ඔහු මෙම කරුණු අනාවරණය කළේ ඊයේ (03) ජන අරගල සන්ධානය ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේ දී පැවැත්වූ ‘‘IMF මර උගුලෙන් එළියට ද? ඇතුළට ද ?’’ යන මැයෙන් වූ සම්මන්ත්‍රණය අමතමිනි.
එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ධනූෂ පතිරණ...
මේ අවුරුද්දේ ණය පොලිය ඩොලර් මිලියන හත්සීයක්
‘‘අයි එම් එෆ් ගිවිසුම එක්ක රටේ ආර්ථිකයට එන ඕනෑම හානියක බර පැටවෙන්නේ මේ රටේ වැඩකරන ජනතාවට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අත්සන් කරල තියෙන්නේ දෙදහස් විසි හතර වර්ෂයේ සිට වලංගු වෙන විදිහට. එතකොට අපි දෙදහස් විසි හතර සහ දෙදහස් විසි පහ කියන වර්ෂ දෙකට ම අදාළව මේ අවුරුද්දේ ණය පොලී විදිහට ඩොලර් මිලියන හත්සීය බැගින් ගෙවන්න වෙනවා. මේක අපිට ඉතාම අවාසිදායක තත්වයක්. දැන් මහබැංකුව ස්වාධීන ආයතනයක් විදිහට නම් කරල තියෙන්නේ. එතකොට මහබැංකුව ගන්න තීරණ ගැන ජනතාවට වගකියන්නෙ නෑ.
දැන් ඔවුන් එකඟ වෙලා තියනවා ඉන්දියාවෙන් ගත්ත ඩොලර් බිලියන දෙකක ණය වාරිකයක් මේ කාලය ඇතුළත ගෙවන්න. ඊළඟට ආණ්ඩුව තීරණය කරල තියනවා වාහන ආනයනය කරන්න. මේ ඔක්කොම එක්ක පිටරටට අපි ගැන හැදෙන චිත්‍රය තමයි දැන් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කියන එක. එහෙම තත්වයක් ඇතුළෙ ඉන්දියාව වගේ රටවල් ණය කල් දාන්න එකඟ වෙන එකක් නෑ.
ආර්ථික අර්බුදය යළි ජනතාවගේ කරමත
ඩොලර් බිලියන හතරයි දශම තුනක් පමණ මේ සෙල්ලම නිසා දෙදහස් විසි පහ අවුරුද්දේ රටට අහිමි වෙන්න නියමිතයි. සමහරු කියනවා අපනයන ආදයම් සහ විදෙස් ප්‍රේසන මගින් අපිට ණය ගෙවන්න පුළුවන් කියලා. නමුත් ඒක අමූලික බොරුවක්. අපිට මේ වියදම් පියවන්න වෙන්නේ ඩොලර් සංචිතයෙන්. ආණ්ඩුව දැන් හිතාගෙන ඉන්නවා වාහන ආනයනය කිරීමෙන් විශාල බදු ප්‍රමාණයක් උපයා ගන්න. නමුත් ඒ බදු ලැබෙන්න රුපියල්වලින්. ඒ රුපියල් වෙනුවෙන් ඩොලර් බිලියන එකයි දශම පහක් විතර අහිමි කරගන්න තමයි මේ සූදානම් වෙන්නේ.
දැනට අප සතු සංචිතවලින් සියයට අසූ පහකට වඩා හිඳෙන්න නියමිතයි මේ ක්‍රියාවලිය දිගටම ගියොත්. මේකෙන් වෙන්නෙ නැවත ආර්ථික අර්බුදය ජනතාවගේ කරමත වැටෙන එක. භාණ්ඩ මිල නැවත වටයකින් ඉහළ යනවා. අපි ආණ්ඩුවට මේ වෙලාවෙ කියනවා වාහන ආනයනය කරන්න ගත්ත යෝජනාව සහ ඉන්දියානු ණය ගෙවන්න මහබැංකුව ගත්ත තීරණය කල් දාන්න. එහෙම නොවුනොත් මේ අවුරුද්ද අවසන් වෙද්දි ආණ්ඩුව බරපතළ හානියක් කරගන්නේ.
ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, ලහිරු වීරසේකර
ඉදිරියට යන රනිල්ගේ වැඩපිළිවෙළ
‘‘තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් තියෙන ආණ්ඩුවක් නව විධායක ජනාධිපතිවරයෙක් ඉන්න කාලයක තමයි අපි IMF ගැන කතාකරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම හැදුණේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ. එදා මේ ගිවිසුමේ තියෙන කොන්දේසි එකඟතා රටට කිව්වෙ නෑ. අඩුම තරමේ රටේ මූල්‍යමය තීරණ ගැනීමේ බලය තියෙන පාර්ලිමේන්තුවටවත් සැලසුම් හෙළි කළේ නෑ. අනුර දිසානායක ජනාධිපතිවරයා අලුත් ජනවරමක් එක්ක ආවේ විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් කරනවා කියලා පොරොන්දු වෙලා. නමුත් දැන් අපිට පේනෙවා කිසිදු වෙනසක් නැතුව රනිල්ගේ වැඩපිළිවෙළම ඉදිරියට යනවා.
සමහරු හිතනවා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක මොනව කරගත්තත් කමක් නෑ අපි ඕවා ගැන හොයන්න ඕන නෑ කියලා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ ගිවිසුම එක්ක තමයි රටේ ඉදිරිය තීරණය වෙන්නේ; ආර්ථිකය හැසිරෙන විදිහ තීරණය වෙන්නේ. දැන් විදුලිබිල වැඩි වෙලා. ඊයෙ නව පාසල් වාරය පටන් ගත්තා. පාසල් දරුවන්ගේ පොත්පත්වලට සියයට දහඅටකක වැට් බද්දක් ගහල තියෙන්නේ. අත්‍යාවශ්‍ය ආහාර පාන ඖෂධ වර්ග දරා ගන්න බැරි තරම් මිල ඉහළ ගිහිල්ලා. එතකොට අපි අහන්නේ මේ ප්‍රශ්න අපිට අදාළ නැද්ද ? මේ දරාගන්න බැරි තරම් බදු ඉහළ දාලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරන්න.
ගෝණි බිල්ලෝ දෙන්නෙක්
දැන් දැන් ආණ්ඩුව කියන කතන්දර දැක්කම අපිට පේනවා ආණ්ඩුව ඇත්තටම පක්ෂපාතී මොන පන්තියට ද කියලා. ජනවාරි පළවෙනිදා අනුර කුමාර ජනාධිපතිවරයා ජාතිය අමතමින් කරපු කතාවෙදි ස්තුති කළේ කාට ද?
මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට, මහබැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම් කියන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක එකතුවෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැටේට ලංකාව ඇදලා දාපු ගෝනිබිල්ලෝ දෙන්නා. මේ ආර්ථික අර්බුදයට සම්පූර්ණයෙන් වගකියන්න ඕන දෙන්නෙක් මේ. අනුර ඇයි මේ දෙන්නට ස්තුති කරන්නේ. ජනතාවගේ මත අධික බදු බරක් පටවන්න එකඟ වෙච්ච, කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරන්න එකඟ වෙච්ච, පරාටේ නීතිය පවත්වාගෙන යන්න එකඟ වෙච්ච, ජාත්‍යන්තර මූල්‍ය අරමුල එක්ක ඩීල් දාගෙන ඉන්න නියෝජිතයෝ අලුත් වෙස් මුහුණු දාගෙන එනකොට ආණ්ඩුව ඒගොල්ලන්ට සුදු හුණු ගහනවා. ඒක ද ජනතාවට පක්ෂපාතී ආණ්ඩුවක් කරන්න ඕන.
හුලංගමුවලගේ කුට්ටියට විශාල ලාභයක්
ආණ්ඩුව ජනතාවට පක්ෂපාතීනම් කරන්න තිබුණේ බලයට ආව ගමන් විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් කරන එක. රටේ ජනතාවට ගෙවන්න අපහසු ණය කප්පාදු කරන්න කියලා අදාළ ණය හිමියන්ගෙන් ඉල්ලන්න තිබුණා. ණය පොලී ගෙවන්න තියෙන කාලය තව දික් කරගන්න තිබුණා. නමුත් ආණ්ඩුව එකඟ වෙලා ඉන්නේ ඒ එකක්වත් නොකර ජනතාවට විශාල පීඩනයක් ගෙන දෙන යෝජනාවකට.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් එක්ක ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරමින් ගියේ දුමින්ද හුලංගමුව. අපේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඩොලර් බිලියන දොළහයි දශම පහ ඇතුළෙ ලංකාවේ නියෝජිතයන්ගේ ඩොලර් බිලියන එකයි දශම අටක් තියනවා. හුලංගමුවගේ සල්ලිත් තියෙන්නේ ඒ ගොඩේ. එතකොට ණය හිමියන් එක්ක කතාකරන්න ජනතාවගේ පැත්තෙන් ගිහිල්ලා තියෙන්නෙත් ණය දීපු අය. ඒක නිසා තමයි අපිට අධික ණය පොලියක් ගෙවන්න වෙන යෝජනාවකට එකඟ වෙලා ඇවිල්ලා තියෙන්නේ. මේ ගිවිසුමෙන් දුමින්ද හුලංගමුවලගේ කුට්ටියට විශාල ලාභයක් ලැබෙන්න නියමිතයි.
