මෙලෙස කොටස් වෙළෙඳපොළේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් සොයා බැලීමක් සිදු කරන ලදී.
හදිසි ඉහළ යාමට හේතුව කුමක් ද?
කොටස් වෙළඳපොළ මෙලෙස ඉහළ අගයක් වාර්තා කිරීමට වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇති අඩු පොළී අනුපාත බලපා ඇතැයි කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක පෙන්වා දුන්නේ ය.
ඒ, දෙසැම්බර් 18 වන දා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයකිනි.
බීබීසී සිංහල කළ විමසීමකදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පර්යේෂණ සහ උපායමාර්ග සැලසුම් නිලධාරී දිමන්ත මැතිව් ද ඒ බව තහවුරු කළේ ය.
"වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ ඉතා ම අඩු පොළී අනුපාතයක්. ඒ නිසා ගොඩක් අය තමන් ස්ථාවර තැන්පතු විදිහට තබාගෙන හිටපු මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න පෙළඹිලා තිබෙනවා," ඔහු පැවසුවේ ය.
ආර්ථීක විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගෙන් බීබීසී සිංහල විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ, පොළී අනුපාත පහළ මට්ටමක පවතින විට කොටස් වෙළෙඳපොළේ ආයෝජන වැඩි වශයෙන් සිදුවන බව ය.

පොළී අනුපාත පහළ මට්ටමක පවතින විට කොටස් වෙළෙඳපොළේ ආයෝජන වැඩි වශයෙන් සිදුවන බව ආර්ථීක විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.
රට ස්ථාවර වීම හේතුවක් ද?
"ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ආයෝජකයන් අතර විශ්වාසයක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා," රජීව බණ්ඩාරනායක පවසයි.
"IMF ප්‍රොසෙස් එකත් එක්ක රට හරි මාර්ගයකට වැටිලා තියෙනවා."
ධනනාත් ප්‍රනාන්දු ද පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අඛණ්ඩව වැඩ කිරීමට රජය ගත් තීරණය මෙම වර්ධනයට හේතුවක් වී ඇති බව ය.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා එක්ක යනවා කියලා කිව්වට පස්සේ වෙළෙඳපොළ තුළ විශ්වාසයක් ඇති වෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.
දිලන්ත මැතිව් පවසන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරිමත් සමග ආර්ථිකයේ ඇති වී ඇති ස්ථාවරත්වය නිසා පොළී අනුපාත අඩු වී ඇති බව ය.
"ආසන්න වසර කිහිපය තුළ ගොඩක් අවිනිශ්චිතතා තිබුණා. නමුත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ටිකෙන් ටික රටේ තිබුණ අස්ථාවරභාවයන් අඩු වෙමින් යාමත් එක්ක පොළී අනුපාත පහළ ගියා."

ණය ප්‍රතිව්‍යුහගත කිරිමත් සමග ආර්ථිකයේ ඇති වී ඇති ස්ථාවරත්වය නිසා පොළී අනුපාත අඩුවී ඇතැයි දිලන්ත මැතිව් පවසයි
ෆිච් සහ මූඩීස් ශ්‍රේණිගත කිරීම් ඉහළට
ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මේ වන විට ශ්‍රී ලංකාව CCC+ ශ්‍රේණිය දක්වා ඉහළ දමා තිබේ.
එය, රට බංකොලොත් යැයි නිවේදනය කිරීමටත් පෙර තිබූ අගයකි.
මුඩීස් ආයතනය ද මේ වන විට සිය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ඇතැයි නිවේදනය කර තිබේ.
මෙලෙස ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යාම හේතුවෙන් විදෙස් ආයෝජන වැඩි වශයෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව දිලන්ත මැතිව් පැවසුවේ ය.
"මේ වෙනකොට ෆිච් ආයතනය අපිව ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළ දමලා තිබෙනවා. අනෙක් ශ්‍රේණිගත කිරීම් ඉක්මනින් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් ඉදිරියේදී විදෙස් ආයෝජන වුවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්."
ධනනාත් ප්‍රනාන්දු ද ඒ බව පෙන්වා දුන්නේ ය.
"විදෙස් ආයෝජකයන්ට බංකොලොත් රටකට ආයෝජන ගේන්න බෑ. එකට අවශ්‍ය අවම ශ්‍රේණිගත කිරීම් තියෙනවා. ඒ නිසා ශ්‍රේණිගත කිරීම් ඉහළ යාම ආයෝජනවලට හේතුවක් වෙනවා."
| BBC සිංහල සේවය



