කෙට්ටු ඇටගැහුණු, දෙපයට බර හින්දා
පොට්ටු මල් මකා, සියතින් මුල් සින්දා
කිට්ටු වී බලන්නට හුඟ දුර හන්දා
මට්ටුවිල් අහස තව නිදිවද මන්දා
වටකුරු නොවන මුතු ඇටයක උල් පැත්ත
බිඳ ඔප දමන්නට කරවන මර යුද්ද
ගෙල සිඳ දමා තාලිය ගලවා ගත්ත
ඉක්බිති හිස-කඳත් විකුණනවා ! නැද්ද
දකුණේ ලවණ සුළඟට මලකඩ පැතිරී
මලකඩ තියා යකඩත් මෙහෙ නෑ ඉතිරී
එක'මෙක ප්‍රශ්නයකි ඇස් මත්තේ ඇහැරී
මේ රට අයිති කාටද විමලේශ්වරී
ණය එක මතට එක නැගුණ ම අහස කෙලින්
පිපුණට බදු ගහන කොට හිස රැඳි පිච්ච මලින්
වහ කුප්පියෙත් මිල අහසට යන්න කලින්
මැරුණෙක හොඳ නැද්ද අහපන් කඳුළුවලින්
- ගගන වර්ණකුලසුරිය




