහුගේ සහභාගිත්වය නිසා.
ට්‍රම්ප් සමග තිබෙන සමීප සබඳතාව සම්බන්ධයෙන් ඉන්ෆන්ටීනෝට එල්ල වෙමින් තිබෙන විවේචන වැඩිවීමට තවත් හේතුවක් වී තිබෙන්නේ ජනාධිපති ට්‍රම්ප් සහ ව්‍යාපාරික ට්‍රම්ප් අතර ඇති වේගයෙන් බොඳවී යන රේඛාවන් පිළිබඳ වඩාත් පුළුල් සහ රාජ්‍ය බලයේ කාරණාවයි. මෙය අමෙරිකානු ජනාධිපතිවරයාගේ පවුල ඔහුගේ දේශපාලනික තත්ත්වය ඔවුන්ගේ වාණිජමය යහපතට යොදා ගැනීම පිළිබඳ තවත් උදාහරණයක් බවට බොහෝ දෙනා පෙන්වා දෙනවා.
ට්‍රම්ප්ස්ලා ඔවුන්ගේ කුළුණේ ඉඩකඩ FIFA ට අඩු මුදලකට හෝ නොමිලේ ලබා දුන්නත්, කුලී නිවැසියෙකු ලෙස FIFA සිටීම උපක්‍රමශීලී ‘මාකටිං’ මෙහෙයුමක්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