ණය කප්පාදුවකට යන්න බැරි හේතුව
ඒක නිසා තමයි අපි කියන්නේ මේ වැඩපිළිවෙළ පක්ෂපාතී වෙන්නේ ගජමිතුරු ව්‍යාපාරික පැළැන්තියට. මේ වැඩපිළිවෙළ පක්ෂපාතී වෙන්නේ ඇමරිකානු ඉන්දියානු ආර්ථික සහ ආරක්ෂක උපායමාර්ගවලට. තවදුරටත් මෙතන තියෙන්නේ ජනතාව පීඩාවට පත් කරමින් බදු පිට බදු පටවමින් ගෝලීය ප්‍රාග්ධන බූවල්ලන් ආරක්ෂා කරගන්න සැලසුමේ ඉත්තෙක් බවට ලංකාව පරිවර්තනය කරන කුමන්ත්‍රණයක්. ලෝකේ සාමාන්‍ය නීතිය අනුව රටක් තමන්ගේ දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට පනහකට වඩා වැඩි ණය බරක් පවත්වාගෙන යන්න බැහැ. එහෙම පවත්වාගෙන යනව නම් ඒ රට අවදානම් තත්වයේ තියෙන්නේ.
නමුත් රනිල් වික්‍රමසිංහ ගෙනාව ආර්ථික පරිවර්තන පනතෙන් නීතියක් සම්මත කරා දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට අනූ පහක් දක්වා ණය බර පවත්වාගෙන යන්න පුළුවන් කියලා. මේ නීතිය නිසා තමයි අද අපිට ණය කප්පාදුවකට යාගන්න බැරි. මීට කලින් අපි වගේ ම බංකොලොත් වෙච්ච ඉක්වදෝරය සියයට හැට හතයි දශම අටක ණය කප්පාදුවක් ගත්තා. ග්‍රීසිය සියයට පනහක ණය කප්පාදුවක් ගත්තා. ඝානාව සියයට තිස්හතක ණය කප්පාදුවක් ගත්තා. ලෝකේ රටවල් එහෙම තමන්ගේ ණය කප්පාදු කරගනිද්දි අපි අරගෙන තියෙන්නේ සියයට විසි හතක ණය කප්පාදුවක් විතරයි. නමුත් අපේ ආර්ථික වර්ධනයට සාපේක්ෂව මේ ණය කප්පාදුව අඩු වෙනවා.
ආණ්ඩුව ජන වරම අමතක කරලා
ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ මේ කොන්දේසි ගැන නැවත සාකච්ඡා කරනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වෙත් ඡන්දයෙන් පස්සෙ එන ආණ්ඩුව එක්ක සාකච්ඡා කරන්න සූදානම් කියලා. නමුත් දැන් ඒක අමතක කරලා. දැන් කියනවා කලින් එකඟ වෙච්ච නිසා කරන්න දෙයක් නැහැලු. ආණ්ඩුවට අමතක වෙලා ඔවුන්ට ජනතාව දීපු ජන වරම ගැන. මිනිස්සු ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දුන්නේ කොන්ද කෙළින් තියාගෙන තීරණ ගන්න. ඇයි ඒ බලය පාවිච්චි කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පීඩාකාරී කොන්දේසිවලින් නිද
හස් වෙන්න බැරි.
තව පැත්තකින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සුබපැතුම් එවනවා. මේ පාරෙම යන්න කියලා. රනිල් බලාගෙන ඉන්නේ එයා අටවල ගිය උගුලේ ආණ්ඩුව වැටෙනකල්. එතකොට තමයි රනිල්ට ආයෙම වටයකින් බලයට එන්න පුළුවන් පාරක් කැපෙන්නේ. ඒක නිසා ආණ්ඩුවට අපි කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උගුල ඇතුළට යන්න එපා. රටක් විදිහට හිතලා ජනතාවට පක්ෂපාතී තීරණයක් ගන්නවනං IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න. එහෙම නොවුනොත් තව පරම්පරා ගාණක් අවදානමට වැටෙන එක නවත්තන්න පුළුවන් කමක් නැති වෙනවා.’’
(සටහන | ජයසිරි අලවත්ත)




